Tuesday, June 17, 2025

මිනීමරු පීටීඒ කිඹුලාට මේ ආණ්ඩුවත් ආදරේද ? – ලොකු කුමා

 ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත නොහොත් Prevention Terrorism Act (PTA) පනත මෙරට පුරවැසියන් දඬු කඳේ ගසන පනතක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. පවතින රජය විවේචනය කරන්නන් හා එහි ප්‍රතිපත්තිවලට එරෙහිව මත දරන්නන්,ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමට මේ පනත යොදා ගෙන තිබෙන බව  පැහැදිලිව දැක ගත හැකි කාරණයකි.

එපමනක්ද නොවේ මේ පනත මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන රුදුරු රාක්ෂයකු බවට පත් වී ඇතිද සිතෙන තරමේය. එසේත් පමණක් නොව මේ පනත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයට හා සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) පටහැනිය.මෙරට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිපාදනයන් මගින් පුරවැසියන් විධිමත් නීතිමය මැදිහත් වීමකින් තොරව බලහත්කාරීව රඳවා තබා ගැනීමට ඉඩ සළසා තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත 1978 වර්ෂයේදී තාවකාලික විධිවිධානයක් ලෙස බලාත්මක කරන ලද අතර එය ස්ථිර කරන ලද්දේ 1982 වර්ෂයේදීය.මෙරට නිත්‍යනුකූල විරෝධතා මැඩීමට මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් හා විරුද්ධ මත දරණ දේශපාලඥයන් දඩයම් කිරීමට බලයේ සිටි ආණ්ඩු මේ පනතේ ඇතැම් වගන්ති යොදා ගත් බවට සාක්ෂි පවතී.

ජාජබ ත්‍රස්ත පනතට විරුද්ධ වූ කාලය!

මේ පනත යටතේ වැරදි හා දඬුවම්

() දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මරණ දණ්ඩනයට හෝ සිර දඬුවම් ලැබිය හැකි යම් නිශ්චිත පුද්ගලයකුගේ මරණයට හේතු වීම හෝ නිශ්චිත පුද්ගලයකු පැහැරගෙන යාම හෝ පැහැර ගැනීම හෝ එවැනි පුද්ගලයකුට වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීම වරදක් වන අතර ඒ වරදවල් සඳහා අවුරුදු හතකට නොඅඩු දඬුවමක් ලැබිය හැකිය.

()මේ පනත යටතේ කිසියම් වරදකට    සාක්ෂිකරුවකු වන ඕනෑම පුද්ගලයකුගේ මරණයට හේතු වන එවැනි ඕනෑම පුද්ගලයකු පැහැරගෙන යාම හෝ වෙනත් ප්‍රහාරයක් එල්ල කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ විධි විධාන යටතේ වසර හතකට නොඅඩු සිර දඬුවමක් හෝ මරණීය දණ්ඩනය ලැබිය හැකි ක්‍රියාවකි.

()()ඡේදයේ සදහන් ඕනෑම නිශ්චිත පුද්ගලයකුට හෝ සාක්ෂිකරුවෙකුට සාපරාධී බිය ගැන්වීම සිදු කරයි නම් හෝ රජයේ,ඕනෑම දෙපාර්තමේන්තුවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක,රාජ්‍ය සංස්ථාවක ,බැංකුවක,සමූපකාර සංගමයක,හෝ සමූපකාර සමිතියක දේපොල මංකොල්ල කෑමේ වරද සිදු කරයි නම් හෝ

()රජයේ කිසියම් දෙපාර්තමේන්තුවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක ,රාජ්‍ය සංස්ථාවක ,බැංකුවක,සමුපකාර සංගමයක,හෝ සමුපකාර සමිතියක හෝ වෙනත් පොදු දේපොළකට අනර්ථකාරී වරදක් සිදු කරයි නම් හෝ

() පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය සදහා භාවිතා කරන ලද හෝ භාවිතා කිරීමට අදහස් කරන ඕනෑම ගිනි අවි ප්‍රහාරාත්මක ආයුද,පතොරම්,හෝ පුපූරණ ද්‍රව්‍ය හෝ කිසියම් භාණ්ඩයක් හෝ දෙයක් නිත්‍යනුකූල අධිකාරියකින් තොරව ආනයනය කිරීම හෝ එකතු කිරීම හෝ

() නිත්‍යනුකූල අධිකාරියකින් තොරව කිසියම් ආරක්ෂක ප්‍රදේශයක් තුළ කිසියම් ගිණි අවියක් හෝ කිසියම් ප්‍රහාරාත්මක ආයුධයක් ,පතොරම්,හෝ පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය සදහා භාවිතා කරන ලද හෝ භාවිතා කිරීමට අදහස් කරන කිසියම් භාණ්ඩයක් හෝ⁣ දෙයක් තිබීම හෝ

()කතා කරන ලද හෝ කියවීමට අදහස් කරන වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘශ්‍යමාන සංඥා මඟින් හෝ දෘශ්‍යමාන නිරූපණයන් මඟින් හෝ වෙනත් ආකාරයකින් ප්‍රචන්ඩ ක්‍රියා හෝ ආගමික වාර්ගික හෝ ආගමික අසමගිය හෝ විවිධ ප්‍රජාවන් අතර අමනාප හෝ සතුරුකම් ඇති කිරීම හෝ ඇති කිරීමට අදහස් කරයි නම් හෝ වාර්ගික ආගමික කණ්ඩායම් හෝ

()නිත්‍යනුකූල අධිකාරියකින් තොරව කිසියම් මහා මාර්ගයක,වීථියක ,මාර්ගයක,හෝ වෙනත් පොදු ස්ථානයක,

ඕනෑම පූවරුවක හෝ වෙනත් සවිකිරීමක ඇති වචන ශිලා ලේඛන හෝ අකුරු මකා දැමීම විකෘති කිරීම,හෝ වෙනත් ආකාරයකින් බාධා කිරීම හෝ 

(ඵ්) මෙම පනත යටතේ එවැනි වරදක් තැනැත්තකු වරදක් කර ඇති බව දැන හෝ විශ්වාස කිරීමට හේතු ඇතුව ප්‍රකාශිත පුද්ගලයකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයකු බිය වැද්දීම ,බාධා කිරීම සඟවා තැබීම හෝ වෙනත් ආකාරයකින් මෙම පනත යටතේ වරදකට වරදකරු වෙි.

යම් පුද්ගලයකු යම්කිසි නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී හෝ සම්බන්ධ බවට විශ්වාස කිරීමට⁣ හෝ සැක කිරීමකට ආරක්ෂක අමාත්‍යවරයාට හේතු තිබේ නම් එවැනි ස්ථානයක සහ ඊට යටත්ව පළමු අවස්ථාවේදීම  එම පුද්ගලයා මාස තුනකට නොවැඩි කාලයක් රඳවා තබා ගැනීමට අමාත්‍යවරයාට නියෝග කළ හැකිය.

ආරක්ෂක අමාත්‍යවරයා විසින් තීරණය කළ හැකි කොන්දේසි සහ එවැනිම ඕනෑම නියෝගයක් වරින් වර මාස තුනකට නොවැඩි කාලයක් දීර්ඝ කළ හැක.කෙ⁣සේ වෙතත් එසේ රඳවා තබා ගැනීමේ සමස්ත කාලය මාස දහ අටක කාලයක් නෙඉක්ම විය යුතුය.මෙහි 9 වැනි වගන්තිය යටතේ කරන ලද නියෝගයක් අවසන් නියෝගයක් විය යුතු අතර එය රිට් මාර්ගයෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් කිසිදු අධිකරණයක හෝ විනිශ්චය සභාවක ප්‍රශ්ණ කළ නොහැකිය.

පසුගිය මාර්තු 22 දින ඊශ්‍රායාලයට එරෙහිව ෆක් ඊශ්‍රායල්යනුවෙන් සදහන් ස්ටිකරයක් ඇලවීමේ හේතුවෙන් මොහොමඩ් රුෂ්ඩි නම් තරුණයකු ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලදී.මේ ස්ටිකරය ත්‍රස්තවාදය⁣ට උසි ගැන්වීමක් බවට චෝදනා කරමින් මේ තරුණයා අත් අඩංගුවට ගන්නා ලද්දේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධි විධානයන් යටතේය.එසේ අත් අඩංගුවට ගැනුන මොහොමඩ් රුෂ්ඩි රඳවා තබා ගැනීමේ නියෝගයට අත්සන් කරන ලද්දේ ජනපති අනුර කුමාර දිසානායකය.ජාජබ ආණ්ඩුවට බලයට පත් වීමට පෙර මෙරට ජනතාවට ලබා දුන් පොරොන්දු අතර මෙම පනත අහෝසි කරන බවට පොරොන්දු වූ බවද මෙහිදී සිහිපත් කරනු වටී.

ෆක් යන්න ඉංග්‍රීසි භාෂාවේ විවිධ අර්ථයෙන් යෙදේ.එය මහචාර්ය සුචරිත ගම්ලත් ගේ ඉංග්‍රීසි සිංහල මහා ශබ්ද කෝෂයේ අරුත් ගැන්වී ඇත්තේ ලිංගික සංසර්ගයේ යෙදෙනවා සෙල්ලක්කාර හා බොළඳ ලෙස හැසිරෙනවා යනුවෙනි.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මොහොම්ඩ් රුෂ්ඩි ගේ ස්ටිකරයේ සඳහන Fuck Israel යන අදහස හා නිශ්චිතවම සම්බන්ධ කර ගෙන ඇති බව පෙනී යයි. (ඉංග්‍රිසි භාෂා ව්‍යවහාරයේ Fuck යන්නෙන් සිංහල ව්‍යවහාරයේ එන හුකපන් යන්න අදහස් වෙයි. එය හුදෙක් ලිංගික ක්‍රියාවක් අදහස් නොකරයි – ශ්‍රී ලංකා බ්‍රීෆ්)  එහෙත් එය එසේ නො⁣වේ යැයි මොහොමඩ් රුෂ්ඩිටද ප්‍රකාශ කළ හැක්කේ ඒ වදනට වෙනත් අරුත්ද ඇති නිසාය. එය එසේ වන්නා සේම අරුත් ගණනාවක් කියවෙන මෙවැනි වදනකට පමණක් පුරවැසියකු ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසා විලංගු ලන්නට හැකි නම් මේ පනතේ විධිවිධානයන් කෙතරම් අමානුෂිකද යන්නත් ඉන් වටහා ගත හැකිය.

කෙසේ වෙතත් මොහොමඩ් රුෂ්ඩි පෙනී සි⁣ටියේ සිය දේශපාලන මතය වෙනුවෙනි.එහෙත් ජාජබ ආණ්ඩුව ඒ පෙනී සිටීමට එරෙහිව  ⁣එම තරුණයා ත්‍රස්තවාදියකු ලෙස මුද්‍රා තබා  රැඳවුම් නියෝග මත අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම ශිෂ්ඨ සමාජයේ කම්පනය⁣ට හේතු වූයේය.එය වඩාත් සමාජයට දැනෙන්නට වූයේ මේ පනත අහෝසි කිරීමට පුරවැසියන්ට පොරොන්දු වූ ජනපති අනුර කුමාර දිසානායක විසින්ම රැඳවුම් නියෝග අත්සන් කිරීම නිසාය.මේ තරුණයා අත්අඩංගුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් රඳවා ගැනීමට කටයුතු කිරීම නිසා ඔහුට හා ඔහුගේ පවුලට දැනුන වේදනාකාරී පීඩනය සුළු පටු නොවන බව පැහැදිලිය.ඔහුගේ ජාතිකත්වය හා ඔහු විශ්වාස කරන ආගම මේ අත් අඩංගුවට ගැනීමේදී සෘජුවම බලපෑ බවට සිතිය හැකි හේතූන් ගණනාවක් වාර්තා විය.එහිදී ජනපතිවරයා මහජන රැළියකදී මේ මුසල්මානු තරුණයා රඳවා තබා ගැනීම පිළිබඳව අනාවරණය කළ කරුණු කිසිදු ගැලපීමක් නැති සාවද්‍ය තොරතුරු බව ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. ජනපතිවරයා කවරකු හෝ විසින් නොමග යවා තිබුණ බව සිතන්නට පුළුවන.මේ අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරමින් පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදයක්ද නිකුත් කෙරුවේය.

මෙසේ අත් අඩංගුවට ගෙන සිටි මොහොමඩ් රුෂ්ඩි පසුගිය අප්‍රේල් 07 වන දා ඇප මත මුදා හැරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරුවේය.ඉන් අනතුරුව මොහාමඩ් රුෂ්ඩි තමන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරුවේය.

මේ පැමිණිල්ල විභාග කළ මානව හිමිකම් කොමිෂම 2025 ජුනි 13 වන දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු එම ඒකකය මොහමඩ් රුෂ්ඩි ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවටය. මොහොමඩ් රුෂ්ඩි අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිණිස එල්ල කරන ලද චෝදනා පදනම් විරහිත බවද මානව හිමිකම් කොමිෂමේ විමර්ශනයෙන් තහවුරු වී තිබුණි.මානව හිමිකම් කොමිෂම මෙහිදී මොහොමඩ් රුෂ්ඩිට සිදුවූ මානව හිමිකම් කඩ වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් ගෙවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාට නිර්දේශ කරන ලදී.

මොහොමඩ් රුෂ්ඩි නීති විරෝධීව අත් අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් ඔහුගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ,ආගමක් ඇදහීමට ඇති නිදහස හෘද සාක්ෂිි⁣යේ නිදහසඅත්තනෝමතිකව අත් අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් වැළකීමේ නිදහස හා එහා මෙහා යාමට ඇති නිදහස ඇතුළුව මානව හිමිකම් රැසක් උල්ලංඝනය කර ඇතැයි මානව හිමිකම් කොමිෂම සඳහන් කර තිබේ.

එහිදී වැඩි දුරටත් මානව හිමිකම්⁣ කොමිෂම මේ සිදුවීම පාදක කර ගනිමින් ත්‍රස්තවාදී වැරදි පිළිබඳව විමර්ශනය කිරී⁣මේදී⁣ සාධාරණ සැකය යන්න තහවුරු වන නිර්නායක හා මාර්ගෝපදේශ ඉතා කඩිනමින් සකසන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මූලික කරුණු නවයක් ඇතුළත් වන සේ මානව හිමිකම් කොමිෂම විසින් ලබා දී ඇති මේ නිර්දේශ 2025 ජුලි 15 වනදාට පෙර ක්‍රියාත්මක කර ඒ පිළිබඳව වාර්තාවක් කොමිෂම වෙත ලබා දෙන ලෙසටද පොලිස්පතිවරයා දන්වා ඇත.

කෙසේ වෙතත්⁣ මේ පනත යටතේ සිදු කරන වරදවල් සම්බන්ධයෙන් යැයි චෝදනා කරමින් පුරවැසියන් අත් අඩංගුවට ගන්නේ පොලිසියයි. බොහෝ අවස්ථාවලදී පොලීසිය මෙම පනත උපයෝගී කර ගනිමින් අත් අඩංගුවට ගත්  පුරවැසියන් බොහෝ  දෙනෙක් නීතී විරෝධී අත් අඩංගුවට ගැනීම් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදී තීන්දු කර ලද බවද සිහිපත් කළ හැකිය.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් රචිත ‘කාර්යක්ෂමතාව ප්‍රඥාගෝචරභාවය සහ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය’ නම් ග්‍රන්ථයේ (2007)පොලීසියේ රාජකාරිය උදාහරණයට ගත හැකි අදහසක් පැහැදිලි කර දී තිබේ.

එනම්;

පාලනයෙන් තොරව තමන්ගේ ක්‍රියාවන් කිරීමට පටන් ගත් නිලධාරීන් නැවත එම පාලනය යටතට ගැනීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. ලේ රස විඳින්නට ඉඩ කඩ අහුරා ඇති දැඩි කළ බල්ලෙකු යම් විධියකින් ලේ වල රස වින්ඳහොත් ඒ සතාගේ හැසිරීම නැවත මුලින් තත්වයට ගෙන ඒම අසීරු විය හැකිය.”

Archive

Latest news

Related news