Thursday, July 3, 2025

ටිරන්ගේ වීසා මගඩිය සහ දේශපාලන අයියාගේ සීනි කිරන්නට ගොස් මාට්ටු වූ ආගමන විගමන පාලකවරයා – ලොකු කුමා

ඡායාරූපය: ටිරන් අලස් සහ හර්ෂ ඉළුක්පිටිය

පසුගිය දිනක ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට එරෙහිව ඔහුට එල්ලවී තිබූණ චෝදනාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කොන්දේසි විරහිතව වරද පිළිගත්තේය. පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය හට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා එල්ල වී තිබුණි

හි⁣ටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සමයේ විද්යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන පාඨලී චම්පක රණවක එම්.සුමන්දිරම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද අතර එම පෙත්සම විභාගය⁣ට ගත් අවස්ථාවේ⁣ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින්  පසුගිය වසරේ අගෝස්තු මස 02 වන දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තව දුරටත් ආගමන විගමන පාලක වරයාට නියෝග කරන ලද්දේ විද්යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමය යටතේම සිඳු කරන ලෙසටය.

ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ආගමන විගමන පාලක වරයාට දුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම ඒ වන විට එම ධුරයේ රාජකාරි කළ හර්ෂ ඉලුක්පිටිය තඹ දොයිතුවකට ගණන් නොගත්තේය.

ඒ අනුව එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට කළ අපහාසයක් ලෙස සළකා හර්ෂ ඉලුක්පිටිය පසුගිය වර්ෂයේ සැප්තැම්බර් 25 වන දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.එම චෝදනාව සම්බන්ධයෙන් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ තමන් අදාල චෝදනාවට නිවැරිදි කර බවද ⁣ප්‍රකාශ කෙරුවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන යසන්ත කෝදාගොඩ ,ජනක්ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර ඉදිරියේ පසුගියදා මෙම නඩුව යලි කැඳවනු ලැබීය.

එහිදී රක්ෂිත බන්ධනාගාරයේ සිට නඩුවට ඉදිරිපත් කරන ලද ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රකාශ කෙ⁣රුවේ තම සේවාදායක විත්තිකරුට එරෙහිව ඇති චෝදනා වලට තමන් නිවැරිදිකරු යැයි මීට ඉහතදී  කර තිබූ ප්‍රකාශය ඉවත් කර ගනිමින් ඔහු වරද පිළිගන්නා බවය.එසේම විත්තිකරුට වරද පිළිගෙන ප්‍රකාශයක් කිරීමට අවසර ⁣දෙන ලෙසද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

විනිසුරු මඩුල්ල ඒ ඉල්ලීමට අවසර ලබා දෙන ලදී.

ඉන් අනතුරුව විත්තිකාර ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය සිය ප්‍රකාශය කරමින් පැවසුවේ ස්වාමීනි මට එරෙහිව කළ චෝදනා වලට මා මීට ඉහතදී නිවැරිදිකරු බව ප්‍රකාශ කළ ද දැන් මා එය ඉල්ලා අස්කර ගෙන එම චෝදනාවලට වැරදිකරු යැයි පිළිගනිමි“කියාය.

මේ අවස්ථා⁣වේ විනිසුරු යසන්ත කෝදාගොඩ විත්තිකරුගෙන් විමසුවේ මෙවැනි ප්‍රකාශයක් කිරීමේ තිබෙන බරපතල බව ගැන දැනුමක් තිබේද යන්නය.

එහිදී විත්තිකාර  ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මෙසේ පිළිතුරු දුන්නේය.

“ස්වාමීනි  ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගය ගැන මා නීතිපතිවරයාගෙන් විමසීමක් කළා.

“එම අධිකරණ නියෝගය ගැන ගරු අධිකරණයෙන් වැඩිමනත් කරුණු පැහැදිලි කර ගන්නා ලෙස නීතිපතිවරයා ගෙන් උපදෙස් මා වෙත ලැබුණා. ඒ අනුව ගරු අධිකරණයෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවකට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් මට උපදෙස් දුන්නා. මා ලේකම්වරයාගේ උපදෙස් අනුව කටයුතු කෙරුවා. ඒ වන විටත් මා විශ්‍රාම යාමට ඉල්ලා තිබුණා. එසේත් නැතිනම් වෙනත් ආයතනයක⁣ට මාරු කර යවන ලෙසද ඉල්ලා සි⁣ටියා.”

එහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ යළි විත්තිකරුගෙන් ප්‍රශ්ණ කරමින් අසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා කටයුතු කරන ලෙසට ඉහළ බලාධිකාරියකින් බලපෑමක් තිබුනාද යන්නය.

මෙහිදී පිළිතුරු දුන් විත්තිකාර හර්ෂ ඉලුප්පිටිය පැවසුවේ “ස්වාමීනි  නීතිපතිවරයා ඒ තීන්දුව ගැන අධිකරණයෙන් පැහැදිලි කර ගන්නා තෙක් අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස එවකට නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් වියානි ගුණරත්න තමන්ට ⁣වාචිකව හා ලිඛිතව උපදෙස් දුන්” බවය.

නැවතත්  විනිසුරු යසන්ත කෝදාගොඩ විත්තිකාර හර්ෂ ඉලුප්පිටියගෙන් ප්‍රශ්ණ කෙරුවේ ඔබ පවසන්නේ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත අදාල අධිකරණ  නියෝගය ක්‍රියාත්මක නොකළ බව නේද යන්නෙන් හා ලේකම්වරයා ගෙන් ඒ උපදෙස් ලැබුණේ කවදාද යන්නය.

“ස්වාමීනි මට දිනය හරියට මතක නෑ.මා විදේශ ගත වීමට පෙරයි එය ලබා දුන්නේ.”

ඒ උපදෙස් දුන්නේ වාචිකව හා ලිඛිතවයි යැයි විත්තිකාර හර්ෂ ඉලුක්පිටිය පිළිතුරු දුන්නේය.

ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල මේ පිළිබඳව පෙත්සම් කාර පාර්ශවයෙන් කරුණු විමසීය. පෙත්සම්කාර පාර්ශයේ නීතිඥ රාවුෆ් හකීම් එහිදී පවසා සි⁣ටියේ මෙම ක්‍රියාව විත්තිකරුගේ අවශ්‍යතාවක් මත සිඳුවූ කාර්යයක් නොවූ බවත් සිද්ධිය හා බැඳුණ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් ජාතික ආර්ථිකයට බරපතල පාඩුවක් සිදු වූ බවත්ය. මෙම විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී ඒ පිළිබඳව අවධානයට ගන්න ලෙසට ගරු අධිකරණයෙන් ඔහු ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශවයේ පාඨලී චම්පක රණවක අධිකරණය වෙත පෙන්වා දුන්නේ මෙම විද්යුත් වීසා ගණුදෙනුව නිසා රටට සිඳුවී ඇති හානිය රුපියල් කෝටි 331 බවත් අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා එම පාඩුව තවත් වැඩි වී ඇති බවත්ය.

විත්තිකාර හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය වෙත පෙන්වා දුන්නේ “වැරදි කාලයක වැරදි තනතුරක කටයුතු කිරීම” නිසා තම සේවාදායකයා අවාසනාවන්ත තත්වයකට මුහුණ පා ඇති බැවින් හා ඔහු මේ වන විට වරද පිළිගෙන ඇති හෙයින් ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසය.

ඒ අනුව විත්තිකරුට දඬුවම් පැමිණවීම ජුලි මස 24 වැනි දින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඬුල්ල තීරණය කරන ලදී.

මේ නඩුවේ විත්තිකාර පාර්ශවය වන ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පසුගිය සැප්තැම්බර් මාසයේ අවසාන භාගයේ සිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විත්තිකාර හර්ෂ ඉලුක්පිටිය බන්ධනාගාර ගත කරන විටත්  ඔහු සිතා සිටින්නට ඇත්තේ විද්යුත් වීසා සිද්ධියට සම්බන්ධ දේශපාලඥයා තමන් නිදහස් කර ගනීය යන විශ්වාසයෙනි.ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නිවැරිදිකරු කියන්නට ඇත්තේද ඒ විශ්වාසය මත බව පැහැදිලිය.

එහෙත් මාස නවයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වීම නිසා හා මෙරට ඇතිවී තිබෙන ආණ්ඩුකරණයේ වෙනස ඔහුට හොඳහැටි දැනෙන්නට ඇත්තේ තමන් මේ කන්නට යන්නේ කොහේවත් නැති පරිප්පුවක්  බවය.

කෙසේ වෙතත් විත්තිකාර හර්ෂ ඉලුප්⁣පිටිය තමන්ට එරෙහිව ඇති චෝදනා පිළිගැනීම නිසා ඔහු⁣ට බොහෝ විට අත් හිටවූ සිර දඬුවමක් ලැබීමට ඇති ඉඩ හැකියාව වැඩිය. ඔහුට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසට රාජ්‍ය සේවා කොමිසමට නියෝග කරන්නත් පුළුවන. කෙසේවෙතත් ඔහු අධිකරණ තීන්දුවෙන් පසුව සිය විශ්‍රාම වැටුප බේරාගෙන සේවයෙන් විශ්‍රාම යාමට ඉඩ තිබේ.

විද්‍යුත් වීසා   මගඩිය සම්බන්ධයෙන් තවමත් පොලිස් පරීක්ෂණයක් අරඹා ඇති බවට වාර්තා නොවේ. එහෙත් එය ජාජබ ආණ්ඩුවේ කන්‍යා භාවය පිළිබඳ ප්‍රශ්ණයක් මතු කිරීමට තරමේ වංචාවක් බව අනාවරණය ⁣වන විට ආණ්ඩුවටද එය මග හැර ⁣යා නොහැකි වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ ඇත්තේ ජුලි 24 වන දා විත්තිකාර හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන දඬුවම නිසාය. එහිදී මෙම වීසා මගඩියේ ප්‍රධාන විත්තිකරු වන  ආණ්ඩුවේ නිලමක්කාරයන් විසින් නම නොකියා ගිල ගන්නා කෙරුම්කාර අයියාටදගැලවීමක් නැති විය යුතුමය.

මෙම වීසා මඟඩියේ නිල හිමිකරු බවට ජනමාධ්‍ය මගින් චෝදනා කර  ඇති ගෝටාගේ පොලිස් ඇමති ටිරන් අලස් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ භුක්ති විදින දණ්ඩ මුක්තිය දැන් යළිත් වරක් වේදිකාවේ රඟනවා ඇත.

 

 

Archive

Latest news

Related news