දශක ගණනක් ඇදී ගිය උතුරු නැගෙනහිර යුද්ධය නිමාවී වසර 16 ක් ගෙවී ගොස් තිබේ. ගෙවී ගිය වසර 16 පුරාම මෙම දිනය ඊනියා යුධ ජයග්රහණයක් සැමරීමේ දිනයක් ලෙස යොදා ගැනුණු අතර, යුද්ධයේ එක් පාර්ශව කරුවකු වූ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අයට මියගිය තම ඥාතීන් සිහි කිරීම සඳහා රාජ්ය උත්සව සංවිධානය වෙද්දී යුද්ධයේ අනෙක් පාර්ශවයේ ඥාතීන්ටත් මෙම යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැතිව යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන්ටත් සිය මියගිය උන් සිහිකිරීමේ මානුෂික අයිතීන් පවා උදුරා ග්නිමින් එවැනි උත්සාහයන් පවා නිරධය ලෙස වලකාලමින් කටයුතු කරනු දැක ගත හැකි විය.
සැබවින්ම උතුරේත් දකුණේත් යුද්ධයෙන් මියගිය අති බහුතරයක් වනාහී මේ රටේ පීඩිත ජනතාවය. ඕනෑම යුද්ධයක් කුරිරු හා විනාශකාරී බව අමුතුවෙන් කිව යුතු නොවේ. මානුෂීය යුද්ධ යනු එකී විනාශකාරී බව වසන් කිරීම සඳහා යොදාගත් වදන් හරඹයක් පමණි. යුද්ධයේ පාර්ශව කරුවන් පමණක් නොව කිසිදු අයුරකින් යුද්ධයට සම්බන්ධ නොවූ අහිංසක සිවිල් වැසියන් උතුරේත්, දකුණේත් දහස් ගණනක් ඝාතනය වූ බවත් යුද්ධය නිසා තවමත් හදවත් සුවපත් නොවූ විශාල ජනතාවක් සිටින බවත් නොරහසකි. එනිසාම යුධ ජයග්රහණයන් සැමරීම යනු එක් පිරිසකගේ තුවාල යළි යළිත් පාරවමින් තවත් පිරිසක් අභිමානයට පත් කිරීමක් බව සම අයිතිය ව්යාපාරය ලෙස අපි යළි යළිත් මතක් කර සිටින්නෙමු.
හේතු වලට විසදුම් දෙනු
සැබවින්ම කළ යුතුව ඇත්තේ යුද්ධයට හේතු වු සැබෑ ගැටළුවලට විසඳුම් ලබා දීමය. තමිල් , මුස්ලිම් හා මලේහම් මක්කල් පීඩිත ජාතික ජන කොටස්වල නොවිසඳී ඇති දේශපාලන අයිතිවාසිකම් තහවුරුකර මෙරට ජාතික ගැටලුව විසඳීමට දැන්වත් අවංක උත්සාහයක් ගැනීමය. අලුයට ගිණි පුපුරු ලෙසින් වරින් වර මතුවන හා ඇතැමුන් හිතාමතා අවුළුවන විසකුරු ජාතිවාදය සහමුලින් අතුගා දැමීමට අවශ්ය පියවර ගැනීමය.
ගෙවී ගිය වසර 16 පුරාම පැවැතියේ යුද්ධයේ සැබෑ වග උත්තරකරුවන්ගේ ආණ්ඩු පාලන සමයන්ය. ඔවුන්ට පශ්චාත් යුද ගැටලු විසඳීමේ සැබෑ උවමනාවක් නොවීය. එනිසාම යුද්ධය අවසන්ව වසර 16 කට පසුත් යුද්ධය පැවති සමයේ බලහත්කාරයෙන් හමුදා කඳවුරු ඉදිකිරීමට යැයි පවසා අත්පත් කරගත් තමිල් ජනයාගේ ඉඩකඩම් තවමත් ඔවුන්ට ලබා දී නොමැත මෙය බරපතළ මානව අයිතීන් උල්ලංඝනයකි. එමෙන්ම සුදු කොඩි රැගෙන විත් යටත් වූවන් පමණක් නොව ආගමික නායකයන් ඇතුළු බොහෝ පිරිස් විසින් හමුදාවන්ට භාර කරනු ලැබූ දහස් ගණනක් දෙනා පසුව අතුරුදහන් වූවන් බවට පත්විය. ඇතැම් නාවික හමුදා ප්රධානින් විසින් අත්අඩංගුවට ගත් තරුණයන්ගේ දෙමාපියන්ට දුරකථන මගින් කතා කරමින් ඔවුන් නිදහස් කිරීමට ලක්ෂ ගණනින් කප්පම් ලබාගත් සිදුවීම්වල දුරකථන හඬ පටි තවමත් එම දෙමාපියන් සතුව පවතී. එවැනි එක් බරපතල සිදුවීමකට අදාළව මේ වන විටත් නඩු පවරා ඇති එක් නාවික හමුදාව ප්රධානියෙකු අද දින ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන ” රණවිරු සැමරුම් ” රාජ්ය උත්සවයේ ප්රධාන ආරාධිතයකු ලෙසින් ද සහභාගි වීමට නියමිත බව මාධ්ය වාර්තා කර ඇත. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.
87/89
1987 /89 ධවල භීෂණයේදී අතුරුදහන් කළ 60000 ක් දෙනාට යුක්තිය ඉටු කිරීමට පාලකයන් පියවර නොගත් අයුරින්ම උතුරේදීත් නැගෙනහිරදීත් අතුරුදන් වූවන්ට මේ වසර දාසය පුරාම යුක්තිය ඉටු වී නොමැත. දේපළ අහිමිවන්නටත් එසේ මරා දැමුවන්ටත් වන්දි මුදලක් හෝ ලබාදීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කරනු ලැබුවේද නැත. වත්මන් ආණ්ඩුවද එවැන්නක් කිරීමේ සූදානමක් හෝ තවමත් පෙන්වා නැත.
එල්ටීටීඊ නායකයන් රැසක් යුද්ධයේදී ඝාතනය විය. එහෙත් කේපීලා වැනි ඉහළ ගණයේ එල්.ටී.ටී.ඊ නායකයින් විදෙස් රටක සිට මෙරටට රැගෙන ආ රාජපක්ෂලා එතැන් පටන් ඔහු සමග පවත්වාගෙන ගිය සහවාසය මේ මුළු රටම දනී. එල්ටීටීය සතුව තිබූ කෝටි ගණන් මුදල් සහ රත්තරන් හිමිකරගෙන සිටි කේපීලාට රාජපක්ෂ පාලන කාලය තුළ හිමි වූයේ ඉසුරු සැපත හිමි බංගලාවන්ය. ආරක්ෂාව පවා ඔහු හට ලබා දී තිබිණි. එල්.ටී.ටී.ඊ දෙවෙනි නායකයා වූ කරුණා අම්මාන්ලා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්ලා බවට පත්වීමට මහා ලොකු කාලයක් ගත නොවීය. පිල්ලෙයාන්ලා නැගෙනහිර පළාතේ මහ ඇමති බවට පත් වූවා පමණක් නොව, යුධ සමයේත් , පශ්චාත් යුධ සමයේත් උතුරු නැගෙනහිර පමණක් නොව කොළඹ නගරයේ පවා සිදුවූ ඝාතනයන්ට ඔවුන්ගේ සෘජු සබඳතා පැවති බව දේශපාලනය දන්නා අයට රහසක් නොවේ.
එල්.ටී.ටී. නායකයන් එසේ සුර සැප විඳිද්දී ඔවුන්ගේ නියෝග මත ක්රියාත්මක වූ පහළ සාමාජිකයෝ අද වන විට වසර 25 කටත් වඩා අධික කාලයක් තිස්සේ සිර දඬුවම් විඳිමින් සිටිති. ඉතිරිව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට වත්මන් මාලිමා පාලනය හෝ තවමත් අවධානය යොමු කර නොමැත.
යුද්ධය සහ මර්දන අණපනත්
ඉතිහාසයක් පුරා බොහෝ විසකුරු මර්දන අණ පනත් පාලකයන් සම්මත කරගනු ලැබුවේ මෙකී යුද්ධයේ බල මහිමයෙනි. සිය පවිටු බල උවමනාවන් ඔවුන් සැම විටම ඉටු කර ගනු ලැබුවේද ජාතිවාදී විෂබීජයන් වගා කරමිනි. වසර දාසයක් පුරා දකුණේ ජනයාගේ ඔල්වරසන් මැද උතුරේ ජනයාගේ ඉකිබිඳුම් නෑසී ගියේ එහෙයිනි.
රාජපක්ෂ පාලනය පශ්චාත් යුද සමය තුළ ” මාතෘ භූමිය ” යන වදන පවා දූෂණය කරමින් සිය විරුද්දවාදීන් ඝාතනය කිරීම හා සුදු වෑන් වලින් පැහැරගෙන යාම් වේගවත් කරන ලදී. උතුරේ ජනයාගේ ආදරය දිනා සිටි සිවරාම් වැනි මාධ්යවේදීන් ඝාතනය කෙරෙද්දි දකුණේදී ලසන්ත වික්රමතුංගලා, ප්රගීත් එක්නැලි ගොඩලා වැනි තමන්ගේ පාලනයට හිසරදයක් වූ මාධ්යවේදින්ද මරා දමනු ලැබුවේ එකී මාතෘ භූමිය යන වදනට මුවා වෙමිනි.
මළ කඳන් ලක්ෂයකින් හෝ නිමා නොවන රාජපක්ෂලාගේ මෙකී කෑදර බල උවමනාවන් නිමා වූයේ 2022 ගෝල්ෆේස් මූලික කරගනිමින් ඇරඹී ජන අරගලය නිසාය. දීර්ඝ කාලයක් පුරා රාජපක්ෂලා විසින් පෝෂණය කළ ජාතිවාදය එකී අරගලය විසින් වළලා දැමීමට හැකිවිණි. යුද්ධය ඇතිතාක් පාලකයින් පැවසූයේ රට සංවර්ධනය කිරීමට ඇති එකම බාධාව යුද්ධය බවය.. තත්පරයකට යුද්ධයට වැයවන මුදල් ගණන් හදමින් ඔවුන් මේ බොරුව සමාජගත කළේය. එහෙත් යුද්ධය අවසන්ව වසර 13 කට පසු රාජපක්ෂලා මේ රට බංකොලොත් රාජ්යයක් බවට ලෝකයා හමුවේ නාමකරණය කළේය. වසර 77 ක් පුරා පැවති තට්ටු මාරු දේශපාලනය ජනතාව නිමා කරනු ලැබුවේ ජාජබ යෙන් තරඟ කළ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් කරවමිනි. උතුරු නැගෙනහිර පවා දෙමළ ජනයා පළමු වතාවට එතෙක් තමන් පෙනී සිටි දේශපාලන මතවාදයන් පසෙක ලා අනුර කුමාර දිසානායකගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටියහ..
පරණ පාරේම යන ජනපති
එහෙත් ගත වූ මාස අටක කාලයක් මුළුල්ලේ වත්මන් ජනාධිපතිවරයාත් ගමන් කරමින් සිටිනුයේ පැරණි පාලනයන් ගිය අඩි පාරේමය. උතුර නැගෙනහිර ජනයාගේ සාධාරණ දුක් ගැනවිලි වලට පිළියම් යෙදීමට කිසිදු වුවමනාවක් හෝ ඔහුද මේ තාක් පෙන්වා නැත. අඩුම තරමින් මර්දන අණ පනත් හෝ අහෝසි කර දැමීම වෙනුවට වත්මන් පාලනයද ඒවා සිය බල උවමනා වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස පාවිච්චි කරමින් සිටී. ජාතික ගැටලුවට ස්ථිරසාර දේශපාලන විසඳුමක් වෙනුවෙන් කැපවන බවට සංඥාවක් හෝ වත්මන් පාලනය ලබාදී නොමැත.
උතුරු නැගෙනහිර ජනතාවත් මුස්ලිම් ජනතාවත් වත්මන් පාලනය කෙරෙහි තමන්ගේ ඇති කලකිරීම යළි ඔප්පු කර පෙන්වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙනි.
ජන අරගලයෙන් පරාජිකා බවට පත් වූ රාජපක්ෂ කල්ලියත් , උන්ගේ සහචරයනුත් දැන් යළිත් වරක් උත්සාහ දරමින් සිටිනුයේ සිය පැරණි විස කුරු ජාතිවාදී ඇඳුම් ආයිත්තම් යළි ඇඟලා ගැනීමටය. සිය දූෂිත දේශපාලනය වසන් කර ගැනිමට ” මාතෘ භූමිය ” පළිහක් කර ගැනීමටය. ඊයේ දවස පුරා රටේ හතර දිග්භාගයේ ඊනියා රණවිරු සැමරුම් සංවිධානය කරමින් ඔවුන් සිය කෑදර බල වුවමනාවන් කරලියට ගැනීම සදහා උත්සුක වන අන්දම මේ රටේ ජනතාවට දැකගත හැකි විය.
ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් නොදී මේ බල ක්රීඩාව තවදුරටත් කරගෙන යෑමට කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නොමැත. අප ඉහතින් සඳහන් කළ පශ්චාත් යුධ ගැටලු වහා විසඳන ලෙසත්, මෙරට ජාතික ගැටලුවට ඉක්මන් දේශපාලන විසඳුමක් ලබාදීමට පියවර ගන්නා ලෙසත් අපි වත්මන් ආණ්ඩුවට බල කර සිටින්නෙමු.
ඒ සඳහා එක්ව සටන් කිරීමට මෙරට සිංහල දෙමළ මුස්ලිම් හා මලේහම් මක්කල් ජාතික ජන කොටස් වෙත සහෝදරත්වයේ දෑත් දිගු කර සිටින සම අයිතිය ව්යාපාරය ඒ සඳහා එක්ව සටන් කිරීමට මේ සියලු ජන කොටස් වෙත ආරාධනා කර සිටින්නෙමු.
ඉන්ද්රානන්ද ද සිල්වා