Friday, November 21, 2025

ගාසා තීරයේ සිට: මෙහි මිනිසුන්ට ජීවත් විය හැකිද යන්න සිතාගත නොහැක; එනමුත් ජනයා එහි වාසය කරති

මෙතරම් කලකට පෙර, ගාසා තීරයේ උතුරේ පිහිටි ෂුජායියා, වසර 850 ක් පැරණි ඉතිහාසයක් ගැන ආඩම්බර වන 100,000 ක් පමණ ජනතාවක් සිටි කාර්යබහුල නගරයක් විය. දැන් එය පාළු භූමියකි, දූවිලි හා දුක්ඛිතභාවයෙන් පිරුණු පැල්ලමක්.

ඇඩම් පාර්සන්ස් මැදපෙරදිග වාර්තාකරු @adamparsons ස්කයි නිව්ස්.

මා ඉදිරිපිට, තට්ටු හයක් එකිනෙක මත ගොඩගැසී ඇති ගොඩනැගිල්ලක් ඇත.

හමුදා ඩ්‍රෝන යානයක් ඉහළින් ඝෝෂා කරන අතරතුර, වල් බල්ලෙක් එහි නටබුන් හරහා ගමන් කරයි. ඈතින්, මැෂින් තුවක්කු වෙඩි හඬක් ඇසේ.

ගාසා තීරයේ උතුරේ ෂුජායියා වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. එතරම් ඈත නොවූ කාලයක මෙය වසර 850 ක් පැරණි ඉතිහාසයක් ගැන ආඩම්බර වන 100,000 ක් පමණ ජනතාවක් සිටි කාර්යබහුල නගරයක් විය.

දැන්, එය පාළු භූමියකි, දූවිලි හා දුක්ඛිතභාවයෙන් පිරුණු පැල්ලමකි.

ඊශ්‍රායලය ගාසා තීරයෙන් ස්වාධීන ප්‍රවෘත්ති සංවිධානවලට වාර්තා කිරීමට ඉඩ නොදේ. අද, එය ස්කයි නිවුස් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින තීරුවේ ප්‍රදේශයට කැඳවා ගෙන ගියේය.

කෙටි සංචාරය දැඩි පාලනයකින් යුක්ත වූ අතර පලස්තීනුවන්ට හෝ ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවේශයක් ලබා දුන්නේ නැත. ඊශ්‍රායලයේ හමුදා වාරණ නීතිවලින් අදහස් වන්නේ ප්‍රකාශනයට පෙර හමුදා නිලධාරීන්ට අපගේ සියලු මාධ්‍ය වාර්තා ඔවුන්ට පෙන්විය යුතු බවයි.

ස්කයි නිවුස් සෑම විටම මෙම වාර්තාවේ කතුවැකි පාලනය තමන් අත පවත්වා ගෙන ගියේය.

ගාසා තීරය විනාශ වී ඇති සැටි

මා ඉදිරිපිට ඇති ගොඩනැගිලි සියල්ලම යුද්ධයෙන් විනාශ වී ඇත. ඉතරිව ඇති හොඳම එකක් නම් එහි, පැති පුපුරා ගොස් සැකිල්ලක් පමණක් ඉතිරිව ඇත. බොහෝ ඒවා හුදෙක් සුන්බුන් බවට පත්ව ඇත.

පසුගිය වසර දෙක තුළ, ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයේ 68,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. එය 2023 ඔක්තෝබර් 7 වන දින ආරම්භ වූ යුද්ධයකි. එහිදී   හමාස් සටන්කාමීන් විසින් විනාශකාරී හදිසි ප්‍රහාරයකින් බොහෝ දුරට සිවිල් වැසියන්, 1,200 කට වැඩි පිරිසක් මරා දමන ලදී.

දැන්, ගාසා තීරයේ නොසන්සුන් සටන් විරාමයක් එල්ලී  පවතී, එය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම විසින් සකස් කරන ලද සහ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද සාම සැලැස්මේ ප්‍රතිඵලයකි.

මම ඊශ්‍රායල හමුදා කඳවුරක කෙළවරක පස් කන්දක් මත සිටගෙන සිටිමි. මා වටා ජීවයේ එකම සලකුණු වන්නේ මා පිටුපස සිටින ඊශ්‍රායල සොල්දාදුවන්, ප්‍රදේශය වටා සැරිසරන වල් බල්ලන් පෙළක් සහ පර්වතයක් මතට ගොඩබසින තනි කුරුල්ලෙකු පමණි. එය වටා ඇති පාළුවට මෘදු ප්‍රතිවිරුද්ධ ලක්ෂණයකි.

මෙය දැන් ගාසා තීරය කොටස් දෙකකට බෙදන රේඛාවේ ඊශ්‍රායල පැත්තයි. එය කහ රේඛාව ලෙස හැඳින්වේ. නමුත් මුළු භූමිය හරහා දිවෙන සැබෑ රේඛාවක් නොමැත.

කොන්ක්‍රීට් කුට්ටි මාලාවක් ක්‍රමයෙන් ස්ථානගත වෙමින් පවතී. නමුත්  ආරම්භ වී ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පැති වලිනි.

මා සිටගෙන සිටින ස්ථානයේ සිට, මීටර් සිය ගණනක් දුරින් උස රතු සහ සුදු කුඹගසක් මට දැකිය හැකිය. මෙය හරියටම කහ රේඛාවේ පිහිටා ඇති බැවින්, අප බෙදුම් රේඛාව අසල සිටින බවට එය පැහැදිළි ලකුණකි.

ගාසා තීරය විනාශ වී ඇති සැටි

මූලික වශයෙන්, මා සිටගෙන සිටින භූමිය දැන් ඊශ්‍රායලය විසින් පාලනය කරනු ලබන අතර, ගාසා වැසියන් ඉතා සුළු පිරිසකට නිවහන වේ. මිලියන දෙකක ජනගහනයෙන් අතිමහත් බහුතරය කහ රේඛාවේ අනෙක් පැත්තේ වන අතර, එහි පාලනය තවමත් හමාස් විසින් දරනු ලැබේ.

ඊශ්‍රායල හමුදාව අපට මෙහි ආරාධනා කර ඇත. අප යන ස්ථානය සහ අප දකින දේ ඔවුන් තිරණය කරන අතර, අප විකාශනය කරන දේ වාරණය කිරීමේ අයිතිය ද ඔවුන් සතුව ඇත, නමුත් මාධ්‍යවේදීන් ලෙස, අප ලියන සහ පවසන දේ පිළිබඳ සම්පූර්ණ කතුවැකි පාලනය අප සතුව ඇත.

IDF: හමාස් ‘ඔවුන් වෙනස් වී නැත’

ඔවුන් ප්‍රක්ෂේපණය  කිරීමට උනන්දු වන පණිවිඩය නම්, ගාසා තීරයට වසර දෙකක ප්‍රහාර එල්ල වුවද, හමාස් ඉවත්ව ගොස් නැති බවත් නිරායුධ කිරීමේ කිසිදු සලකුණක් නොපෙන්වන බවත්ය.

තවද, ඔවුන් අවධාරනය කරන්නේ, එය සියලුම ඊශ්‍රායල ජාතිකයින් කනස්සල්ලට පත් කරන දෙයක් වන එම තත්වය ගාසා තීරයේ දේශසීමාව අසල ජීවත් වන අය භීතියට පත් කරන බවයි. එම නගරවලින් සමහරක් දහවල් මීදුම හරහා ඉතා පැහැදිලිව දැකගත හැකිය.

“අපි මෙහි රැඳී සිටින්නේ විනෝදාංශයක් ලෙස නොවේ,” ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක ලුතිනන් කර්නල් නදව් ෂොෂානි පවසයි.

“අපි ඊශ්‍රායල ජනතාව ආරක්ෂා කිරීමට මෙහි රැඳී සිටිමු. අපට එය හොදින් පෙනේ,” ඔහු අසල ඇති ඊශ්‍රායල නගරයක් දෙසට අප යොමු කරයි.

“අපේ සිවිල් වැසියන් ජීවත් වන ස්ථානයට මිනිත්තු දෙකක ගමනක දුරක්. දස දහස් ගණනක් හමාස් ත්‍රස්තවාදීන් සිටි යුධ පිටියක් අපට මෙහි පෙනෙනවා.

“ඔවුන් කවුදැයි යන්න  වෙනස් වී නැත. ඔවුන් නිරායුධ කරන බවට වග බලා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ සමහර විට ඊශ්‍රායලයෙන් ද පීඩනයක් අවශ්‍ය වනු ඇත.

“හමාස්වරු නැවත සන්නද්ධ වෙමින් සිටිති, හමාස්වරු වීදියේ තම විරුද්ධවාදීන් මරා දමමින් සිටිති. ගාසා තීරයේ ආධිපත්‍යය සහ බලය නැවත තහවුරු කිරීමට හමාස් උත්සාහ කරයි.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද සාම සැලැස්ම යටතේ, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ මානුෂීය ආධාර ලබා දීම සහතික කිරීම සඳහා ඊනියා ස්ථාවරකරණ බලකායක් ගාසා තීරයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නමුත් එම හමුදා කවුරුන්ද, ඔවුන් කවදා පැමිණෙනු ඇත්ද, ඔවුන්ගේ නීතිමය වරම කුමක්ද හෝ හමාස් නිරායුධ කිරීමට ඔවුන්ට අවශ්‍ය වේද යන්න පිළිබඳ විස්තර අප සතුව නොමැත.

මේ මොහොතේ, දැඩි ලෙස බලාත්මක කරන ලද  සාමයක් ගාසා තීරයෙන් බාගයක පවති.  කහ ඉරෙන් මෙපිට පදිංචිකරුවන් නොමැති තරම් වන අතර, පශ්චාත් යුධ විනාශයේ අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ ජීවත් වීමට උත්සාහ කරන මිලියන සංඛ්‍යාත ජනතාවක් අනෙක් භාගයෙහි සිටී. කහ ඉර එය සරලව බෙදා ඇත.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට දැන් ඊශ්‍රායලය පාලනය කරන  ගාසා තීරයේ කොටසට ඇතුළුවීමට අවසර ඇත, නමුත් අපගේ සගයන් යුද්ධය ආරම්භයේ සිටම එහි අනෙක් පැත්තේ සිට ඇත.

ගාසා තීරය විනාශ වී ඇති සැටි

මම ඊශ්‍රායල හමුදා කඳවුරක සිට ෂුජායියා නරඹමින් සිටියදී, ඔවුන් කහ රේඛාවේ අනෙක් පැත්තේ   සිය නගරයේ නටබුන් දැක ගැනීමට පැමිණ සිටියහ.

(ඉංග්‍රිසි ලිපියක සිංහල පරිවර්තනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

කතාව සහ ජායාරූප news.sky.com/story

Archive

Latest news

Related news