Sunday, June 8, 2025

අනුර කුමාරට රතු එළියක්: ජනපති සමාවේ අර්බූදය, ජනපති මාධ්‍ය අංශයේ බන්ධනාගාර ප්‍රකාශයේ වෙනස

ජනාධිපති සමාව ලැබුණු බව සදහන් කරමින් වංචනික ලෙස රැදවියෙකු නිදහස් කිරීම බන්ධනාගාර පද්ධතිය පුරාම විහිදී ඇති දූෂිත සහ ජාවාරම්කාර නිලධාරි තන්ත්‍රය  හෙළිදරවු වීමක්. -සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව(CPRP )

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි W.N අතුල තිලකරත්න නැමති රැඳවියා වෙසක් උත්සවය සදහා ලබාදෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට කරුණු ඉදිරිපත් වේ.නමුත් ජනාධිපති මාධ්ය අංශය මගින් 2025/06/07 දින නිකුත් කර මාධ්ය නිවේදනය අනුව එවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල 2025.05.06 දින 06/01/යෝජිත /.පො.සමා/වාර්/05.12/2025 දරණ රැඳවියන් 388 දෙනෙකුගෙන් සමන්විත ලයිස්තුවේ තිබී නොමැත. එසේනම් ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් ලැයිස්තුවට මුවාවී දූෂිත බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් වංචනිකව එම රැඳවියා නිදහස් කිරීමට කටයුතු කර ඇති බවට බරපතල සැකයක් මතුවේ.බන්ධනාගාරය පැත්තෙන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් නොකිරීම නිසාම චෝදනාව ඔවුන් දෙසට එල්ල වීම නොවැලක්විය හැකි වී ඇත. ජනාධිපතිවරයාට යවන ලද ලයිස්තුවේ W.N අතුල තිලකරත්න යන රැඳවියාගේ නම ඇතුලත් වී තිබුනේද යන්න පිලිබදව නිශ්චිත ප්‍රකාශ නොකොට පොදු සමාව ලබා දෙන්නේ නිශ්චිත පුද්ගලයකුට නොවන බවට කරුණු දක්වමින් සිටියි.

කෙසේ වුවද ජනාධිපතිවරයා විසින් සමාව නොදුන් හෝ ව්‍යාජ කරුණු පෙන්වා සමාව ලබා ගත් රැඳවියන් සම්බන්ධයෙන් වන වගකීමෙන් බන්ධනාගාර නිලධාරීන්ට ගැලවීමට නොහැකි බව පෙන්වා දෙන අතර පසුගිය කාලය පුරාම බන්ධනාගාරය තුල මේ දුෂිත නිලධාරීන් කටයුතු කල ආකාරය අප දැක ඇත.බන්ධනාගාර රෝහලේ නොසිටිය යුතු පුද්ගලයන් මුදලට බන්ධනාගාර රෝහලේ තබාගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබෙන්නේ කාලයක සිටය.

වර්තමානයේ පවා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට ලක්ෂ ගණන් ඉල්ලා සිටීමේ ක්‍රමවේදය එලෙසම ක්‍රියාත්මක වේ.ඒ අනුව තම රාජකාරිය ඉටු කිරීම සදහා රැඳවියන්ගෙන් මුදල් ඉල්ලා සිටීම දිගින් දිගටම පවතියි. අධි ආරක්ෂිත බන්ධනාගාර තුලදී පවා ජංගම දුරකථන ලබා ගැනීමට හැකිවීම දක්වා මේ දුෂිත බන්ධනාගාර නිලධාරින්ගේ සූක්ෂම ජාවාරම් පුළුල් වී තිබේ.

වර්ෂ 2022 රජයේ විගණන වාර්තාව අනුව බොහොමයක් අක්රමිකතා එළිදරවු වී ඇතත් පසුගිය රජයත් ඒවා නැවත්වීමට කිසිදු පියවරක් නොගැනීම නිසාම දුෂිත නිලධාරීන්ට තවත් ධෛර්යක් ලැබී ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට අප විසින් වසර ගණනාවක සිට බන්ධනාගාර පද්ධතියේ පවතින මෙම දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුවත් කර ඒවාට ඉක්මනින් විසදුම් ලබාදෙන ලෙසට බලධාරීන්ට දන්වා ඇතත් තත්ත්වය එලෙසම පවත්වාගෙන යාමට එම නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතු වී ඇත.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවළිය බන්ධනාගාර පද්ධතිය ඉතා වැදගත් ස්ථානයක් උසුලන හෙයින් සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කෙරුණු නීතියේ විධානය සහිත දෝෂයක් වෙනුවෙන් දුෂිත නොවූ නිලධාරීන්ගෙන් සමන්විත බන්ධනාගාර පද්ධතියක අවශ්යතාවය අනිවාර්ය අංගයකි.

එබැවින් රජයෙන් වැටුප් ලබමින් විවිධ ජාවාරම් කරමින් කටයුතු කරන සියලු දුෂිත නිලධාරින්ගේ කටයුතු හෙට නොව අද සිටම නැවත්වීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් වහා ගත යුතු වේ.

ඒ අනුව ජනාධිපති සමාව වංචනික ආකාරයට ලබාගත් බවට සැක කරන මෙම සිද්ධියට අදාළ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එමෙන් පමණක් ජනාධිපති සමාව අයුතු ලෙස යොදාගත් චන්ද්‍රකා කුමාරතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂලාගේ ලැයිස්තුවට නොවැටී සිටීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන බව අප විශ්වාස කර සිටිමු.

මාධ්ය නිවේදනයකි. /සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව(CPRP )

Archive

Latest news

Related news