Wednesday, December 24, 2025

‘ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ නියෝජිතයන් පත් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කරන්න’ – නීීතිඥ සංගමය

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ව්‍යවස්ථාදායක සභාවේ (Constitutional Council) සේවය කරමින් සිටින සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ කාලසීමාව 2026 ජනවාරි මාසයේ අවසන් වීමට නියමිත බැවින්, අලුතින් පත් කළ යුතු නියෝජිතයන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස  ඉල්ලා සිටී.

ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු සභානායක සහ විපක්ෂ නායකවරයා වෙත යොමු කළ ලිපියකින් නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ, වත්මන් සිවිල් සමාජ නියෝජිතයන් වන වෛද්‍ය ප්‍රතාප් රාමණුජම්, වෛද්‍ය  දිල්කුෂි අනුලා විජේසුන්දර සහ මහාචාර්ය  දිනේශා සමරත්න විසින් තම කාලය තුළ ප්‍රශංසනීය සේවයක් ඉටු කර ඇති බවයි.

ව්‍යවස්ථාවේ 41A වගන්තිය යටතේ ස්ථාපිත ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වල ස්වාධීන ක්‍රියාකාරිත්වය සහ උසස් රාජ්‍ය තනතුරු සඳහා පත් කිරීම් සම්බන්ධයෙන් මූලික භූමිකාවක් ඉටු කරන බව නීතිඥ සංගමය පෙන්වා දී ඇත. ස්වාධීන කොමිෂන් සභා වෙත පත් කිරීම් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්, අධිකරණ ප්‍රධානීන් සහ නීතිපතිවරයා වැනි උසස් තනතුරු සඳහා පත් කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ හෝ අනුමැතියකින් තොරව සිදු කළ නොහැකි බවද එහි සඳහන් වේ.

ව්‍යවස්ථාවේ 41A(3)(e) වගන්තිය අනුව, ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පාර්ලිමේන්තු සභානායකවරයා විසින් අගමැති සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් නම් කළ යුතු අතර, අනතුරුව ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බව නීතිඥ අවධාරණය කර ඇත.

තවද, 2001 දී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාව මුල්වරට හඳුන්වා දුන් අතර, එය දේශපාලන බලපෑම් අඩු කර ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ අරමුණින් යුතුව  බව නීතිඥ සංගමය සිහිපත් කර ඇත. පසුව 18, 19 සහ 20 වැනි සංශෝධන මඟින් එහි බලතල සහ ව්‍යුහය වෙනස් කළද, 21 වැනි සංශෝධනය මඟින් පුළුල් පක්ෂික නියෝජනයක් සහිතව ව්‍යවස්ථාදායක සභාව නැවත ස්ථාපිත කළ බවත් එමඟින් එකඟතාවය සහ වගකීම වර්ධනය කිරීම අරමුණු කර ගත් බවත් සඳහන් කර ඇත.

නීතියේ ආධිපත්‍යය, කොමිෂන් සභා වල ස්වාධීනත්වය සහ උසස් රාජ්‍ය තනතුරු සඳහා පත් කිරීම්වල විශ්වාසනීයභාවය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන බව සඳහන් කරන නීතිඥ සංගමය අලුතින් පත් කරන සිවිල් සමාජ නියෝජිතයන් අතිශය උසස් ආචාරධර්ම සහිත, සමාජය තුළ පුළුල් පිළිගැනීමක් ඇති සහ ව්‍යවස්ථාදායක සභාවේ කාර්යයන් සඳහා සාර්ථක දායකත්වයක් ලබා දිය හැකි පුද්ගලයන් විය යුතු බව ඉල්ලා ඇත.

තවද, මෙම පත් කිරීම් සිවිල් සමාජයෙන් සහ නීතිඥ ඇතුළු වෘත්තීය සංවිධානවලින් ලැබෙන අදහස් සලකා බැලීමෙන් පසු සිදු කළ යුතු බවද නීතිඥ සංගමය අවධාරණය කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සහ ව්‍යවස්ථාදායක සභාවේ අඛණ්ඩ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි නීතිඥ සංගමය විශ්වාසය පළ කරයි.

Archive

Latest news

Related news