කාටූනය: ලේකම්තුමාගේ බිරිද නිල වාහනය අනතුරකට ලක් කිරීම ගැන ආණ්ඩුව නිහඩය!
ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවන කාර්තුවෙන් පටන් ගෙන සියළුම වර්ණයන්හි රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ දේශපාලන බලකායට ස්වයං අතුරුදහන්වීමේ සහ උසාවි බඩගෑමේ දුංඛිත වකවානුවක් උදා වී තිබේ.
කල්දේරම් බත් කෑ ලැයිස්තුව
මේ එහි අසම්පූර්ණ ලැයිස්තුවකි.
කටින් වෙඩි තැබිමේ වීරයකු වූ හිටපු ඇමති ප්‍රසන්න රණවීර 2025 මාර්තුවේදී පොලිසියට බියේ අතුරුදහන් වී මාස ගණනාවකට පසු මතු විය. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.
තවත් කටකාරයකු වූ හිටපු ඇමැති රාජිත සේනාරත්න ද අතුරුදහන් වූයේ දින කිහිපයක් හෝ කල්දේරම් බත කෑමට බිය නිසාය. ඔහු තවම ස්වයං අතුරුදහන්වීමේය.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමෙද තමාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන දූෂණ නඩුවට පැමිණයේ නැත. තවත් ස්වයං අතුරුදහන්වීමකි. ඔහු නොමැතිව එම නඩුව ඔක්තෝබර් මස 30 කැඳවනු ඇත.
තවත් රාජපක්ෂ රෝහිතවරයකු වන රෝහිත අබේවර්ධනගේ දුව සහ බෑනා අධිකරණය මඟ හැරීමට නිවස වසා පලා ගියේ කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට බියෙනි.
සිය ලේකම් සහ සහෝදරයා දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට සෙවූ කාලයේ හිටපු බල්ටි ඇමතියකු වූ මනූෂ නානායක්කාරද අතුරුදහන් වී තිබුණි. පසුව ඔහු ද මතු විය.
2025 ජූනි 23 දා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති දූෂණ නඩුවකට සහභාගි වීමට 10% යේ රාජපක්ෂ වූ බැසිල් ඇමෙරිකාවේ සිට නාවේ බෙල්ලේ උළුකුවක් නිසාය! තවත් අතුරුදහන්වීමකි. ඒ නීති විරෝධී ලෙස ඉපයූ රුපියල් ලක්ෂ 500ක් යොදවා මිලදී ගත් ඉඩමකට අදාළ නඩුවකටය.
අතුරුදහන්වීම් වාර්තාව තැබූයේ නාමල් රාජපක්ෂ රැකගැනීමට උත්සාහ කළ දූෂිත දේශබන්දු තෙන්නකෝන්ය.
2025 මාර්තු 27 දා පා.ම. චාමර සම්පත් දසනායක පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. පසුව ඔහුට ඇප නියම විය.
2025 ජූලි මාසයේ දී හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන දිළිඳු ගොවීන්ට බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ අවභාවිත කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදුව පසුව ඇප නියම විය.
තමන් සහ සිය පවුල සතු රුපියල් ලක්ෂ 946ක පමණ වටිනාකමකට ආසන්න මුදලක් උපයාගත් ආකරය පෙන්වීමට නොහැකි වූ හිටපු ඇමති කෙහෙළිය රඹක්වැල්ල සහ පවුලේ සමාජිත සාමාජිකාවන් සිරගත වී ඇප ලබා නඩු පිට නඩු වැටී සිටී.
හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට දූෂණ චෝදනා උඩ අධිචෝදනා භාර දෙනු ලැබුවේ ජූනි 30 වන දාය.
රාජපක්ෂ පවුලේ යෝෂිත සහ ශෂීන්ද්‍ර යන දෙදෙදනාම දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැණුනි. එම නඩු බරපතලය.
2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම සහ බැදුම්කර මගඩියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා කර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම නඩුවක් ගොනු කර තිබේ.
සිය නිත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි හිටපු වාචාල ඇමති මර්වින් සිල්වාට අධිචෝදනා භාර දී තිබේ.
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනු කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා ගොනු කරනු ලැබීය.
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව දූෂණය චෝදනා මත නඩු ත්‍රිත්වයක් පවරනු ලැබුවේ ජනවාරි 8 වන දා ය.
2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ කුප්‍රසිද්ධ කැරම් බොඩ් නඩුවට වරදකරු වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට දීර්ඝ සිර දඩුවම් නියම විය.
මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ සතුටට හේතු වන බව නිසැකය. එමෙන්ම මෙම ලැයිස්තුව තව බොහෝ දිගු වන බවද නිසැකය.
දේශපාලන දූෂණයේ වාර්තාව
එසේ නමුත් වීසා මගඩිය ගැන ජාජබ නිමඩය
2024 ජාජබ ආණ්ඩුව මෙන්ම2015 යහපාලන ආණ්ඩුවද බලයට පැමිණියේ දූෂණය සහ වංචාව පිටු දැකීමේ සටන් පාඨය පෙරදැරි කර ගනිමිනි. යහ පාලන ආණ්ඩුව වංචා දූෂණ පිටු දැකීමට ගත් විධිමත් සහ ඍජු පියවර පසුව දිය වී ගියේ ආර්ථික දූෂණය පිටු දැකීමට සමාන්තරව දේශපාලන දූෂණය පිටු දැකීමට පියවර නොගත් නිසාත්ය.
අද ජාජබ ආණ්ඩුව මුහුණ දී සිටින අභියෝගයත් එයයි. යහ පාලන ආණ්ඩුව වසරකටත් වඩා කාලයක් පාර දෘශ්‍ය පාලනයක් ගෙන ගියේය. එය කඩාකප්පල් වූයේ බැදුම්කර වංචාව යටපත් කිරීමටත් ජනාධිපති සිරිසේන නොසළකා හැරීමටත් අගමැති වික්‍රමසිංහ කුටෝපා දියත් කළ නිසාය.
ජාජබ ආණ්ඩුවට තවම වසරක්වත් නැත. එනමුත් දේශපාලන දූෂණය අතින් එය සිටින්නේ නරක තැනකය. රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් අනුර කුමාර ආණ්ඩුව විසින දේශපාලනීයකරණය කර ඇත්තේ රාජපක්ෂ අඩිපාරේ යමිනි. රජයේ ප්‍රධාන සිවිල් තනතුරු පුරවා ඇත්තේ ජනාධිපති අනුර කුමාරගේ හිතවතුන්ගෙනි.
රේගුව, ආදායම් බදු දෙපාර්තමෙන්තුව සහ සුරා බදු දෙපාර්ථමෙන්තුව යන වැදගත්ම ආයතන ප්‍රධානීන් ලෙස දේශපාලන හිතවතුන් පත් කර තිබේ. ජාජබ අපේක්ෂක ලැයිස්තුවේ සිටි ආචාර්යවරු දෙදෙනෙකු විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු සහ වරියක ලෙස පත් කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් අනුර කුමාරගේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයාය.
මේ රාජපක්ෂවාදයයි.
විධායක දේශපාලන දූෂණය අතින් ජනාධිපති අනුර කුමාර රාජපක්ෂවරුන් ලැජ්ජාවට පත් කරයි. ප්‍රබල සිවිල් සමාජ පිරිස් සහ නීතිඥ සංගමය වැනි ආයතනයන්හි ඉල්ලීම නොසළකා අනුර කුමාර සය මසක් ගතවීත් තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් නොකරන්නේ ඔහුගේ සිතැඟි පරිදි දූෂිතයකු පත් කර ගැනීමට නොහැකි වූ නිසාය. එය විධායක උද්දච්චකමයි.
මේ අහංකාරකමේ තවත් විපාකයක් වූයේ විගණකාධි ලෙස සිය සිතැගි අනුව බාහිර පුද්ගලයකු පත් කිරිමට ඔහු දැරූ අසාර්ථක ප්‍රයත්නයයි.
මාධ්‍ය වාර්තා කරන්නේ ව්‍යවස්ථා සභාවෙහි ස්වාධීනත්වය දුර්වල කිරීමට අනුර කුමාර ආණ්ඩුව කැස කවන බවයි.
සිය ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සිටින පුද්ගලයින්ගේ ලැයිස්තුවක් දීම අනුර කුමාරගේ ලේකම් ප්‍රතික්ෂේප කළේ එය රාජ්‍ය රහසක් නිසා විය හැක. මෙම ලේඛකයා විසින් ඔහුගේ කාර්යාලයට යවන ලද තොරතුරු ඉල්ලීම් දෙකකටද අත් වූයේ එම ඉරණමය.
මේ දේශපාලන දූෂණය කොතෙක් ද යන්න පෙන්වන කැත නිදසුනක් වන්නේ යෞවන සමාජ ජවිපෙ යටතට ගැනීමට දරන උත්සාහයයි .
පසුගියදා අධ්‍යපන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ජා කිරීමට ගිය සිවිල් සමාජ කණ්ඩායමකට අදාළ මංත්‍රීවරයකු කියා ඇත්තේ ‘ටිල්වින් සහෝදරයා’ සමග සකච්ජා කර බලන ලෙසය!
“මෙම දේශපාලන දූෂණය නතර කර පාරදෘශ්‍යබව සහ නීතියේ පාලනය තහවුරු කිරීමට පියවර ගැනීමට අනුර කුමාර ආණ්ඩුවට තවම අවස්ථාව තිබේ. නමුත් දිනපතා අසන්නට ලැබෙන්නේ අනෙක් පැත්තය.”
රාජ්‍ය සේවයේ විශිෂ්ඨ පිළිගැනීමක් ඇති ජාජබට දර දිය ඇදි වයෝවෘද්ධයකුට ලැබෙන්නට තිබූ පලාත් පාලන ආයතනයක සභාපති තනතුරක් ගැස්සී ගියේ වැරදීමකිනි. පසුව ඔහු කියා තිබුණේ තනතුර ලැබුණේ නම් තමාට දිවි නාසා ගැනීමට සිදුවන්නට තිබූ බවයි. ඒ සභාපතිවරයා වෙනුවට තීරණ ගැනීමට ජවිපෙ ක්‍රියාකාරිකයකු ඔහුගේ කාර්යාලයට අනුයුක්ත කර ඇති නිසාය. රට පුරාම සිදුවෙමින් ඇති දේශපාලන දූෂණයට එය අපූරු නිදසුනකි.
බස්නාහිර පළාත් සභාවෙහි ඉතා දක්ෂ ලේකම්වරියක් සිටියේය. ඇය පත් කරනු ලැබූයේ වික්‍රමසිංහ ජනාධිපති සමයේ බැවින් ඇය ඉවත් කර ජවිපෙ හිතවතකු පත් කරන ලදී. ඔහු කොතරම් කාර්යක්ෂමද යත් ඔහුට ලැබෙන ඊ මේල් ලිපි මුදුණය කර දිය යුතුය! දෙහිවල සහ නගර සභාවෙහි සිටි ජවිපෙ මංත්‍රීවරියකගේ අවභාවිතයන් වාර්තා කල එහි ලේකම් පළවා හැර පත් කරන ලද්දේ ද අර ජාතියයේම අයෙකි.
ජනාධිපති ලේකම්ගේ බිරිදට ෂොපින් යෑමට ආණ්ඩුවේ වාහනයක් දි ඇත්තේ නිල බලයෙනි. හිටපු කතානායකගේ ආචාර්ය උපාධි කොළය තවම නැත.
දූෂණයට විරුද්ධ සටන නීතියේ පාලනය සහ පාරදෘශය බව සමග ඒකාබද්ධ නොවූ කළ එය භීෂනයක් බවට පත් වීමට ඇති ඉඩ වැඩිය. එවිට එය කකුලු දේශපාලනයක් බවට පත් වෙයි.
මෙම දේශපාලන දූෂණය නතර කර පාරදෘශ්‍යබව සහ නීතියේ පාලනය තහවුරු කිරීමට පියවර ගැනීමට අනුර කුමාර ආණ්ඩුවට තවම අවස්ථාව තිබේ. නමුත් දිනපතා අසන්නට ලැබෙන්නේ අනෙක් පැත්තය.
ප්‍රමාදය මරනයේ මග බව ඉන්දීය ශාතෘවරුන් පෙන්වා දි ඇති පරම සත්‍යක් බව අවසාන වශයෙන් ලියා තබමි.
( මෙම ලිපිය සම්මුති විසම්මුති තීරු ලිපිය ලෙස පළමුවෙන් 07 08 25 අනිද්දා පුවත් පතෙහි පළ විය)