Sunday, August 10, 2025

එදිර්මාන්නසිංහම් කපිල්රාජ් (32)- තවත් අනීතික ඝාතනයක්; මුලතිව්හි සොල්දාදුවන් 3ක් සැකපිට රිමාන්ඩ්

(Sri Lanka Brief/10 August 2025)  වයස අවුරුදු 32ක් වූ එදිර්මාන්නසිංහම් කපිල්රාජ් නම් මුලතිව්හි තරුණ පියකුගේ මරණය සම්බන්ධයෙන් එහි යුද කදවුරෙහි සේවය කරන සොල්දාදුවන් තිදෙනෙකු අගෝස්තු 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබ තිබේ.

කපිල්රාජ් සත්මස් දරුවකුගේ පියෙකි.

අගෝස්තු 7 වන දින රාත්‍රියේ මුතයාන්කට්ටුකුලම් වම් ඉවුර හමුදා කඳවුරට ගිය පුද්ගලයින් 05 දෙනා අතර කපිල්රාජ් ද විය.

කුණු කසළ ඉවත් කිරීමට එන්නැයි හමුදාවෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ඔහු සහ තවත් 4 දෙනෙකු හමුදා කඳවුර තුළට ගිය  බව කියනු ලැබේ.

එසේ ගිය පස් දෙනාගෙන් ආපසු පැමිණියේ හතර දෙනෙකු පමණි. කපිල්රාජ්  පසුව මුට්ටියන්කට්ටු වැවෙහි මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

මුලතිව් මහේස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර කපිල්රාජ්ගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගෙන ගොස් ඇත.

මෙම කණ්ඩායමේ තවත් පුද්ගලයෙකුට දරුණු ලෙස පහර දී ඇති අතර දැන් මුලතිව් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව ශ්‍රී ලංකා රජයට ස්තූතිවන්ත වන අතර, විනිවිද පෙනෙන පරීක්ෂණයක් ඉල්ලා සිටින  බව දෙමළ භාෂා මාධ්‍ය ප්‍රකාශ කරයි.

හමුදා කඳවුර තුළ වධහිංසා පැමිණවීමෙන් පසු ඔහු මිය ගිය බවට අනුමාන කෙරේ.

හමුදා කඳවුර තුලට කැදවනු ලැබීමෙන් පසු ඔවුන්ට වෙනත්  හමුදා පිරිසක් විසින් පහරදුන් බව ද වාර්තා වේ.

(c) SLB

 

Archive

Latest news

Related news