Monday, August 11, 2025

ඊශ්‍රාලය ඝාතනය කළ අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ්ගේ අවසාන කැමැත්ත සහ සාක්ෂිය

“මෙය මගේ කැමැත්ත සහ මගේ අවසාන පණිවිඩයයි.

මෙම වචන ඔබට ළඟා වුවහොත්, ඊශ්‍රායලය මාව මරා මගේ හඬ නිහඬ කිරීමට සමත් වී ඇති බව දැනගන්න.

පළමුව, ඔබට සාමය සහ දෙවියන් වහන්සේගේ දයාව සහ ආශිර්වාදය ලැබේවා.

ජබාලියා සරණාගත කඳවුරේ මංතීරු සහ වීදිවල ජීවිතයට මගේ දෑස් විවර කළ දා සිට, මගේ ජනතාවට සහයෝගයක් සහ හඬක් වීමට මම සෑම උත්සාහයක්ම සහ මගේ සියලු ශක්තියම ලබා දුන් බව දෙවියන් වහන්සේ දනී. මගේ බලාපොරොත්තුව වූයේ මගේ පවුලේ අය සහ ආදරණීයයන් සමඟ අද ඊශ්‍රාලයන් වාඩිලාගෙන සිටින අපගේ මුල් පදංචිය වූ අස්කලාන් (අල්-මජ්ඩාල්) නගරයට නැවත පැමිණීමට දෙවියන් වහන්සේ මගේ ජීවිතය දීර්ඝ කරනු ඇති බවයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුලින්ම පැමිණි අතර, ඔහුගේ නියෝගය අවසානයි.

මම එහි සියලු විස්තර සමඟ වේදනාවෙන් ජීවත් වී ඇත්තෙමි. බොහෝ වාරයක් දුක් වේදනා සහ පාඩු  වින්දෙමි. නමුත් සත්‍යය පවතින ආකාරයටම ප්‍රකාශ කිරීමට මම කිසි විටෙකත් පසුබට නොවෙමි. විකෘති කිරීමකින් හෝ අසත්‍යකරණයකින් තොරව – එවිට දෙවියන් වහන්සේ හමුයෙහි, නිහඬව සිටි අයට, අපගේ ඝාතනය පිළිගත් අයට, අපගේ හුස්ම හිර කළ අයට සහ ඔවුන්ගේ හදවත් ගල් කර ගත් අයට අයට එරෙහිව සාක්ෂි දිය හැකිය. අපේ ජනතාව වසර එකහමාරකට වැඩි කාලයක් මුහුණ දුන් සංහාරය නැවැත්වීමට විසිරී සිටින අපේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ දේහයන් විනාශ වන්නට හැරි කිසිවක් නොකළ අය ගැන සාක්ෂි දිය හැකිය.

මුස්ලිම් ලෝකයේ ඔටුන්නෙහි මැණික වන, මේ ලෝකයේ සෑම නිදහස් පුද්ගලයෙකුගේම හෘද ස්පන්දනය වන පලස්තීනය මම ඔබට භාර දෙමි.

දරුවන් දෙදෙනා සමඟ

එහි ජනතාව  අහිංසක දරුවන් සමඟ මම ඔබට භාර දෙමි. ඔවුන්ට සිහින දැකීමට හෝ ආරක්ෂිතව සහ සාමයෙන් ජීවත් වීමට කිසිදා කාලයක් නොතිබුණි. ඔවුන්ගේ පිරිසිදු සිරුරු ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල ටොන් දහස් ගණනකට යට වී, ඉරා දමා බිත්ති හරහා විසිරී තිබුණි.

දම්වැල්වලට ඔබව නිහඬ කිරීමට හෝ දේශසීමා ඔබව වළක්වන්නට ඉඩ නොදෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. අපගේ සොරකම් කරන ලද නිජබිම මත ගෞරවයේ සහ නිදහසේ හිරු නැඟී එන තුරු, දේශයේ සහ එහි ජනතාවගේ විමුක්තිය කරා පාලමක් වන්න.

මගේ පවුල රැකබලා ගැනීමට මම ඔබට භාර දෙමි. මගේ ආදරණීය දියණිය වන ෂාම්, මගේ ඇස්වල ආලෝකය, මම ඔබට භාර දෙමි, මම සිහින මැවූ ආකාරයට වැඩෙන ආකාරය දැකීමට මට කිසිදා අවස්ථාවක් නොලැබුණි.

මගේ ආදරණීය පුත් සලාහ් මම ඔබට භාර දෙමි. ඔහු මගේ බර උසුලාගෙන මෙහෙවර දිගටම කරගෙන යාමට තරම් ශක්තිමත් වන තුරු ජීවිතය පුරා සහයෝගය දැක්වීමට සහ ඔහු සමඟ යාමට මම කැමත්තෙන් සිටියෙමි.

මගේ ආදරණීය මව, ඇගේ ආශිර්වාද ලත් යාච්ඤා මම ඔබට භාර දෙමි. මා සිටින තැනට මාව ගෙනවිත්,  ඇගේ ආලෝකය මගේ මාවතට මඟ පෙන්වීය. දෙවියන් වහන්සේ ඇයට ශක්තිය ලබා දී මා වෙනුවෙන් ඇයට හොඳම දේ ලබා දෙන ලෙස මම යාච්ඤා කරමි.

යුද්ධය මාව දිගු දින සහ මාස ගණනාවක් වෙන් කළ මගේ ජීවිත කාලය පුරාම සිටින මගේ සහකාරිය වන මගේ ආදරණීය බිරිඳ වන උම් සලා (බයාන්) ද මම ඔබට භාර දෙමි. එහෙත් ඇය අපගේ බැඳීම කෙරෙහි විශ්වාසවන්තව සිටියාය, නැමෙන්නේ නැති ඔලිව් ගසක කඳක් මෙන් ස්ථිරව සිටියායෙ. ඉවසිලිවන්තව සිටියාය. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කළාය. මා නොමැති විට ඇගේ සියලු ශක්තියෙන් හා ඇදහිල්ලෙන් වගකීම දරා සිටියාය.

ඔවුන්ගේ සහයෝගය වීමට, ඔවුන් සමඟ සිටීමට මම ඔබෙන් ඉල්ලා සිටිමි. මම මිය ගියහොත්, මම මගේ මූලධර්ම මත ස්ථිරව මිය යමි. මම දෙවියන් වහන්සේ ඉදිරියේ සාක්ෂි දරමි.්

දෙවියනි, මා ප්‍රාණ පරිත්‍යාගිකයින් අතර පිළිගන්න, මගේ අතීත සහ අනාගත පාපවලට සමාව දී, මගේ රුධිරය මගේ ජනතාවට සහ මගේ පවුලට නිදහසේ මාවත ආලෝකවත් කරන ආලෝකයක් බවට පත් කරන්න.

මම අඩුපාඩුවක් කර ඇත්නම් මට සමාව දෙන්න, දයාවෙන් මා වෙනුවෙන් යාච්ඤා කරන්න, මන්ද මම මගේ පොරොන්දුව ඉටු කළ අතර කිසි විටෙකත් වෙනස් නොවූ හෝ පාවා නොදුන් නිසාය.

ගාසා අමතක කරන්න එපා…

සමාව සහ පිළිගැනීම සඳහා ඔබේ අවංක යාච්ඤාවලදී මාව අමතක කරන්න එපා.

අනස් ජමාල් අල්-ෂරීෆ්
2025.04.06

 

( ඉංග්‍රිසි බසින් පරිවර්ථනය කරන ලද අතර කෙටි සංස්කරණයන් කරන ලද බව සළකන්න)

 

Archive

Latest news

Related news