Thursday, June 19, 2025

රෝගීන් ගසා කෑ බවට චූදිත විශේෂඥ වෛද්‍යවරිය කාගේ කව්ද යන්න සහ හිපොක්‍රටීස් දිව්රුම – ලොකු කුමා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාවට පසුව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල කම්පනයක් ඇති කරන සිදුවීමක් ජයවර්ධන පුර රෝහලින් වාර්තා වී තිබෙි. ඒ වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීමේ ජාවාරමකට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වූ මහේෂි සුරසිංහ විජේරත්න අත් අඩංගුවට ගැනීම හේතුවෙනි.

ස්නායු වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන අයිතම වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් කර ගෙන යාම සම්බන්ධයෙන් මෙම විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා මේ වන බන්ධනාගාර ගත කර තිබේ. එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගිනි.

 

ඇයට එරෙහිව ඇති චෝදනා දැන් සුප්‍රසිද්ධ බැවින් ඒ ගැන වැඩි දුර මෙහි ලියන්නේ නැත

විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න මෙරට ප්‍රබල දේශපාලන පවුලක තැනැත්තියකි. ඇයගේ පියා ජනපති ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුවේ වරාය නියෝජ්‍ය අමාත්‍ය හා මීරිගම එජාප ප්‍රධාන සංවිධායක වරයා වූ මහේන්ද්‍ර විජේරත්නය.ඇයගේ සහෝදරයා හිටපු එජාප පලාත් සභා මන්ත්‍රීවරයකු වූ උදේනි විජේරත්නය.

ඇය මෙරට වාම දේශපාලනයේ පතාක යෝදයන් වූ පිලිප් ගුණවර්ධනගේ හා රොබට් ගුණවර්ධන ගේ මී මිණිබිරියකද වන්නීය

මේ වෛද්‍යවරිය විසින් ජයවර්ධන පුර රෝහලේදී 2022 වර්ෂයේදී සිදු කළ ශල්‍ය කර්මයක් පිළිබඳව නිශාදි ඒකනායක නම් තරුණියක මුහුණ පෑ අත් දැකීම ඇය සිය ෆේස් බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුණි.

“..2022 වර්ෂයේ අපි දරුණු අනතුරකට මුහුණ දුන්නා. එහිදී දරුවෙකු අපේ මෝටර් රථයේ ගැටුණා. අපි ඔහු රෝහළට ගෙන ගියා.ස්නායු ශල්‍ය වෛද්‍යවරිය පැවසුවා මේ දරුවාට හදිසි සැත්කමක් කරන්න අවශ්‍ය බව. අපට EVD එකක් පිටතින් මිලදී රැගෙන එන්නට ඇය උපදෙස් දුන්නා. එහි සාමාන්‍ය මිල රුපියල් 17500 ක් පමණ වුවත් අපට මේ මිලයට ගැනීමට 130,000ක් ගෙවන්න වුනා.

ගසා කෑ හැටි

සතියකට පමණ පසු දරුවාට දෙවන EVD එකත් අවශ්‍ය වුනා. නැවතත් අර වැඩි මිලටම එය මිලට ගෙනවිත් දුන්නා. අප මිලයට ගත් මේ දෙකම සාමාන්‍ය මිලට වඩා බෙහෙවින් වැඩියි. අපි ළඟ තවමත් ඒ බිල් පත් හා සාක්ෂි තියෙනවා. මාසයකින් පසුව රෝහල් ගාස්තු ඉහළ ගිය නිසා දරුවා රජයේ රෝහළකට මාරුකරන්න යැයි අප ඉල්ලීමක් කෙරුවා. කෙසේ වෙතත් අවසානාවකට ඒ දරුවා මිය ගියා.

මා ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ වෛද්‍යවරියගේ තීරණ වලට දොස් කීමක් හෝ ප්‍රශ්ණ කිරීමක් කරන්නේ නැහැ.

නමුත් මෑත කාලයේ ප්‍රචාරය වුන ප්‍රවෘත්තියත් සමග අප ලද අත්දැකීම බෙදා හදා ගත යුතු යැයි දැනුනා. අප ඒ දිනවල නිහඬව සිටියා.නුමුත් දැන් ඊට වඩා විශාල ප්‍රශ්ණයක් නිසා මේ ගැන සොයා බැලිය යුතුයි.”

(උපුටනය අවසන්)

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දඬුවමට නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ⁣එම ඝාතනයට පෙර ඇතිවූ වෙඩි වැදීමෙන් හිසට සිදු වූ තුවාල වලට ප්‍රතිකාර කර ඇත්තේද මේ ස්නායු විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරියයි.එසේම එම අවස්ථාවේ ඇය දුමින්ද සිල්වා සිංගප්පූරුවට ගෙන යාමට නිර්දේශ ඉදිරිපත් කරන ලදී.දුමින්ද සිල්වා ⁣හට අඛන්ඩව

ප්‍රතිකාර කිරීම ඇය ගේ අධීක්ෂණය යටතේ පැවතුණි.

මේ විශේෂඥ වෛද්‍යවරිය විසින් දුමින්ද සිල්වා⁣ට ප්‍රතිකාර කිරීම හා ඔහුට වෛද්‍ය වාර්තා සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් සැක පහල කළ අවස්ථාද සමාජය තුළින් මතු වුන අවස්ථාද නැත්තේ නොවේ.

එහෙත් ඒ පැමිණිලි සියල්ල දේශපාලන බල අධිකාරියේ මැදිහත් වීමෙන් විමර්ශනය නොකිරිණි. මේ විශේෂඥ වෛද්‍යවරිය සතුව පැවැති දේශපාලන බලය කෙතෙක්ද යන්නට හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ 2015 වර්ෂයේදී කොළඹ ගලධාරී

හෝටල⁣යකදී කාන්තාවකට වීදුරු කටුවකින් ඇණ තුවාල කිරීමේ සිද්ධියයි.

තුවාල ලද කාන්තාව CIB 16/06 යටතේ මේ ආරවුල ගැන කොටුව පොලීසියට පැමිණිලි කෙරුවද විශේෂඥ වෛද්‍යවරියගේ දේශපාලන හයිරන්කාර කම මත පැමිණිල්ල යටපත් කරන ලදැයි පැවසේ.

මේ විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව නැගෙන චෝදනාව මානව ධර්මයට එකඟ නැති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.මේ ජාවාරම වෛද්‍යවරුන්ගේ උත්තරීතර හිපොක්‍රටීස් ප්‍රතිඥාවටද පටහැනිය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් හිපොක්‍රටීස් දිවුරුම අනුසාරයෙන් සකස් කරන ලද මාර්ගෝපදේශ සහ ආචාර ධර්ම පද්ධතියක්ද ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී වෛද්‍යවරුන් විසින් ලබා දිය යුතු ප්‍රතිඥාවට අනුකූල කරුණු 10 ක් සඳහන්ය. වෛද්‍යවරයකු ලෙස මාගේ මූලික සැළකිල්ල මාගේ රෝගියාගේ සෞඛ්‍ය වන අතර මා ⁣මාගේ වෘත්තිය මගේ රෝගියා සූරා කෑමට භාවිතා නොකරමි යන අර්ථය දෙන ප්‍රතිඥාවක්ද වෛද්‍ය වෘත්තියේ උතතරීතර සම්ප්‍රදායන් තමන්ගේ ශක්තියේ තරමින් ආරක්ෂා කරන බව කියවෙන ප්‍රතිඥාවක්ද එහි ඇතුළත්ය.

මේ වන විට අනාවරණය වන තොරතුරු වලින් අවධාරණය වන්නේ අධිකරණ තීන්දු වලට මෙපිටින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යටි බිම්ගතව පවතින ජාවාරම්කාර ගණුදෙනු වල ස්වභාවය හා හැඩය මිස අන් යමක් නොවෙි. විත්තිකූඩුවේ සිටින මෙම විශේෂඥ වෛද්‍යවරිය පිට පමණක් මේ චෝදනා සියල්ල පටවා ශුද්ධවන්තයන් වීමට සිතන වෛද්‍ය වෘත්තිකයන් තම තමන්ගේ හෘද සාක්ෂියට ඇහුම්කම් දුන්නේ නම් එහි සැබෑව වටහා ගනු ඇත්තේය.

ඉපැරණි හිපොක්‍රටීස් දිවුරඅමෙහි ඉංග්‍රීසි පරිවර්තනයක සඳහන් වන්නේ මෙලෙසය.

වෛද්‍ය ඇපලෝ සහ ඇස්ක්ලිපියස්ද හයිජීයා හා පැනේසියා ඇතුළු සියලු දෙවි දේවතාවුන්ද මාගේ සාක්ෂි කරුවන් කරමින් ඔවුන්ගේ නාමයෙන් මා දිවුරන්නේ මෙම දිවුරුම සහ පොරොන්දුව මගේ මුළු ශක්තියෙන්ද මුළු බුද්ධියෙන්ද ඉෂ්⁣ට කරනු ලබන බවටයි.

මේ ශාස්ත්‍රය මට ඉගැන්වූ මගේ ගුරුවරයාව මගේ දෙමවුපියන් හා සමානව සළකන්ටත් ඔහු සමග සහයෝගයෙන් කටයුතු කරන්ටත් මම පොරොන්දු වෙමි. ඔහුට මුදල් අවශ්‍ය වූ විටෙක ඔහුට මගේ මුදලින් කොටසක් පිරිනමන්නෙමි. ඔහුගේ දරුවන් මගේ සහෝදරයන් ලෙස සළකමි.

මගේ දස්කම්වලට හා බුද්ධියට අනුව රෝගීන්ට හිතකර වන විශේෂ කෑම වට්ටෝරු නියම කරමි. ඔවුන්ට හානි පැමිණවීමට හෝ අයුක්තියක් සිදු වීමට ඉඩ නොදෙන්නෙමි.

යමෙකු මාරාන්තික ඖෂධයක් ඉල්ලා සිටින්නේනම් එය ලබා නොදෙන්නෙමි. එවැනි ඖෂධයක් ගැනීමට මම යෝජනා නොකරන්නෙමි. මගේ ජීවිතයත් මගේ ශාස්ත්‍රයත් පිරිසිදුව හා නිර්මලව තබා ගන්නෙමි.

මුත්‍රාශයේ ගල් නිසා පීඩා විඳින්නෙකු වුවද ශල්‍යකර්මයකට භාජනය නොකරමි. එම කර්තව්‍ය කිරීමට එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට ඉඩ දෙමි.

මම කුමන නිවසකට ඇතුලු වුවත් රෝගීන්ගේ සුව සෙත පිණිස වැඩ කරන්නෙමි. ඔවුන් වහලුන් වේවා නිදහස් පුරවැසියන් වේවා ඔවුන්ට හිතා මතා අයුක්තියක් කිරීමෙන්ද හානිකර අන්දමින් ඔවුන් සමග ක්‍රියා කිරීමෙන්ද ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඔවුන් සමග ලිංගික සබඳතා පැවැත්වීමෙන්ද වැළකෙමි.

එසේම මාගේ වෘත්තීයේ නියැලෙන විටදී වෙනයම් මොහොතකදී හෝ යමෙකුගේ ජීවිතය පිළිබඳව කිසි සේත් ප්‍රසිද්ධියේ ප්‍රචාරය නොකළ යුතු යමක් අසන්නට හෝ දකින්නට ලැබුණොත් ය රහසිගතව තබා ගත යුතු දෙයක් සේ සළකමින් නිහඬව සිටීමට පොරොන්දු වෙමි.

මා මේ දිවුරුම උල්ලංඝනය නොකොට පවත්වා⁣ගත හොත් මට සතුටින් දිවි ගෙවීමටත් මගේ ශාස්ත්‍රය යහමින් කර ගෙන යෑමටත් ලැබේවා. සියලු මිනිස් වර්ගයා ඉදිරියේ කීර්ති නාමයක් දිනා ගැනීමේ ගෞරවය මට ලැබේවා! මා විසින් මේ දිවුරුම උල්ලංඝනය කරනු ලැබුවහොත් හෝ වංක ලෙස දිවුරුම් දෙනු ලැබුවහොත් ඊට ප්‍රතිවිරුද්ධ දෙයම මට සිදුවේවා.” ( සංස්කරණය කරන ලදී.)

1948 ජිනීවා ප්‍රකාශනයේදී ලෝක ⁣වෛද්‍ය සංමය හිපොක්‍රටීස් දිවුරුම වර්තමානයට ගැලපෙන පරිදි සංශෝදනය කරන ලදී. නැවත 1968 වර්ෂයේදී හා 1983 වර්ෂයේදී වියානා සම්මුතිය අනුව ලෝක වෛද්‍ය සංගමය මෙම දිවුරුම සංශෝධනයට ලක් කර තිබේ.

Archive

Latest news

Related news