(මාධ්‍ය නිවේදනයයි/2025/03/26)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ත්‍රිත්වය පාඩු ලබන බැවින් ඒකාබද්ධ පාලන ව්‍යුහයක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්මක් රජය පාර්ශවයෙන් ඉදිරිපත්ව ඇති බව ප්‍රසිද්ධියට පත්ව තිබේ.
මහජන මුදලින් නඩත්තුවන එම ආයතන පාඩු නොලබන තත්ත්වයකට පත්කිරීම කළ යුත්තක් වන නමුත් ඒ සම්බන්ධ කිසියම් වැඩපිළිවෙලක් ඇත්නම් ප්‍රකාශයට පත්කිරීම ආණ්ඩුවේ වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. ඒ ජනමාධ්‍ය සමාජය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියළු පුරවැසියන් පැවති ආණ්ඩුවල හොරණෑ බවට පත්ව තිබූ රාජ්‍ය මාධ්‍ය පුරවැසි මාධ්‍ය බවට පරිවර්ථනය කරන මෙන් ඉල්ලා සිටි පසුබිමකය.
එසේම මහජනයා සතු සීමිත සම්පතක් වන විකාශ සංඛ්‍යාත භාවිතා කරන රාජ්‍ය මාධ්‍ය මෙම ප්‍රතිව්‍යුහගතකරණ සැළැස්මට ඇතුළත් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල චීන සංචාරයේදී අත්සන් කළ ගිවිසුම් අතරින් එකක් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් වන අතරතුරය. එම ගිවිසුම සම්බන්ධ තොරතුරු ජනමාධ්‍ය සංවිධාන මගින් ඉල්ලා සිටියද මේ දක්වා හෙළිදරව් කර නොමැති පසුබිමක නව ප්‍රතිව්‍යුහගතකරණ සැළැස්ම හා අදාළ ගිවිසුම අතර සම්බන්ධයක් ඇතැ’යි සැකසංකා පහළ වීම පුදුමයට කරුණක් නොවේ.
එමනිසා මේ මොහොතේ රජය කළ යුතු වන්නේ රාජ්‍ය මාධ්‍යයට අදාළව චීනය සමග අත්සන් කළ ගිවිසුම්වල සඳහන් කරුණු ප්‍රකාශයට පත්කිරීම සහ ප්‍රතිව්‍යුගතකරණ සැළැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කර ක්ෂේත්‍රයේ සහ ග්‍රාහක පුරවැසියන්ගේද අදහස් විමසා අවශ්‍ය කටයුතු කිරීමයි. ඒමගින් වඩා යහපත් මාධ්‍යකරණයක් සඳහා වන පරිසරය සැකසීමට ආණ්ඩුවට අවස්ථාව උදා වේ.
ඒ අතර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ඇතැම් පාර්ශවවලින් එල්ලවන විවේචනවලට පිළිතුරු සැපයීම හා ඵලදායී සාකච්ඡා වටයක් තුළ විනිවිදින ලෙස කටයුතු කිරීමටද පියවර ගැනීම ආණ්ඩුව සතු කාර්යයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකියි. විශේෂයෙන්, පුවත්පත් මණ්ඩලය වැනි යල්පැනගිය ආයතන ව්‍යුහ අහෝසි කිරීම වැනි ඉල්ලීම්වලට සවන් දෙන බවක් ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශයට පත්ව නොමැත.
එසේම ප්‍රගතිශීලී පාලනයක් අපේක්ෂා කළ පුරවැසි ඉල්ලීම් අතර භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කෙරෙන නීති අහෝසි කිරීමද ඇතුළත්ව තිබූ නමුත් ඒ සම්බන්ධයෙන්ද ආණ්ඩුව නිහඬ පිළිවෙතකට යොමුව ඇති බව දක්නට ලැබේ.
එමනිසා මේ එළඹ තිබෙන්නේ සමස්ත ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණවලට අදාළව ආණ්ඩුව සිය වගවීම පෙන්නුම් කළ යුතු මොහොතක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.
හනා ඊබ්‍රහීම්,
කැඳවුම්කාරිනී
ලසන්ත ද සිල්වා, ලේකම්