Sunday, June 8, 2025

ජනපති වරයාටත් වංගු ගැසූ වෙසක් පෝය සිරකරු සමාව සහ අපරාධ පරීක්ෂකයෝ

ආණ්ඩුවේ හිස මතට මරාලයක් කඩා වැටී තිබේ. ඒ වෙසක් පෝයට සිරකරුවකු ජනපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙනි. ජනාධිපති සමාව යන්නෙන් නිර්වචනය වන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාවෙන් ජනපතිවරයාට හිමි වී ඇති බලයයි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි කර ඇත්තේ මෙසේය:

34(1) ශ්‍රී ලංකා ජනරජයේ කවර හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර හෝ වරදකරුවෙකුට  () සම්පූර්ණ සමාවක් හෝ නිත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක් දීමට

() නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාල සීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනපතිවරයා කල්පනා කරන කාල සීමාවක් ඇතුව හෝ කල් තැබීමට

()ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ 

() නියම කරන ලද දඬුවමක් මුලුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කළ වරද හේතු කොට ගෙන ඔහු ගෙන් ජනරජයට අයවිය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුලුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කිරීම හේතු කො⁣ට ගෙන ඔහුට රාජ්‍ය සන්තක විය යුත්තේ නම් එසේ රාජ්‍ය සන්තක විය යුත්තාවූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීම මුලුමනින්ම අත් හිටුවීමට ජනපතිවරයාට බලය ඇත්තේය.

එසේ වුවද එසේ වූ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාර වරයාගෙන්  වාර්තාවක් ලැබීමට සැලැස්විය යුත්තේය.

එම වාර්තාව ජනපතිවරයා වෙත ලැබුණ විට ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය බාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය.

ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් නිර්දේශද සමග ඒ වාර්තාව ජනපතිවරයා වෙත එවිය යුත්තේය.

සාමාන්‍යයෙන් මෙරට ⁣නිදහස් දිනයට හා වෙසක් දිනයටත් ජනපති සමාව ලබා දී සිරකරුවන් නිදහස් කිරීම සම්ප්‍රදායානුකූලව සිදු කරන්නකි.මෙහිදී වැඩි වශයෙන් නිදහස් කෙරෙන සිරකරුවන් සුලු වැරදි සදහා දඩ මුදල් නියම වී එම දඩ මුදල් ගෙවා ගත නොහැකිව කෙටි කාලීන සිර දඬුවම් ලැබු සිරකරුවන් වේ.

නිදහස් දිනය හා වෙසක් පෝය ආසන්නයේ මෙරට කසිප්පු හා ගංජා වෙළඳාමේ නිරත වන්නන් හා භාවිතා කරන්නන් තමන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු වලට වැරදි කරුවන් ලෙස පිළි ගෙන දඩ මුදල් නොගෙවා බන්ධ⁣නාගාර ගත වීමද බහුලව දකින්නට පවතින ජනප්‍රිය ක්‍රියා දාමයකි. මේ ගැන හොඳට දන්නේ නීතිඥවරුන් හා පොලීසියයි. දඩ මුදල නොගෙවා බන්ධනාගාරගත වූ පසු අදාල විශේෂ දිනයන්හිදී ජනපති සමාවෙන් නිදහස්ව එළියට ඒමට හැකි බව මොවුන් දනී.

හිටපු ජනපතිවරුන් තමන්ට හිමි ව්‍යවස්ථානු කූල බලය සිය අභිමතයට අනුව සිදු කර වැඩ වරද්දා ගත් තැන්ද තිබේ. නන්දසේන ගෝඨාභය ජනපතිවරයා මරණ දඬුවම හිමිව තිබූ දුමින්ද සිල්වාට හට ලබා දුන් ජනපති සමාවද මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි ව තිබූ ජුඩ් සමන්ත නම් සිරකරුට ලබා දුන් ජනපති සමාවද පසු කලකදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූයේ එම සමාව දීම් සිඳු කර ඇත්තේ ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දී තිබූ නිසාය.

ජනපතිවරයා සතුව  පවතින ව්‍යවස්ථානුකූල බලය තුළ සම්ප්‍රදායානුකූලව  පසුගිය වෙසක් පෝය දිනට සමගාමීව සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියා පරිපා⁣ටියේදී අනුරාධපුර බන්ධනාගාරයෙන් සිර කරුවන් 388 දෙනෙකු නිදහස් කෙරිණි.

අනුරාධපුර බන්ධනාගාරයෙන් එම සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව ඊට දින ගණනකට පසු නැවත සාකච්ඡාවක් මතු වූයේ අනුරාධපුර මහාධිකරණයේදීය.

සීඩීබී නම් මුල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ කළමාණකරුවකු ලෙස කටයුතු කළ තැනැත්තකුට එරෙහිව රුපියල් ලක්ෂ හතලිහක් සාපරාධී විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය කරන ලදැයි ලංකා දණ්ඩ නීති සංග්‍රයේ 386 වගන්තිය යටතේ එම මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණි.එම නඩු විභාගයෙන් පසුව විත්තිකාර කළමණාකාර වරයා අධි චෝදනා වලට වැරදි කරු වීම  නිසා මහාධිකරණ විනිසුරුවරිය මුදලින් රුපියල් 20000ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කරන ලදී.

එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 06 සිර දඬුවමක්ද නියම කෙරිණි. ඊට අමතරව විත්තිකරුට වසර දෙකක් බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු වරිය එම දඬුවම වසර පහකට අත් හිටුවන ලදී.

තවද විත්තිකරු විසින් වින්දිත පාර්ශවය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ 20 ගෙවන ලෙසටද එසේ නොගෙවන්නේ නම් විත්තිකරු⁣ට මාස හයක බරපතල වැඩ ඇතුව සිර දඬුවමක් නියම කෙරුණි. මෙලෙස නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් ගෙවීම සඳහා ජුනි මස 05 වනදා නඩුව යලි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කරන ලදී.

එලෙස මෙම නඩුව ජුනි මස 05 වන දින නැවත මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණය ලිඛිතව වාර්තා කර සිටියේ එම සිරකරු පසුගිය වෙසක් පෝය දින සිරකරුවන් හ⁣ට ලබා දෙන ලද ජනපති සමාව යටතේ මුදා හැර ඇති බවය.

මේ තොරතුරු පුවත්පත්  වාර්තා කරන ලදදෙු මුදල් වංචා නඩු 20 කට අධික සංඛ්‍යාවක් ඇති සිරකරුවකු ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බව සඳහන් කරමිනි.

එම පුවත්පත් වාර්තා පළ  වීමත් සමගම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් ගාමිණි බී දිසානායක මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුවේය. ඔහු එහි සඳහන් කර තිබුණේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අතුල තිලකරත්න යන මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියම කර ඇති බවත් එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාස 06 ක බරපතළ  වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණ පියවර ගෙන ඇති බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ පසුගිය මැයි මස 12 වන දිනට යෙදී තිබූ වෙසක් පෝය දිනය නිමිත්තෙන් 05 වන දිනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සදහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසි වලට යටත් බවත් ඒ අනුව මේ සමාව කිසිසේත්ම උක්ත  පුද්ගලයා කේන්ද්‍රීය කර ගෙන සිඳු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරි නැමූවක් පමණක් බවත්ය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශවරයා ගේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව අනුරාධපුර බන්ධනාගාරයේ සිටි මේ සිරකරුවා නිදහස් කිරීම සම්බන්ධයෙන්  ජනපති මාධ්‍ය අංශයෙන්ද නිවේදනයක් නිකුත් කරන ලදී .

ඒ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්.තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවට පළ වෙමින් තිබෙන පුවත් පත් පත් වාර්තා පිළිබඳව ජනපති කාර්යා⁣ලයේ අවධානය යොමු වී ඇති බව සඳහන් කරමිනි. එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබුනේ 2025මැයි මස 06 හා 06/01/යෝජිත ජ.පො.සමා/වාර්/05/12 /2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත වන බවද එම ලේඛනයේ කිසිම තැනක මුදල් වංචාවකට අදාලව සිරගතව සිටි ඩබ්.එච්තිලකරත්න ගේ නම ඇතුළත්ව නොතිබුණ බවය.

මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිඳු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වී තිබුණි.කෙසේ වෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ සඳහන් සිරකරුගේ වාසගම හා ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරන ලද නිවේදනයේ සදහන් කර ඇති සිරකරුගේ වාසගමත් අතර පරස්පරයක් පවතින බව දැකිය හැකිය. ඇතැම් විට ඒ මෙම මාධ්‍ය නිවේදන සකස් කිරීමෙිදී සිදුවූ ප්‍රමාද දෝෂයක් ලෙස සැළකිය හැකිය.

ඒ මන්ද යත් ප්‍රශ්ණයට සම්බන්ධ සිරකරු එකම තැනැත්තා ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බැවිනි.

කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සිරකරු නිදහස් කිරීම සදහා වංගුවක් ගසා ඇති බව පැහැදිලිය. එය එසේ නොවන්නේ නම් මේ වැරැද්ද සිදු කර ඇත්තේ අධිකරණ අමාත්‍යංශයෙනි. මෙවැනි බරපතල වරදක් කිරීම ලේසි පහසු සිල්ලර කෙරුවාවක් නොවේ. එහිදී මෙවැනි  වැරද්දක් සිදු කළ පළමු වතාව නොවන බවටත් සැකයක් මතුවේ. මීට ඉහත කාල වලදී වෙසක් හා නිදහස් දින වලදී ජනපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරී⁣මේදී මෙලෙස ජාවාරම් සිද්ධ නොවූ බවටද කිසිදු සහතිකයක්ද නැත. එමෙන්ම මේ සිරකරුට අනුරාධපුර මහාධිකරණයෙන් දඬුවම් ලබා දුන් විට වැලිකඩ බන්ධනාගාරය⁣ට රැගෙන එන්නේ නැතුව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ගෙන සිටීමද සැක සහිතය. ඒ මන්ද යත් පළමුවරට අධිකරණය ඉදිරියේ වැරදිකරුවකු ලෙස දඬුවම් ලබන පුද්ගලයකු ලියා පදිංචි කළ යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ නිසාය.

කෙසේ වෙතත් මෙම වැරද්ද සිදුකළ පාර්ශවයන් අධිකරණයට අපහාස කර ඇති බව නම් පැහැදිලිය. ඒ වංචා කිරීමේ අපරාධ චෝදනාවට අමතරවය.⁣ වෙසක් පෝය සමාවට නිදහස ලැබූ එම සිරකරු මෙතෙක් අත් අඩංගුවට ගත් බවක්ද වාර්තා නොවේ. එයද ප්‍රශ්ණ සහගතය.

ජනපති ලේකම් වරයා ගේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමත් සමගම එම සැකකරු පොලීසිය මගින් අත් අඩංගුවට ගත යුතුව තිබුණි. එපමනක්ද නොවේ. මේ වරදට සම්බන්ධ ආයතනයන්හි ප්‍රධානීන් ඉල්ලා අස්විය යුතුය.සාමාන්‍යයෙන් මෙරට අපරාධ නීතියේ ප්‍රතිපුරුෂ වගකීම පිළිබඳ සංකල්පය සීමිත අවස්ථාවලදී පමණක් අදාල වේ. එ⁣ය එසේ වන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ වගන්තියේ කිසියම් වරදක් සඳහා කුමන්ත්‍රණයකට සහභාගි වූ අයෙකුට ඒ වරද පිළිබඳව දඬුවම් පැමිණවිය හැකි බව දැක්වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුව පාර්ශවයෙන් කෙරෙන පැමිණිලි සැඝකිල්ලට ගන්නේ ද යන්න සැකසහිතය. සුගිය කාලයේ  ආණ්ඩු පක්ෂයේ ඇමති මණ්ඩලයේ පස් හය දෙනෙක්ම තමන්ට සිදු වූ හිංසාවන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලද බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

ඒ අතරේ මහින්ද ජයසිංහ හර්ෂණ නානායක්කාර කුමාර ජයකොඩි සුනිල් වටගල ,ආනන්ද විජේපාල, කෞෂල්‍යා ආරියරත්න  ,නිලන්ති කොට්ටච්චි,චතුරංග අබේසිංහ ආදී මැති ඇමති හා මන්ත්‍රීවරියන් සිටී. මෙම පරීක්ෂන පස් පසු දිවිමට ඇති ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අනෙක් අපරාධ ගැන සෙවීමට කාලයක් නැතිවාද විය හැක.

සුනිල් වටගල අමාත්‍යවරයා අමාත්‍ය ධුරයේ වැඩ බාරගත් දවසේ අනන්‍යාතාව  හඳුනා නොගත් වංචාකාරයෙකු ඇමතිවරයාගේ සමීපතමයකු ලෙස හඟවා පාස්පෝට් 17 ක් ලබා ගෙන තිබුණි. ඇමතිවරයා නොමග යවමින් සිදු කළ මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉටු කළ රාජකාරියක් ගැන නම් මෙතෙක් වාර්තා වී නැත. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ මාධ්‍ය ලේකම් වරයාද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලද්දේ ciber news.lk නම් අන්තර්ජාල ප්‍රකාශනයට එරෙහිවය. මේ අන්තර්ජාල ප්‍රකාශනය දිගින් දිගටම මෙර⁣ට අධිකරණයට හා  විනිශ්චයකාර වරුන්ට අපහාස කරමින් තොරතුරු වාර්තා කරන බවට අපද ⁣විශේෂාංඟයක්ද පළ කරන ලදී.එ හෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අන්තර්ජාල ප්‍රකාශනය සම්බන්ධයෙන් කිසිදු රාජකාරිමය මැදිහත් වීමක් නොකිරීම හෝ අවධානයට ලක් නොකිරීම පුදුම සහගතය.⁣ විශේෂයෙන් මේ අන්තර්ජාල ප්‍රකාශනය⁣ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලද්දේ මහජන ආරක්ෂක අමාත්‍ය වරයාගේ මාධ්‍ය ලේකම්වරයාය. මේ අන්තර්ජාල ප්‍රකාශනයේ හිමිකරුට එරෙහිව අධිකරණය⁣ට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුකර දෙකක් මේ වන විටත් විභාග වෙමින් පවතින බවද මෙහිදී අවධාරණයට ගත යුතු කාරණයකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ⁣එක්සත් ජාතික පක්ෂයේ පොදු ජන පෙරමුනේ හා ටිරාන් අලස් ගේ කාර්යාලය බව පොලීසියේ බොහෝ දෙනාගේ අදහසයි. එහි ප්‍රධානියා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයාව සිටි නිලධාරියාය. දෙවැන්නාගේ බිරිඳ පොදු ජන පෙරමුණේ නීති උපදේශිකාවයඑහි ස්ථානාධිපතිවරයා පත් කරන ලද්දේ හිටපු අමාත්‍ය ටිරාන් අලස්ය.ඒ නිසාම පොලීසියේ බොහෝ දෙනා පවසන ඒ අදහස ලේසියෙන් මග හැර යා යුතු නැත.

Archive

Latest news

Related news