මෙරට පුරවැසියකු 2016 අංක 12 තොරතුරු පනතේ විධි විධානයන් පරිදි විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිලධාරිනී නීතිඥ කුමුදිනී අබේකෝන් වෙත 2025 අප්‍රේල් මස 14 වන දින RTI 01 අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත්තේ එම පනත ප්‍රකාරව තොරතුරු ලබා ගැනීම සඳහාය. එම තොරතුරු අයදුම්පත්‍රයට 2025 අප්‍රේල් මස 21 පිළිතුරු සපයන විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිලධාරී නීතිඥ කුමුදිනී අබේකෝන් MFA /RTI /2025/43 යටතේ හා “තොරතුරු දැනගැනීම යටතේ ලැබූ තොරතුරු අයදුම්පත සම්බන්ධයෙනි“යන ශීර්ෂය සඳහන් ලිපියකින් තොරතුරු අයදුම්කරුට දන්වා ඇත්තේ තොරතුරු සැපයීමට ජාතික හැඳුනුම්පතේ පිටපතක් එවන ලෙසය. 2016 අංක 12 තොරතුරු පනතේ 24 වන වගන්තියෙන් කියවෙන 5 වන අනු වගන්තිය හා සම්බන්ධ ඈ වගන්තියේ විධි විධානය තුළ සඳහන් වන්නේ තොරතුරු ලබා ගැනීමට RTI 01 අයදුම්පත්‍රය සමග ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිලධාරිනිය නීතිඥවරියකි.
මෙම නිලධාරිනිය තොරතුරු පනතේ විධි විධානයන් නොදැනීම නීතිඥ වෘත්තිය බාල්දු කිරීමකි.කෙසේ වෙතත් මෙම තොරතුරු නිලධාරිනියගේ නොසැළකිල්ල sri lanka brief හි ප්‍රවෘත්තියක් ලෙස මීට ඉහත පල කෙරිණි.
මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා තොරතුරු අයදුම්කරු විදේශ කටයුතු අමාත්‍යංශයේ නම් කළ නිලධාරියා වෙත 2025 අප්‍රේල් මස 21 වන දින RTI 10 අයදුම්පත්‍රයක් විද්යුත් තැපෑලෙන් ඉදිරිපත් කර තිබේ. එහෙත් එම අයදුම්පත්‍රයට නම් කළ නිලධාරියා ප්‍රතිචාර නොදැක්වීම නිසා තොරතුරු අයදුම්කරු අවස්ථා දෙකකදී එම අයදුම්පත විද්යුත් තැපෑලෙන් ඔහු වෙත යොමු කෙරුවද කිසිදු පිළිතුරක් ලැබී නැත. තොරතුරු වලට ප්‍රවේශවන්නකු හට ඊළඟ පියවර වශයෙන් තොරතුරු පනතේ සඳහන් වන්නේ තොරතුරු කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමය.මේ වන විට මෙරට තොරතුරු කොමිසම අක්‍රීයව පවතී.
කෙසේවෙතත් තොරතුරු අයදුම්කරු තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව සදහන් කර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා වෙත 2025 මැයි 15 වන දින විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යොමු කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරියද විද්‍යුත් තැපෑලෙන් යොමු කරන ලද එම ලිපියට ප්‍රතිචාර නොදැක්වීම නිසා නැවත අවස්ථා දෙකකදී එම ලිපිය විද්‍යුත් තැපෑලෙන් ඇය වෙත යොමු කර තිබේ.එහෙත් ඒ සිහිපත් කිරීම් වලටද විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් වරිය ප්‍රතිචාර දක්වා නැත.
තොරතුරු අයදුම්කරු ඉන් අනතුරුව ගෙන ඇති ක්‍රියා මාර්ගය හරිම අපූරුය.
ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරියගේ ස්වාමිපුරුෂයා වෙත ලියා පදිංචි තැපෑලෙන් ලිපියක් යවා ඇති අතර එම ලිපියේ තමන්ට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සිදු වූ අසාධාරණය හා එම දින කාල වකවානු සඳහන් කර ඒ බව ඔහුගේ බිරිඳට දන්වන ලෙස සඳහන් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරියගේ සැමියා සේවය කරන්නේද එම අමාත්‍යංශයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙසය.
මේ සිද්ධියෙන් අනාවරණය වන්නේ ඩිජිටල්කරණය ගැන පාරම්බාන ආණ්ඩුවක නිලධාරීන්ගේ තුක් නොදකින් කෙරුවාවය. විශේෂයෙන් විදේශ කටයුතු වැනි අමාත්‍යංශයක සේවය කරන නිලධාරීන්ගේ උද්දචිචකමය. අමාත්‍යංශයක ලේකම්වරියකට පුරවැසියෙකු විසින් ලිපියක් යොමු කර ඇති බව දැනුවත් කරන ලෙස ඉල්ලා ඒ පුරවැසියාට ලේකම්වරියගේ “ගෙදර වාහේ” වෙත ලිපි යොමු කිරීමට සිදු වීම ජනපති කාර්යාලයේ දැඩි අවධානයට වහා අවධානයට ලක් විය යුතු බරපතළ සිදුවීමකි. එසේත් නැතහොත් මේ අවුල ලිහා දැමීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වගකීමයි.
කෙසේවෙතත් 2022 සැප්තැම්බර් 29 වන දින අංක 02/2012 යටතේ රාජ්‍ය ආයතන වලට ලැබෙන ලිපි විද්යුත් ලිපි සහ දුරකථන ඇමතුම් වලට පිළිතුරු සැපයීම යන ශීර්ෂයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් වරයා සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයේ 11 වන ඡේදයේ විද්යුත් තැපෑල නම් අනු ශීර්ෂය යටතේ සඳහන් කර ඇත්තේ කාර්යාලවල විද්යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි දිනපතා පරීක්ෂා කළ යුතු බවයි.ඒ සඳහා නිශ්චිත නිලධාරියකු පත් කළ යුතු බවත් මාණ්ඩලික නිලධාරියකු ගේ විද්‍යුත් තැපෑල දිනපතා පරීක්ෂා කළ යුතු බවත් එහි සඳහන්ය. විද්යුත් තැපෑලෙන් ලැබෙන ලිපි සඳහා එදිනම පිළිතුරු ලබා දීමට උත්සුක විය යුතු බවත් එසේ නැතහොත් ඒ සඳහා එදිනම පිළිතුරු ලබා දිය
නොහැකි නම් එම ලිපිය ලද බවත් එයට පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයත් සඳහන් කර පිළිතුරු ලිපියක් වහා යොමු කළ යුතු බවද එහි දැක්වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරිය හා නිළධාරීන් එම අමාත්‍යංශයෙන් තොරතුරු අයදුම් කළ පුරවැසියා සම්බන්ධයෙන් යම් “ඇරියස් කවර්” කිරීමක් කරන බව හැගේ. ඒ මීට පෙර අමාත්‍යංශයේ තොරතුරු නිළධාරිණියගේ නොදැනුවත්කම පිළිබඳව sri lanka brief හි ලිපියක් පල කිරීම නිසා යැයි සැක සිතිය හැක.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරියගේ සැමියා වෙත පුරවැසියා විසින් විද්යුත් තැපෑලෙන් යොමු කරන ලද ලිපිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ගේ මාධ්‍ය ලේකම්වරයා වෙතද යොමු කර ඇති හෙයින් එම සිද්ධිය ගැන මේ වන විට අමාත්‍යවරයා දැනුවත් ඇතැයිද සිතේ. පුරවැසියන් ගෞරව කරන්නේ කයිවාරුවට වඩා කෙරුවාවට බව ඇමතිවරයාට මෙහිදී අවබෝධ විය යුතුය.
ඇමතිවරයාත් මේ සිදුවීම පයිසෙකට ගණන් නොගන්නේ නම් පුරවැසියන් විසින් රාජ්‍ය ආයතනයකට යොමු කරන ලිපියක් දුක්ගැනවිල්ලක් හෝ පෙත්සමකට පිළිතුරු එම රාජ්‍ය ආයතනය පිළිතුරු දීම මග හරින්නේ නම් එහි ප්‍රධානියාගේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට සිය කාරණය දන්වා ලිපි යොමු කිරීම ඇරඹිය යුතුය. අඩුම ගානේ ලැජ්ජාවක් තිබේ නම් ඉන් අනතුරුව වත් රාජකාරිය ඉටු කරනු ඇද්ද යන්න ගැන අදහසක් පුරවැසියන් හට ඇති කර ගන්නට පුළුවන. එසේත් පිළිතුරක් නැතිනම් සිතා ගන්නට වන්නේ දෙන්නා දෙමාල්ලන් අතර ඇත්තේ නමට කසාදයක් පමණක් බවය.
මේ පුරවැසියා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරියගේ සැමියා වෙත විද්යුත් තැපෑලෙන් යොමු කරන ලද ලිපියයි.
දර්ශන එම් පෙරේරා මහතා,
ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල්,
(ද්වි පාර්ශික)
විදේශ කටයුතු අමාත්‍යංශය,
ජනරජ ගොඩනැගිල්ල,
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත ,
කොළඹ 01
ගරු මහත්මයානෙනි,
1. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය වන අරුණි රණරාජා මහත්මිය ඔබතුමාගේ බිරිඳ බව මා හට ලැබී ඇති තොරතුරු අනුව මම විශ්වාස කරමි.එය එසේ නොවන්නේ නම් මෙම ලිපිය ඔබතුමා හට යොමු කිරීම පිළිබඳව ඉතා කාරුණිකව සමාව අයදින මෙහි අන්තර්ගතය පිළිබඳව නොසළකා හරින ලෙසද ඉල්ලමි.
එහෙත් එය එසේ වන්නේ නම් මෙකී ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ඔබතුමාගේ බිරිඳ වන විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් තුමිය දැනුවත් කරන්නේ නම් ස්තූතිවන්ත වෙමි.
2. 2025 අප්‍රේල් මස 14 වන දින මවිසින් විද්යුත් තැපෑල ඔස්සේ විදේශ කටයුුුතු අමාත්‍යංශයේ තොරතුරු නිළධාරී වෙත තොරතුරු ප්‍රවේශය සඳහා RTI 01 අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ලදී. එකී අයදුම්පත්‍රයට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිළධාරී ලෙස සඳහන් නීති නිළධාරී කුමුදිනී අබේකෝන් මහත්මිය විසින් 2025 අප්‍රේල් මස 21 වන දින මගේ අංක MFA /RTI/2025/43 හා “තොරතුරු දැනගැනීම යටතේ ලැබූ තොරතුරු දැනගැනීමේ අයදුම්පත සම්බන්ධයෙනි” යන ශීර්ෂයෙන් මා හට එවන ලද ලිපියක සඳහන් කර තිබුණේ තොරතුරු වලට ප්‍රවේශ වීම සඳහා මාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් එවන ලෙසය.
3. 2016 අංක 12 දරණ තොරතුරු පනතේ 24 වන වගන්තිය යටතේ කියවෙන 5 වන අනුවගන්තිය හා සම්බන්ධ ඈ වගන්තියේ විධි විධානයන් අනුව පුරවැසියෙකු ඉදිරිපත් කරන RTI 01 අයදුම් පත්‍රය සමග ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිසම දුන් තීන්දු පූර්වාදර්ශ සාක්ෂි ලෙස ගත හැකිය. විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිලධාරිනිය නීතිඥවරියකද වේ. එහෙත් එතුමිය සිය රාජකාරිය හා සම්බන්ධ තොරතුරු පනත පිළිබඳව හයක් හතරක් නොදැනීම කණගාටුවට කාරණයකි. මෙතුමියගේ නොසැළකිලිමත් රාජකාරිය ගැන මවිසින් Sri lanka brief වෙබ් පුවත්පතේ ලිපියක් පවා පල කෙරිණි.
ඒ කෙසේ වෙතත් තොරතුරු පනතේ විධි විධානයන් පරිදි මවිසින් ඔබ අමාත්‍යංශයේ නම් කළ නිළධාරීවරයා වෙත 2025 අප්‍රේල් 21 වන දින RTI 10 අයදුම්පත්‍රයක් විද්යුත් තැපෑල ඔස්සේ ඉදිරිපත් කරන ලදී.එහෙත් එකී අයදුම්පත්‍රය සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා ප්‍රතිචාර නොදැක්වූ හෙයින් අවස්ථා දෙකකදී විද්යුත් තැපෑලෙන් එම අයදුම්පත්‍රය ඔහු වෙත යොමු කර බවද සඳහන් කරමි.
4. විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු ප්‍රවේශය සඳහා වූ අභියාචනා ඉදිරිපත් කිරීමට නම් කර ඇති නිලධාරියා මාගේ RTI 10 අයදුම්පත සම්බන්ධයෙන් දැක්වූ නොසැළකිල්ල පිළිබඳව නෛතිකව මා ගත යුතු මාර්ගය වන්නේ එම අසාධාරණය තොරතුරු කොමිසම වෙත පැමිණිළි කිරීමය. එහෙත් මා මෙම නිලධාරීන්ගේ අසාධාරණ අකටයුතු හා අනීතික ක්‍රියාවන් පිළිබඳව සඳහන් කර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය වෙත 2025 මැයි 14 වන දින විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යොමු කෙරුවෙමි. එකී ලිපිය මේ වන විට අවස්ථා දෙකකදී ලේකම් තුමියට යොමු කර ඇති බවත් සඳහන් කරමි. වැඩිදුරටත් විද්‍යුත් තැපෑලෙන් එවන ලද පැමිණිල්ල ගැන ලේකම් කාර්යාලයට දුරකථන ඇමතුමක් ගෙන පැවසුවෙමි. ඒ අවස්ථාවේ එහි සිටි කාර්යාල සහායක වරයා මට පිළිතුරු දුන්නේ මෙරට ජනපති අනුර සහෝදරයාටත් වඩා විධායක බල අධිකාරියක් ඇත්තෙකු ලෙසය.
5. මවිසින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය වෙත යොමු කරන ලද පැමිණිල්ලට මා හට මෙතෙක් පිළිතුරක් දී නැත. ඉදිරියටත් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත විද්යුත් තැපෑලෙන් ලිපි යොමු කිරීම පදනම් විරහිත බව මගේ විශ්වාසයයි. කෙසේ වෙතත් මේ ලිපිය ලියා පදිංචි තැපෑලෙන් ඔබතුමා වෙත යොමු කරන්නේ තැපැල් ලිපිය ඔබතුමා වෙත අනිවාර්යයෙන් ලැබෙන බවට වූ දැඩි විශ්වාසයෙනි. මෙරට රජයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අවධානයට ලිපියක් යොමු කරවා ගැනීමට ඇති කෙටිම මාර්ගය එකී ඡ්‍යෙෂ්ඨ නිලධාරීයාගේ නැතහොත් නිලධාරිනියගේ කාලත්‍රයා ගේ ලිපිනයට පෞද්ගලිකවම ප්‍රශ්ණය යොමු කිරීම බව මට හැඟී ගොස් තිබේ. මේ ලිපිය ඔබතුමා වෙත යොමු කරන ලද්දේ ඒ නිසාය.මෙකී ලිපියේ ඇති පැමිණිල්ල ඔබගේ බිරිඳ වන විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරිය වන අරුණි රණරාජා මහත්මිය වෙත පෞද්ගලිකව යොමු කරන්නේ නම් අතිශයින් කෘතඥ වෙමි. අගති විරහිතය.
ඔබතුමාගෙන් ලැබෙන කාරුණික සහයෝගයට ස්තූති වන්ත වෙමි.
ස්තූතියි
මෙයට විශ්වාසී
2025/05/27 දින 11.52 පැයට
( විශේෂ වාර්තාකරුවකු විසිනි)