මෙරට සිදුවූ බරපතල අවි ගණුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා කෙරුණ ඇවන්ගාඩ් ආයතනයේ මේජර් නිශ්ශංක සේනාධිපතිට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිෂම මගින් විමර්ශනයක් අරඹා ඇති බවට වාර්තා වී ඇති පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියකු මෑතකදී අල්ලස් හා දූෂණ කොමිෂමේ ප්‍රධානියෙකු අමතා මේජර් නිශ්ශංක සේනාධිපති හට එම ප්‍රධානියා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එහෙත් අල්ලස් හා දූෂණ කොමිෂමේ ප්‍රධානියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද දැන ගැන්මට තිබේ.
ඇවන්ගාඩි ආයතනයේ මේජර් නිශ්ශංක සේනාධිපති 2019 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරිය වූ දිල්රුක්ෂි ඩයස් ගෙදර යැව්වේ වජිර අබේවර්ධනගේ දුරකථනයෙන් ඇයට ඇමතුමක් ගෙන එය පටිගත කර ගත් හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙනි. මේ වතාවේත් මේජර් නිශ්ශංක සේනාධිපති එවැනිම අංචියක් අල්ලස් හෝ දූෂණ කොමිෂමට අදින්නට කල්පනා කරා වෙන්නට බැරි නැත. පසුගිය දිනවල මේ මේජර්වරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කරක් ගැසූ බවට අනුමත නොකළ වාර්තා සමාජ මාධ්‍ය මගින් පළ කර තිබුණි.
2019 වර්ෂයේ සැප්තැම්බර් 24 වන දා ඇවන්ගාඩ් තක්කඩි උපක්‍රමයෙන් වැඩ තහනමකට ලක්වූ අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරිය වූ දිල්රුක්ෂි ඩයස් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිදොස් කොට නිදහස් කරන ලද්දේ 2023 වර්ෂයේ අගෝස්තු මාසයේදීය.රාජ්‍ය කොමිෂන් සභාව ඇයට එරෙහිව සිඳදු කරන ලද පරීක්ෂණයේදී සිද්ධියට අදාල හඬපටය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යලය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවන ලදී.එහිදී අනාවරණය වූයේ එම හඬ පටය සංස්කරණය කරන ලද්දක් බවය.
ඒ අනුව ඇයට එරෙහිව තිබූ චෝදනා වලින් ඇය නිදහස් කෙරිණි.
මේ වන විට අල්ලස් හෝ දූෂණ කොමිෂමේ රාජකාරිමය මැදිහත් වීම් සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුවල ජාවාරම්කාරයන් සලිත වී සිටී. ඒ මැදිහත්වීම අවහිර කිරීමට ඔවුන් අල්ලස් හෝ දූෂණ කොමිෂමට එරෙහිව අණ විණ කොඩිවින හූනියම් පවා කරන්නට ඉඩ තිබේ. මේ ජාවාරම්කාරයන් ගේ සිතීම එහෙමය.
අල්ලස් හා දූෂණ කොමිෂමේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රාජකාරි කළ ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයා මේ වන විට එම ධුරයෙන් ස්ථාන මාරු කර යවා ඇති අතර මේ වන විට ඒ සඳහා කිසිම නිලධාරියකු පත් කර නැති බවද පැවසේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීම් සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ පුරවැසියන් තුළ සැකයක් පවතී.
ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳවය. බොහෝ ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී කොට්ඨාශවල වගකීම් පවරා දීමට කටයුතු කර ඇත්තේ පසුගිය ආණ්ඩු කාලයේ රාජපක්ෂවරුන් සමග ඉතා සමීපව කටයුතු කරන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට වේ. ඒ ඇතමුන් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන අයවළුවන් බවට චෝදනා එල්ල වුන අයවළුන්ය. තවත් සමහරුන් දීර්ඝ කාලයක් රාජපක්ෂවරුන් සමීපයේ ආරක්ෂක රාජකාරිවල නිරත වූවන්ය.
මේ පත්වීම් සිදු කෙරෙන ආකාරය ගැන ඉතා ආසන්නතම උදාහරණය කුරුණෑගල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ පත්වීමය. ඒ සඳහා පත් කරන ලද්දේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පාසැල් පන්ති සගයෙකි. අනෙකුත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බල ප්‍රදේශවල පත් කිරීම්ද ඒ හැඩයේම පත්වීම්ය. එලෙස බොහෝ පත්වීම් ලබා දී ඇත්තේ රාජපක්ෂ වරුන් හා තවමත් ගණුදෙනු කරන පොලිස්කාරයන්ටය.
මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් අපට ලැබෙන තොරතුරු අනුව අමාත්‍යංශ ලේකම්වරයා සිටින්නේ නාම මාත්‍රිකවය.
ඔහු තුළ පවතින කළකිරීම නිසාම හෙට අනිද්දා වෙන විට ගෙදර ගිය හොත් පුදුම වෙන්නට දෙයක් නැත. එපමනක්ද නොවේ. ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ පත්වීමද ඇස් බැන්දුමක්දැයි සමහරු ප්‍රශ්ණ කරති. එය එසේ යැයි අප කියන්නේ නැත.
ඔහුට පවරා ඇති වගකීම ඉටු කිරීම සඳහා රාජකාරිය කිරීමට ඇති ඉඩ කඩ ඇහිරී තිබෙන බවක් කියවේ. ඔහු වට කර ගෙන සිටින්නේ රාජපක්ෂ ජානගත පොලිස්කාර බල ඇණියයි.
මේවා පිටුපස සිටින්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය හසුරවන උපදේශක උන්නැහේය. ගහේ පනුවා ගහේ කොල කා අවසන් වෙන තරමට දැන් වැඩේ සීරියස්ය.
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසන්නේ උපදේශක උන්නැහේ ඉතා හොඳින් රාජකාරි කරන බවය.
අපට රට තොටින් ආරංචි ලැබෙන ආකාරයට ඒ රාජකාරිය නම් “අප්පට සිරි” වෙන ආකාරයේ රාජකාරියක් පොලීසිය තුළ සිද්ධ වෙමින් තිබෙන මේ හෙයියම්මාරුව අඩුම තරමේ ජනපති අනුර කුමාර සහෝදරයාටවත් සමීපතමයකු පවසා නැත්තේ මක් නිසාද යන්න බරපතල ප්‍රශ්ණයකි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් මේ නාඩගම් හා විකාර බලමින් රස විඳිමින් සිටී.
අමාත්‍යංශයට සිටින්නේ එක උපදේශකයෙක් නොවේ. ඇවිදගන්නටවත් නොහැකි තවත් උපදේශක පරාණයකි. මෙවුන්දැලා දෙන්නා හෙට අනිද්දා වෙන විට පොලීසිය හපයක් බවට පත් කරන එක නම් අතැඹුලක් බව පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ය. අප මේ කියන දේ ඇත්තද නැද්ද යන්න අමාත්‍යංශයේ පියුන් මහත්වරුන්ගේ කැටගරියේ සිට සෙකරතාරිස්ලා දක්වා වූ ඉහළ තරාතිරමට අයත් වූවන් ගෙන් පෞද්ගලිකව අසා දැන ගත හැකිය.
මේ හැමදෙනාම අමාත්‍යංශ තුළ ඕපදූප ලෙස තළුමරණ තොරතුරු අස්සේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබල පමණක් නොව ජාජබ අණ්ඩුවද රූපාන්තරණය වී ඇත්තේ අම්බලන්ගොඩ කෝළම් මඩුවක හැඩයකටය. මහජන ආරක්ෂක ඇමති ඩබල මේ වයසක උපදේශකයන් දෙදෙනාට මෙතරම් ලව් කරන්නේ මක් නිසාද යන්න පැහැදිලි නැත.
බලයට එන්නට පෙර මෙරට සිදු වූ අබිරහස් සාහසික අපරාධවලට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබා දෙන බව ජාජබය පැවසුවේ දහ අතේ දිවුරමිනි. ඒ ලැයිස්තුව ඉතා දිගය. පාස්කු ඉරු දින ප්‍රහාරය ඒ අතරේ වූ ප්‍රධානතම අපරාධයයි.
මේ ආණ්ඩුව කළ එකම හපන්කම කෙහෙළියට රඹුක්වැල්ලට කළ රිදවීම පමණය. ඉන් එහා සිදු කළ සෑම අත් අඩංගුවට ගැනීමක්ම සංදර්ශන ලෙස අවසන් නොවිය යුතුය.
පසුගියදා කාන්තාවක හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංඟ කොළඹ පිහිටි රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් කූඨ ලේඛන සකස් කරමින් සන්තකයට පවරා ගැනීම සම්බන්ධයෙන් සීඅයිඩීයට පැමිණිලි කෙරුවාය. එම පැමිණිල්ලට අදාලව එසේ පවරා ගත් ඉඩම් කැබලි තිහකට ආසන්නය.සීඅයිඩීයේ අධ්‍යක්ෂවරිය එම කාන්තාවට ලිඛිතව දන්වා ඇත්තේ ඇය කළ පැමිණිල්ලට අදාලව සිවිල් නඩුකරයන් පවත්වා ගෙන යන ලෙසය.
සීඅයිඩී අධ්‍යක්ෂවරිය රජයේ දේපොල පිළිබඳව නොදැනුවත් කම නිසා මෙවැනි උපදේශයක් දුන්නාද එසේ නොමැති නම් සිය දේශපාලනික සට්ටැඹිකම නිසා එවැනි තීන්දුවකට එළඹියාද යන්න ජාජබ කෙරුම්කාරයන් විසින් සොයා බැලිය යුතු කාරණයකි. සීඅයිඩීයේ අධ්‍යක්ෂවරිය මැද මුලන ආශීර්වාදයෙන් වැජඹෙන මුතු මාලයකි. ඇයගේ රාජපක්ෂ කැරැට්ටුව ගැන පොලීසියේ දන්නෝ දනී.
අප මේවා ලියන්නේ බරපතල හිතේ අමාරුවෙනි. ජාජබ ආණ්ඩුවේ අද නොවේ හෙට කෙරුවාව මේ රටේ දේශපාලනයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. අද වැඩේ හෙටට කල් දැමීමෙන් කවදා හරි කෙලවෙන්නේ ජාජබයේ පාක්ෂිකයන්ටය. එහා වඩාත් අවදානම ඇත්තේ ජවිපෙ කාඩරයටය.
කාමරයේ දොර හැර තබන්න.ඒ තුළින් එන සුළඟින් ආස්වාදය විඳින්න.එහෙත් ඒ සුළඟට ඔබේ කාමරයේ ඇති දේ ගසා ගෙන යන්නට ඉඩ හරින්නට එපා යැයි වරෙක මහත්මා ගාන්ධි ඉන්දියානු ජනතාවට අවවාද කළේය. එකී ප්‍රකාශය අද අප ජාජබ ආණ්ඩුව හා ගලපා ගත හොත් ජනේලයෙන් එන සුළඟ කුණාටුවක් බවට පත් වී අපගේ බලාපොරොත්තු ඈතින් ඈතට ගසා ගෙන යමින් තිබීම අතිශය කණගාටුවකි.
ජාජබ ආණ්ඩුවේ වර්තමාන කෙරුවාව ගැන අපූරු ජන කතන්දරයක් අපට සිහිපත් වේ. අටසිල් සමාදන් වන ගැමියෙක් ගමක ජීවත් වූවේය.ඔහු පසලොස්වක පෝය දිනක සිල් සමාදන්ව ඒ සිල් පවාරණය කර නිවසට යන විට කොලු රෑණක් ඉබ්බෙකු පුච්චන්නට සූදානම් වෙන හැටි දුටුවේය.
උපාසක මහත්තයා ඉබි මස් කෑමේ රුසියකි.කොල්ලන් ඉබ්බා පුච්චන්නට හදන විදිය වැරදි ලෙසින් බව දුටු උපාසක මහත්තයාට ඉවසුම් නැති විය.
තමාගේ උපාසක කම පැත්තකට දැමූ ඔහු මෙසේ පැවසීය.
“අපට මොටද අප අටසිල් උපාසක
ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට“
පහල ඇවරියේ පාක්ෂිකයන්ද ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට දැන් පවසන්නේ “අටසිල් උපාසක කම” අත හැරිය යුතු බවය.