Monday, October 13, 2025

දෙහිබාලේගෙන් ජනමාධ්‍යවේදියකුට තර්ජන; ආරක්ෂාව සළසන ලෙස නි.මා.ව්‍යා. ඉල්ලයි

මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේගෙන් තර්ජන – ජීවිත ආරක්ෂාව තහවුරු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට දැනුම් දෙයි.

(Sri Lanka Brief/13 October 2025) වැලිගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිත තර්ජන එල්ල කර ඇති බව ඒ මහතා පවසයි. වෙඩි තැබීමක් සම්බන්ධ පුවතක් ඔක්තොම්බර් 07 වනදා දෙරණ නාළිකාවේ විකාශය වීමෙන් අනතුරුව ඔක්තොම්බර් 08 වෙනිදා දුරකතනය ඔස්සේ මෙම තර්ජනය කිරීම සිදුව ඇත.

දෙහිබාලේ යනුවෙන් හඳුන්වාගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන පුද්ගලයා සිදු කළ තර්ජනය සම්බන්ධව මාධ්‍යවේදී තරංග ගුණරත්න පසුගිය 09වැනිදා මිදිගම පොලීසියට පැමිණිලි කර තිබේ. එහෙත් ඔහු පවසන්නේ තවමත් පොලිස් විමර්ශන සිදුවන බවක් පෙනෙන්නට නොමැති බවයි. එවැනි පසුබිමක සිය ජීවිතය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ වෙමින් මෑත කාලයේ පුද්ගල ඝාතන ගණනාවක් සිදුව ඇති පසුබිමක මෙය නොසළකා හළ හැකි තර්ජනයක් නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද මතයයි. මෙවැනි තර්ජන මගින් මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය නිදහසේ සිදු කිරීමට නොහැකි වන අතර ස්වාධීන මාධ්‍යකරණය අකර්මන්‍ය වීමද සිදු වේ. එබැවින් මෙම තර්ජනය කිරීම හෙළා දකින අතර පොලිස් පරීක්ෂණ කඩිනම් කරමින් මාධ්‍යවේදී තරංග ගුණරත්නගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටී.

2025.10.13/ මාධ්‍ය නිවේදනයකි.

Archive

Latest news

Related news