Saturday, April 12, 2025

ඇමරිකා තානාපති මහින්ද සමරසිංගේ ප්‍රචාරක කයිවාරුවා ජාජබ ආණ්ඩුවේ රෙදි ගලවයි

ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති වරයා හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහය.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව විදේශ ර⁣ට වල තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල සඳහා පසුගි ය ආණ්ඩුව පත් කරන ලද වි⁣දේශ තාන්ත්‍රික නියෝජිතයන්ද එම කාර්යාලයන් වල සේවය කිරීමට දේශපාලන හිතවත් කම් මත  පත්වීම් දුන් සියළුම දෙනා ආපසු කැඳවීමක් කරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති මහින්ද සමරසිංහ ආපසු මෙරට කැඳවා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කර නැත්තේ කවර හේතුවක් නිසාදැයි අපි නොදනිමු.මහින්ද සමරසිංහ යනු දේශපාලනයේ පෙරළෙන පැත්තේ ස්වරූපයට සිය ආත්මයද ⁣පරිවර්තනය කර ගැනීමට දක්ෂයෙකි.අප එසේ ලියන්නේ ඔහු ගේ අතීත දේශපාලන කැරැට්ටුව සහතිකයක් ලෙස තබා ගෙනය .

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ කාලයේදී මහින් සමරසිංහ සිය කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරකයා ලෙස පත්කර ගත්තේ අශෝක ජයතුංඟ නම් යූඇන්පී ලියන්නාය.ඒ රනිල් වික්‍රමසිංහට සිය පක්ෂපාතිත්වය පෙන්වීමට විය හැකිය.

අශෝක ජයතුංග තානාපති කාර්යාලයේ වල් පල් ටිකක් ලියා ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් වැටුපක් ගත්තේය.ඔහුගේ හැම ලියවිල්ලක්ම අවසානයේ ලියවී තිබුණේ රනිල් වික්‍රමසිංහගේ හපන්කම්ය.තානාපති මහින්ද සමරසිංහද ඒ ලියවිලි කියවමින් චූන් එකේ සිටින්නට ඇත.

ජාජබ ආණ්ඩුව බලයට පත් වූවද ඉහින් බහින ලෙඩක් දුකක් නැතුව තානාපති වරප්‍රසාද භුක්ති විඳිමින් තවදුරටත් ඇමරිකාවේ ජීවත්වන්නට මහින්ද සමරසිංහට හැකි වීම ගැන අප ඉරිසියා නැත. එහෙත් ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරකයා මහජන මුදලින් වැටුප් ලබමින් ජනපති අනුර කුමාර දිසානායක හා ජාජබ ආණ්ඩුව විවේචනය කරමින් සමාජ මාධ්‍ය තුළ ලිපි පල කිරීම ගැන බරපතල ප්‍රශ්ණයක් අපට තිබේ.

ඒ ඔහු වැටුප් ලබන රාජ්‍ය සේවකයකු නිසාය. අශෝක ජයතුංග දරන තනතුර සිල්ලර කාර්යාල කාර්ය සහායක තනතුරක්ද නොවේ. එබැවින් ඔහුගේ මේ ලියවිලි පිළිබඳව ප්‍රශ්ණ කිරීමේ අයිතියද අපට පවතී.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ⁣ඇමරිකා තානාපති කාර්යාලයේ සේවය කරන අශෝක ජයතුංග ගැන නොදන්නවා විය නොහැකිය. එහෙත්  ⁣ඔහු තානාපති මහින්ද සමරසිංහගේ සගයා නිසා අසෝක ජයතුංඟට එරෙහිව විජිත හේරත් ඇමතිවරයාට කටක් ඇර කිසිත් කියන්නට බැරි කමක් ඇතැයි සිතේ. ඒ නිසාම විජිත හේරත් ඇමතිවරයා කටේ ඉබි යතුරු දමාගෙන අහක බලා ගෙන ඉන්නවා වෙන්ටත් පුළුවන.එහෙත් අපට එසේ නිහඬව සිටින්නට නොහැකිය.

මේ අශෝක ජයතුංග හට වැටුප් වශයෙන් ගෙවන්නේ මහජන බදු මුදල් නිසාය.

අශෝක ජයතුංගලා තානාපති කාර්යාලය අස්සේ හැංඟී ජාජබ ආණ්ඩුව සිල්ලර දෙකේ කොලයට පීචං කරන විට ජාතික ජන බලවේගයට ඡන්දය දුන් සැමට සිත් රිදුමක් ඇතිවේ.මේ සිත් රිදුම ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට නොදැනෙන්නටත් පුළුවන.ඒ තුනෙන් දෙකේ බලයක් අරගෙන තියෙන නිසාය.නුමුත් දැන් අපට සිතන්නට ඇත්තේ තුනෙන් දෙකේ බලය දෙකට නවා අර කොහේදෝ ගහ ගත්තානම් නම්බුකාර බවය.

පසුගියදා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයකට පැමිණීම පිළිබඳව අශෝක ජයතුංග ජනපති අනුර කුමාර දිසානායක හා ජාජබ ආණ්ඩුව විවේචනය කර මුහුණු පොතෙහි ලියා තිබුණ ලියවිල්ල අප්‍රසන්න හා හිරිකිත වැල් වටාරමකි .ඒ අප්‍රසන්න බව හා හිරිකිතය අපට දැනෙන්නේ ජනපති අනුර කුමාර දිසානායක හා ජාජබ ආණ්ඩුව ගැන තවමත් විශ්වාස කරමින් සිටින නිසාය.එහෙත් අපට දැනෙන ඒ අප්‍රසන්න බව හා හිරිකිතය ආණ්ඩුවේ නිළමේලාට දැනෙන්නේ නැත්තේ මන්ද යන්න ප්‍රශ්ණයකි.එහිදී විදේශ කටයුතු ඇමති විජිත හේරත්ගේ ලැජ්ජා නහර කප්පාදු කර ඇද්දැයි යන ප්‍රශ්ණය ඔහුගෙන් අසන්නට තරමේ කේන්තියක් අප සිත තුළ මතුවී තිබේ.

එක්කෝ මේ සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ ගේ අවධානය යොමු විය යුතුය.එහෙත් දේශපාලන ගේම් කාරයෙකු සිය පැවැත්ම තහවුරු කර ගන්නේ පක්ෂ විපක්ෂ හැම දෙනාටම “වෙස්සන්තර” ජාතකය දේශනා කරමිනි.ඒ නිසාම මහින්ද සමරසිංහට අශෝක ජයතුංග ගේ ලියවිල්ල ප්‍රශ්ණයක් නැත.ඒ පැත්තෙන් රනිල් හාමු ගේ සිත රිදවිය යුතු නැත.හාමු ගෙන් ලකුණු දමා ගත යුතුය.රාජපක්ෂ පවුලේද සිත දිනා ගෙන සිටිය යුතුය.මහින්ද සමරසිංහ සූදූව ගහන්නේ එහෙමය.

මහින්ද සමරසිංහ ගේ සූදු පිටියේ අශෝක ජයතුංග ජනපති අනුර කුමාර දිසානායක පඹයකු බවට හැඟවෙන ලියවිලි සමාජගත කරමින් සිටී.⁣මහින්ද සමරසිහ හා ජාජබ ආණ්ඩුවේ ලව් එක පවතින තුරු අශෝක ජයතුංග ඉහේ ඉඳන් අඟ කමින් සිටිනු ඇත්තේය.

(ලොකු)

Archive

Latest news

Related news