Tuesday, August 26, 2025

සමාජ මාධ්‍ය හරහා අධිකරණයට මැදිහත්වීම පිළිබඳව නීතිඥ සංගමය අනතුරු හඟවයි!

(Sri Lanka Breif/ 26 August 2025) — ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් දැඩි අනතුරු හැඟවීමක්ක කර ඇත. සමාජ මාධ්‍ය සහ මහජන ප්‍රකාශන හරහා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල කිරීම පිළිබඳව එම සංගමය දැඩි අවධානයක් යොමු කරන බව එහි දැක්වේ.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 111(C)(1) සහ (2) වගන්ති අනුව, අධිකරණයට මැදිහත්වීම සම්බන්ධයෙන් දඩුවම් කිරීමේ  හැකියාවක් පවතින බව BASL සදහන් කරයි. නීතියේ ආධිපත්‍යය, නිසි ක්‍රියාවලිය, සහ පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්—නීතිය ක්‍රියාත්මක කරන අධිකාරීන් ඇතුළු—වගකීමෙන් ක්‍රියා කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) සහ අධිකරණය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වූ විවිධ අදහස් සහ අන්තර්ගතයන්ට ප්‍රතිචාරයක් ලෙසය.

කැපී පෙනෙන නඩු ගණනාවක් විභාග කරන විනිසුරුවරියන්ට අල්ලස් ලෙස උසස්වීම් දෙන්නට යන බව මේ දිනවල ආණ්ඩු විරෝධී සහ දූෂියින් රැක ගැනීමට තැත් දරන පිරිස් විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ගෙන යමින් සිටිති.

අධිකරණ සේවා කොමිෂන් සභාව JSC යනු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු සහ ජ්‍යෙෂ්ඨ විනිසුරු දෙදෙනෙකුගෙන් සමන්විත ස්වාධීන ආයතනයක් වන අතර, උසස් විනිසුරුවරුන්ගේ මාරු කිරීම, පත්වීම්, උසස්වීම්, විනයාත්මක පාලනය සහ ඉවත් කිරීම ඇතුළු කාර්යභාරයන් එය භාරගෙන ඇත.

අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිළිබඳව තම ස්ථාවරය නැවත තහවුරු කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය BASL සමාජ මාධ්‍ය පළකිරීම්, මහජන ප්‍රකාශන, අනුමාන සහ YouTube වීඩියෝ හරහා නඩු ප්‍රතිඵල පිළිබඳව පළකරන අදහස් වැනි ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කරයි. එවැනි ක්‍රියා මගින් නීතියේ ආධිපත්‍යය හා නිසි ක්‍රියාවලිය බිඳ වැටීමේ අවදානමක් ඇති අතර, ජනතාවගේ විශ්වාසය අධිකරණ පද්ධතියට පමණක් නොව, සමාජයමටම බලපාන බව එම සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය BASL සදහන් කරන්නේ, එවැනි ක්‍රියා වල නිරත වන පුද්ගලයන්ට ව්‍යවස්ථානුකූලව නීතිමය ප්‍රතිවිපාකයට මුහුණ  දීමට සිදු   හැකි බවයි.

මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ BASL සභාපති රාජීව් අමරසූරිය මහතා සහ ලේකම් චතුර ගල්හේන මහතා විසිනි.

 

Archive

Latest news

Related news