Saturday, May 17, 2025

පරපීඩා කාමුකත්වය සහ නවක වධය – සුනන්ද දේශප්‍රිය

රාජගිරිය පොලිසිය අත්අඩංගුවට ගත් සත්සර නිමේශ්ගේ දිග කලිසම ගැලෙව්වේය. සබගමු සරසවි නවක වධකයෝ කොට කලිසමක් ඇඳ ගෙන ඒමේ වරදට චරිත් දිල්ශාන් නොමරා මැරුවෝය. ලිංගික අපයෝජනයකට ලක්ව ඊට යුක්තිය ඉටු නොවී සිත් තැවුලෙන් සිටි ඩිල්ෂි අම්ශිකා නව දේශපාලන සංස්කෘතියේ නියමුවකු විසින් සිය උපකාර පන්තියෙන් පලවා හරින ලදී.

මේ ලැයිස්තුව දිගය.

පාසලේ අපොස පන්තියෙහි දී මට ශිෂ්‍ය භට කණ්ඩායමට බැදීමට ආසාවක් ඇති විය.  නියමිත දිනයෙහි මම එහි ගියෙමි. උස මදි යැයි කියා මා ප්‍රතික්ෂේප විය. අපොස පන්තියේ දී මගේ මිතුරන් සමහරෙක් මට කීවේ “බෙට්ටා” කියාය.

මා ප්‍රතික්ෂේප වූ නමුත් මගේ මිතුරෝ ඊට තෝරා ගැණුනි. එකල ශිෂ්‍ය භට කඳවුර පැවැතියේ දියතලාව කදවුරෙහිය. වෙනම මැදිරි වෙන් කරවා ගෙන ඒ දීර්ඝ ගමන කෙරුණේ දුම්රියෙනි. කඳවුර අවසන්ව ආපසු ආ මගේ මිතුරන් කී කතා වලින් මා තිගැස්මට පත් විය. අලුතින් බැදුණූ සියලු ශිෂ්‍යයින් දුම්රිය මැදිරියෙහි දීම බලහත්කාරයෙන් කලවාන්තර සංසර්ගයට ලක් ව තිබුණේ ශිෂ්‍ය භට බලකාය බාරව සිටි ගුරුවරයාගේ අනු දැනුම ඇතිව ය. එම ගුරුවරයා පසුව යුද සමයෙහි  ස්වේච්ඡා නිලධාරියකු බවට පත් විය.

ශිෂ්‍ය භට සංස්කෘතිය තුල තවමත් එම බලහත්කාර ලිංගික අපයෝජන සංස්කෘතිය පවතින බව මා දැන ගත්තේ කොළඹ මහ විදුහලක නවක වධය ගැන ආදි ශිෂ්‍ය පිරිසක් කල කතා බහකදීය. බලහත්කාර ලිංගික සංසර්ගය. එය කලවාන්තර වුවත් අධෝ මාර්ගික වුවත් යෝනි මාර්ගික වුවත් දඩුවම් ලැබිය යුතු වරදකි. එනමුත් රටෙහි නීතිය රැකීමට ද කැඳවනු ලබන සේවාවකට පුරුදු පුහුණු කරන ශිෂ්‍ය භට ව්‍යාපාරයෙහි පවා සමහර විට එය ආරම්භයේ සිටම දශක ගණනාවක් පුරා පැවතීම අප සමාජ සංස්කෘතියෙහි මුල් බැස ඇති පරපීඩා කාමුකත්වයේ ලකුණකි.

1971 කැරැල්ල පරාජය වී අප සිර ගත වන විටත් අද ටිල්වින් සිල්වා ද පුනරුච්චාරණය කරන ද්‍රෝහීන් සහ වීරයින් පිළිබඳ සංකල්පය ජවිපෙ තුල මුල් බැස ගෙන තිබුණි.  ද්‍රෝහියකු ලෙස හංවඩු ගසන ලද එක් නායකයකුගේ පවුලේ බොහෝ දෙනා අත්අඩංගුවට ගැණුනි. කොළඹ උසස් විදුහලක අධ්‍යාපනය ලද ඔහුගේ ලාබාල පුතා ද අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු දමා සිටි මැදිරියට ඇතුල් වූ වීරයින් විශාල පිරිසක් ඔහු බලහත්කාරයෙන් සාමූහික අපයෝජනයකට ලක් කරන ලදී. මේ දරුවාට සිහිසුන් නැති වන විට ඔහු හාන්සි කරන ලද සිමෙන්ති බිම වීරයින්ගේ ශුක්‍රාණුවලින් කොතරම් පිරී තිබුනේද යත් ඔහු ලිස්සා යන තරම් වූ බව කියැවුනේ වීර කතාවක් ලෙසය.

යුද සමයෙහි යුද බිමෙන් පළා ආ තරුණ සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගත්තේය. මෙම ප්‍රවණතාව විමර්ශනය කල හමුදා පරීක්ෂණයක් සොයා ගත්තේ ඉහළ නිලධාරීන් විසින් කරන බලහත්කාර ලිංගික අපයෝජනය යුද හමුදාවෙන් පලා යාමේ තෙවන හේතුව බවයි.

යුද්ධ සංස්කෘතිය තුළ පරාජිතයා ලිංගික කෙලෙසීම අද දක්වා පවතින බව ඇමෙරිකානුවන් ඉරාකයේ දී ප්‍රදර්ශනය කළේය. එහෙත් තමන්ගේම ශ්‍රේනීන් තුල සිදු වන අපයෝජනය අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

ගිනි පූජා නවක වධය

මා ඉහත කී කොළඹ මහ විදුහලක කලකට පෙර සිදු ව තිබූ නවක වධය භයානක ලිංගික ස්වරූපයක් ගෙන තිබුණි. එම විදුහලෙහි ආඩම්බරයට හේතුවක් වන ක්‍රීඩාවක් සඳහා බඳවා ගත් ආධුනිකයින්ගේ අධෝමාර්ගයට ඉටිපන්දමක්  ඇතුල් කරයි. ඉන් පසු එය දල්වනු ලැබේ. එලෙස දල්වන ලද ඉටිපන්දමෙන් ආධුනිකයා සිය නම ලිවිය යුතු විය.

තවමත් එවැනි අමානුශික නවක වධ සහමුලින්ම අවසන් වී නැත. මෙම ඉටිපන්දම් නවක වධය මෙරට සරසවි තුළ ද පැවතී තිබේ. එයට කියන්නේ ‘ගිනි පූජාව’ කියාය.

ලක්ෂ තිහක් සංචාරකයින් මෙරටට පැමිණෙනු ඇති බවත් එවිට රාත්‍රියෙහි එලියට බැස්ස විට සුද්දියක් ඇගේ හැපෙන්නට පුළුවන් බවත් කීවේ, ද්‍රෝහියකු නොව වීර නායකයෙකි. ඔහුට අනුව සුද්දියක් ඇගේ හැපුණ විට පවුල කඩාකප්පල් විය හැකිය.  සංකේතාත්මක භාෂාවට පෙරළු විට මෙම කතාව ද ලිංගික අපයෝජන ලැදියාවක ප්‍රකාශනයකි.

පාර්ලිමේන්තුවෙහි මංත්‍රීවරියන්ට බටු සහ පලා ගැනීම මතක් කර දුන්නේ රාජපක්ෂ දේශප්‍රේමියෙකු වන තිස්ස කුට්ටිආරච්චිය. ස්ත්‍රියක් ඇගමැති වූ විට මාසයකට වරක් පුටු හෝදන්නට වනු ඇතයි කීවේ පසුව හැම පෝයකටම බණ කී රණසිංහ ප්‍රේමදාසය.

ළමා ලිංගික අපයෝජනය පන්සල්හි  සිදුවන බව රහසක් නොවේ. එය මහ ව්‍යසනයකි.

නවක වධය සහ විප්ලවාවාදී පක්ෂ

නවක වධය සරසවි දේශපාලනයෙහි බලය ජවිපෙ සහ පෙරටුගාමීන් විසින් අල්ලා ගැනීම නිසා ඇති වූ දෙයක් නොවේ. 1960 ගණන් අවසානයේ දී පේරාදෙණි සරසවියේ නවක ශිෂ්‍යාවකගේ දෙකකුල් අතර සිය කෙළ අතට ගෙන  ගෑමට නවක ශිෂ්‍යයකුට බල කල වාමාංශික ජ්‍යෙෂ්ඨයකු කාලයාගේ ඇවෑමෙන්  උසස් අධ්‍යාපනය බාර ප්‍රධාන නිලධාරියා බවට පත් විය.

යසෝදා විමලධර්ම

අද මෙරට සරසවි දේශපාලනය මෙහෙය වන්නේ පාලක පක්ෂය වන ජවිපෙ/ජාජබ සහ ඔවුන්ගේ වාමාංශික පසමිතුරු සංවිධානය වන පෙසප බව රහසක් නොවේ. මෙම දෙපිරිසම නවක වධය යොදා ගන්නේ ප්‍රචණ්ඩ දේශපාලන උපාය මාර්ගයක් ලෙසය.

ජනප්‍රිය නිළියක වූ යසෝදා විමලධර්මට කැළණි සරසවියෙහි දෙන ලද නවක වධය ලිංගික ඊර්ශාවෙහි ප්‍රකාශනයකි. එම සරසවියෙහි මහචාර්යවරියක මා සමඟ කීවේ නවක වධය වැලැක්වීමට ඉඩ නොදෙන්නේ ශිෂ්‍ය සංගම් බවයි.

යුනිසෙෆ් අධ්‍යනය

2022 මාර්තු මාසයෙහි දී පළ කරන ලද ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි නවක වධය’ නම් යුනිසෙෆ් වාර්තාවක් දක්වන්නේ  නවක වදය  වාචික හා ශාරීරික යන දෙඅංශයෙන්ම සිදුවන බවය. එයට මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, පහරදීම් සහ ලිංගික හිංසනය ඇතුළත් වේ.  ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තවත් බරපතල ගැටළුවක් වන ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) සමඟ නවක වදය සම්බන්ධ ය.

මෙම අධ්‍යයනයට අනුව:

සමීක්ෂණය කරන ලද සිසුන්ගෙන් 51% කට වඩා නවක වදය හේතුවෙන් වාචික හිංසනයට, 34.3% ක් මානසික හිංසනයට, 23.8% ක් ශාරීරික හිංසනයට සහ 16.6% ක් ලිංගික හිංසනයට ලක්ව තිබුණි.

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයෙන් 44% ක් වාචික ලිංගික හිංසනයට ලක්ව ඇති බවත්, 22.3% කගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවත්, 19.9% ​​ක් ශාරීරික ලිංගික හිංසනයට ලක්ව ඇති බවත් එම වාර්තාව තවදුරටත් දක්වයි.

රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාලවල සිසුන් අතර, 21% ක් වාචික ලිංගික හිංසනයට ලක්ව ඇති බවත්, 1.5% කට ලිංගිකව හැසිරීමට බල කර ඇති බවත් අධ්‍යනය වාර්තා කර තිබුණි.

එසේ නමුත් ලිංගික අපයෝජන ප්‍රසිද්ධියේ කීමට අප සමාජයේ ඇති අකමැත්ත සලකා බලන විට නවක වධ ලිංගික හිසංනය මීට වැඩි විය යුතු බවට අනුමාන කළ හැක.

ලිංගික අපයෝජනය මෙරට විශ්ව විද්‍යාල තුළ සිදුවන දරුණුතම නවක වධය බව වාර්තාව දක්වයි. ජ්‍යෙෂ්ඨ සිසුන් ප්‍රධාන වශයෙන් උනන්දු වන්නේ කෙනෙකුගේ ශරීර කොටස්වල හැටි දැන ගැනීමටය, ඔහුගේ හෝ ඇයගේ ලිංගික අවශ්‍යතා යනාදිය වැනි රසවත් විස්තර ඇතිවය. බොහෝ අවස්ථාවලදී, නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් ඉදිරියේ ඇඳුම් ගලවන ලෙස ඉල්ලා සිට තිබුණි.”

පාසල් සහ සරසවිවල සිදු වන නවක වධයන්හි ලිංගික අපයෝජනය සහ පරපීඩා කාමුකත්වය ප්‍රධාන තැනක් ගනී. මෙම ප්‍රශ්නයට මුහුණ දීමට ජනප්‍රිය දේශපාලන බියය.  එබැවින් මෙම දුෂ්ට හැසිරීම් ලෙහෙසියෙන් නතර වනු ඇතයි සිතීම දුෂ්කරය.

(මෙම ලිපිය  මැයි 16 දින නිකුත් වූ අනිද්දා පුවත්පතෙහි මුලින් පල විය)

Archive

Latest news

Related news