මෙරට පුරවැසියන් “තක්බීරි“කරන ප්‍රවෘත්ති නිවේදනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ ඉන්දියානු සමාගමක් විසින් එරටදී නිෂ්පාදනය කරන ලද ඉමියුනොග්ලොබියුන් ඖෂධය සඳහා මෙරට ලියාපදිංචිය ලබා දී ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ වන අතර ඖෂධයේ ගුණාත්මක භාවය ,සුරක්ෂිත භාවය, පිළිබඳ සායනිකව සහ ඖෂධීය තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඊට අදාල ලියා පදිංචිය ලබා දී ඇති බවය.
කෙසේ වෙතත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාලව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පෙනී ගිය බැවින් ආරක්ෂාව හා අවදානම් ඇගයීම් උප කමිටුව මගින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී තිබූ බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි. නමුත් පසුව මෙරට සිඳු කරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී ඇත්තේ එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුක්ත බවය.
එමෙන්ම ඉන්දියාවේ මධ්‍යම තත්ත්ව පාලන ආයතනය මගින් එම ඖෂධය පිළිබඳ කරන ලද තත්ත්ව පර්යේෂණවලින්ද මේ බව තහවුරු වී ඇති බව මේ නිවේදනය මගින් පෙන්වා දී ඇත. වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබෙන්නේ එම වාර්තා සළකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව හා අවදානම් ඇගයීම් උප කමිටුව මගින් එම ඖෂධය තව දුරටත් භාවිතා කළ හැකි බවට තීරණය කර ඇති අතර ඒ බව වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇති බවය. ඒ අනුව අදාල ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිඳු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන අතර එම ඖෂධය නැවත භාවිතා කළ හැකි බව ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
පුරවැසියන් තක්බීර්
මේ ප්‍රවෘත්ති නිවේදනය මෙරට පුරවැසියන් තක්බීර් කරන නිවේදනයක් වී ඇත්තේ පසුගිය කාලයේ මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය පිළිබඳව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් වාර්තා වී තුබූ හෙයිනි. මේ වන විටත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ගණනාවකට එම ඖෂධය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් පුරවැසියන්ට මෙහිදී සිහිපත් වීම සාධාරණය.
එම සැකකරුවන්ට එරෙහිව නැගුන චෝදනාව වූයේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සැපයීම සම්බන්ධයෙනි.එලෙස ප්‍රමිතියෙන් තොර එම ඖෂධය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කිරීමෙන් පසුව ප්‍රශ්ණ ගත ඖෂධය සැපයූ සමාගමේ හිමිකරු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත හා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය නිෂ්පාදන හා සැපයුම් නියමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරහාගම මෙසේ කරුණු දක්වන ලද බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
“…….ස්වාමීනි මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා ගන්නා එන්නත් මාත්‍රාව. මේ එක් මාත්‍රාවක් රුපියල් 45000ක්.එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබල දීලා තියෙන්නෙ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් 8 වන සැකකරු වන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව තමයි සමන් රත්නායක අත් අඩංගුවට ගෙන තියෙන්නේ. ඔහු මේ නඩුවේ 10 වන සැකකරු ලෙස නම් කරන්නැයි මා ඉල්ලා සිටිනවා.
“ස්වාමීනි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබූ අතිරේක ලේකම්වරයා ඉවත් කරලා ඔහුගේ වගකීම සමන් රත්නායක නැමති සැකකරුට පවරලා තියෙනවා. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු වී ඇත්තේ මෙම සැකකරුගේ පූර්ණ අනුදැනුම යටතේය. එබැවින් මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු වෙලා තියෙන්නෙ මෙම සැකකරුගේ පූර්ණ අනුදැනුම යටතේ. ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවෙකු වුවද පළමුවරට ඖෂධ සපයද්දි ප්‍රසම්පාදන කමිටුව එහි තත්ත්වය පරීක්ෂා කළ යුතුයි. නමුත් මෙහිදී එය මග හැර තිබෙනවා. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුව සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යෙදවීමත් මෙම සැකකරු විසින් පැහැර හැර තිබෙනවා.
“ස්වාමීනි ඖෂධ 229 සම්බන්ධයෙන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිඳු කර ඇත්තේ ඉන් ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සපයමින් සිට ඇති අවස්ථාවක. එමෙන්ම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය වැය ශිර්ෂයක් භාවිතා කරන්න බැහැ. නමුත් මෙම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයේ වැය ශීර්ෂය භාවිතා කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර තිබෙනවා.
ස්වාමීනි ඔබට මතක ඇති ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් සති 03 ක් තුළ ඖෂධ සැපයීමක් නොකළොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. අන්න ඒ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ මොහු විසින්. ඒ පිළිබඳව මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු පවසා තියෙනවා අදාල කැබිනට් පත්‍රිකාව සෑදීම සිඳු කරන ලද්දේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය තුමාගේ උපදෙස් මත කියලා…”
ඒ දිනවල මාධ්‍ය වාර්තා කළ ආකාරයට ආන්දෝලානාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා එම ඖෂධය මෙරටට ගෙන්වා නැති බවත් තමන්ටම අයිති කර්මාන්ත ශාලාවක් තුළදී එම ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් අනාවරණය කෙරිණි. මෙම ව්‍යාපාරිකයා එම ඖෂධය නිශ්පාදනය කිරීම සඳහා භාවිතා කර ඇත්තේ පළතුරු බීම නිෂ්පාදනය සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර බවටත් අනාවරණය වී තිබුණි.
කෙසේ වෙතත් මේ ප්‍රශ්ණය පිළිබඳව මෙරට පුරවැසියන් අතර ගැටළුකාරී තත්ත්වයක් මීට ඉහත දිනයකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නිකුත් කර ඇති නිවේදනය නිසා මතු වී තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වරයා නිකුත් කරන ඇති ඒ ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ මෙරට භාවිතා කරන හියුමන් ඉමියොනොග්ලොබියුලින් ඖෂධය නිසි ප්‍රමිතියකින් යුක්ත බවය.
මෙම මාධ්‍ය නිවේදනයත් සමගම සමාජ මාධ්‍යවල හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අසත්‍ය චෝදනා නගමින් බන්ධනාගාර ගත කරන ලදැයි ජාජබ ආණ්ඩුවට එරෙහිව ලියවිලි සයිබරයේ සටහන් වෙමින් තිබේ. සැබැවින්ම මේ පටලැවිල්ල නිර්මාණය වන්නේ ජාතික ඖෂධ අධිකාරියේ සභාපතිගේ කොලේ වසා ගැසිල්ලෙනි.
ඔහු එම ප්‍රකාශයේ දැනට භාවිතා වන හියුමන් ඉමියොනොග්ලොබියුලින් නිසි ප්‍රමිතියකින් යුක්ත බව සඳහන් කර ඇතත් එය මෙරට ආන්දෝලානාත්මක ප්‍රශ්ණයක් මතුව දැනටමත් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බාල ඉමියොනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ නොවන බව පවසා නැත.
ජාතික ඖෂධ අධිකාරියේ සභාපති වරයාට එය අමතක වීමෙන් සිදු වූවක්ද එසේ නැතහොත් ඕනෑ කමින් මග හැරියාද යන්න අපි නොදනිමු.
කෙසේ වෙතත් ජාතික ඖෂධ අධිකාරියේ සභාපති ගේ මාධ්‍ය නිවේදනය ගැන අවධානය යොමු කරන විට අපට සිහිපත් වන්නේ දෙකක් කඩතොලු හදා දුන් ඉඳුරුවේ ආචාරියා ගැනය.
වැටක් බැඳුමට රිටක් කැපුමට ගොසින් මට වූ කාරියා
මෙතෙක් කල් මා කපන් කෑ මගෙ කැත්ත කඩතොලු වී ගියා
එකක් කඩතොලු මකා ගන්නට ගොස් මට වු කාරියා
දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා
ලොකු විසිනි.