පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ හිටපු ඇමති ටිරාන් අලස් හා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවෙන් නිදහස් කිරීම සඳහා තමන්ගෙන් කෝටි 30ක් ඉල්ලා සිටි බවය.
නඳුන් චින්තක වික්‍රමරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැඩි ආරක්ෂාව මැදය.
නඳුන් චින්තක වික්‍රමරත්න ඉහත ප්‍රකාශය මාධ්‍ය වෙත ප්‍රකාශ කරන විට ඒ ප්‍රකාශය ඔහුට නිදහසේ කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය සැළසුම් සහගත ආකාරයෙන් ඉඩ දෙන බව පෙනෙන්නට තිබේ.ඉන් අනතුරුව සැකකරු බන්ධනාගාර වෑන් රථයට නග්ගා ගත් පසුවද ඔහුට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට හැකි ආකාරයෙන් වෑන් රථයේ වීදුරු කවුළු විවෘත කර දෙන ආකාරයද දැක ගත හැකි විය.
ගනේමුල්ල සංජීව ඝාතනය කරන ලද්දේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුලදීය.නඳුන් චින්තක වික්‍රමරත්නටද බාහිර පාර්ශවයන්හී තර්ජන පවතින බව වාර්තා වී තිබේ. එය එසේ තිබියදී පවා විශේෂ කාර්ය බලකාය ඉතා සැහැල්ලුවෙන් නඳුන් චින්තක වික්‍රමරත්නට මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමට ඉඩ ලබා දීම බරපතල ලෙස පොලීසියේ අවධානයට ගත යුතු සිද්ධියකි. එය ඉතා සැළසුම් සහගතව සිදු කරන ලද සිදුවීමක් බවට සැක මතු වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර දැනට විශ්‍රාමව සිටින පොලිස් ප්‍රධානියකු මේ සිදුවීම සම්බන්ධයෙන් අප වෙත කළ ප්‍රකාශය මෙසේය.
“මා මාධ්‍යයෙන් මේ සිද්ධිය දුටුවා. එම සැකකරු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරද්දි විශේෂ කාර්ය බලකාය සිය රාජකාරිය බැරෑරුම්ව කරන්නෙ නැති බව පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඒ බව වඩාත් තහවුරු වන්නේ ඒ සැකකරු වෑන් රථයේ නැග ගැනීමෙන් පසුව එහි වීදුරු කවුළු විවෘත කිරීමට ඉඩ දීම නිසා. දැඩි ආරක්ෂාවක් යටතේ ගෙනියන සැකකරුවකුට වෑන් රථයේ කවුළු විවෘත කිරීමට ඉඩ දීම පවා සැක සහිත කාරණයක්. මේ සිද්ධිය පිටිපස බරපතල කුමන්ත්‍රණයක් තිබෙන බව මගේ සේවා අත්දැකීම් තුළ සිට පවසන්න පුළුවන්.
මේ සමාජයේ අදහසක් පවතිනවා ටිරාන් අලස් ජනාධිපති අනුර දිසානායක මැතිතුමාගෙ හොඳ යාළුවෙක් කියල.මෙන්න මේ සමාජගත අදහස තමයි කුමන්ත්‍රණකරුවන් ඉලක්ක කර ගෙන තියෙන්නෙ. දැන් මේ සැකකරුගෙ ප්‍රකාශය සත්‍ය වුනත් අසත්‍ය වුනත් ඉන් අසීරුතාවට පත් වෙන්නෙ ජනපතිවරයා ඇතුළු ආණ්ඩුවයි. ඒ අසීරුතාව හරියටම මග හිටියොත් උඹ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ සිද්ධියක්. ටිරාන්ට එරෙහිව අනුර දිසානායක ජනපතිවරයා කිසිම නිත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ යැයි පැවසෙන සමාජ අදහස තහවුරු කරන්න ආණ්ඩුවට එරෙහි විපක්ෂයට මේ සිද්ධිය හොඳ තුරුම්බුවක් වෙයි.
කුමන්ත්‍රණකරුවන්ගෙ අවශ්‍යතාවත් එපමණයි. මා දිගින් දිගටම ජාජබයට සම්බන්ධ පොලිස් ඡ්‍යෙෂ්ඨයන් දැනුවත් කරල තියෙනවා විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කේන්ද්‍රීය කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව යටි බිම් ගත ඉතා රහසිගත කුමන්ත්‍රණයක් දියත් වෙන බව. ඒත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ.විශේෂ කාර්ය බලකායෙ ප්‍රධානීන් බොහෝ දෙනෙකුට මේ ආණ්ඩුව ඇලජික්. බුද්ධි තොරතුරු පිළිබඳව ආණ්ඩුවෙ ආරක්ෂක ලොක්කො අවධානය යොමු කරනවා නම් විශේෂ කාර්ය බලකායෙ ඩබල් ගේම් එක හෙළි කරගන්න හැකි වෙයි.ඇත්තටම මට තවමත් තිබෙන සම්බන්ධතා වලින් අනාවරණය වෙලා තියෙන්නෙ ජාජබ ආණ්ඩුවට හිතවත්ව විශේෂ කාර්ය බලකායෙ ප්‍රධානින් ඉන්නෙ ඉතා සුළු පිරිසක්. ඒ නිළධාරින් පවා ඉන්නෙ කිසිම දෙයක් කර කියා ගන්න බැරුවයි.
ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණකාරයො බිම් බෝම්බයක් පුපුරවල තියෙනවා ,මේ අපරාධ සැකකරු යොදා ගෙන.එච්චරයි, මට කියන්න තියෙන්නෙ.”
මේ විශ්‍රාමික පොලිස් ඡ්‍යෙෂ්ඨයා අනාවරණය කරන තොරතුරු බරපතලය. එහි ඇත්ත නැත්ත සෙවීම ආණ්ඩුවට බාරය. අපට නිගමනයක් දිය නොහැකිය.
එහි ඇත්තේ මේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමකි. එහෙත් මේ ආණ්ඩුවේ කෙරුම්කාරයන් ඒ අනතුර තේරුම් ගන්නා බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම ආණ්ඩුවේ පණ්ඩිත කෙරුම්කාරයන්ට ලියන්නට ඇත්තේ ඔහොම යං කියා පමණය.
ලොකු කුමා විසිනි