ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන් පොලිස් අත් අඩංගුවට නොගැනීමේ රිට් ආඥාවක් ලබා ගැනීම සදහා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය අද (17) දින නිෂ්ප්‍රභා කරන ලදී.
එම පෙත්සම නිශ්ප්‍රභා කරන ලද අභියාචනාධිකරණය පොලීසියට නියෝග කරන ලද්දේ ඉන්ටඩික් පොලිස්පතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. තවදුරටත් එම නියෝගයේ දැක්වෙන්නේ රුපියල් 10,521ක දඩයක්ද ඔහුට නියම කරන බවය. මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝග නීතියට අනුකූල බවත් එම නියෝගයට බලපෑම් කිරීමට අභියාචනාධිකරණය අපේක්ෂා නොකරන බවත් මෙහිදී එහි වැඩ බලන සභාපති විනිසුරු ලෆාර් තාහීර් ප්‍රකාශ කර තිබේ. එසේම මීට අමතරව ඉන්ටඩික් පොලිස්පතිවරයාට සැඟවී සිටීමට උදව් උපකාර කරන ලද සියලුම දෙනාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇති බව වාර්තා වේ.
සති ගණනාවක් පුරා මෙරට වේදිකා ගතවූ පොලිස්පති කෝලම තවදුරටත් රඟ දැක්වීමට ඉඩ ඇතැයි අපට උපකල්පනය කළ හැකිය. ඒ මක් නිසාද යත් ඉන්ටඩික් පොලිස්පතිවරයා අභියාචනාධිකරණයේ තීන්දුවෙන් සෑහීමකට පත් වූයේ නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බැවිනි.
ඉන්ටඩික් පොලිස්පතිවරයා ඉදිරියේදීත් සැඟවී සිටිය හොත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කෙරුවාව සමාජය තුළ අපහාසයට හා අගෞරවයට පත් විය හැකි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ පොලීසියේ රෙදි ගැලවෙන තරමේ ප්‍රකාශනයන් කියවිය හැකිය. ඒ නිසාම ජාතික ජන බලවේගය ආණ්ඩුවට සිදු වන හානියද ඉතා බරපතලය.
එහිදී ඉන්ටඩික් පොලිස්පතිවරයා සැඟවී සිටින්නේ ජනපතිවරයා දැනුවත්ව බවට චෝදනා කරන අයවළුන්ද නැත්තේ නොවේ. එම සැකය දුර කළ හැක්කේ දේශබන්දු අත්අඩංගුවට ගෙන වමර්ශනය ටිරන් අලස් දක්වාද දිගු කිරීම මගිනි.
මේ වන තුරු ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනිමට නොහැකිව සිටින පොලීසිය වරෙන්තු ලද සාමාන්‍ය පුරවැසියෙකු විෂයෙහි දක්වන රාජකාරිමය බලහත්කාරය පිළිබඳව බොහෝ අවස්ථා වලදී මාධ්‍ය වලින් වාර්තා කර තිබේ.
එහිදී විධිමත් පරිපාටියකින් තොරව නීතිය අතික්‍රමනය වන ආකාරයට එවැනි සැකකරුවන් පොලීසිය කුදලා ගෙන යන්නේ පට්ට මෙහෙයුමක් කළ ආකාරයටය. අදාල වරෙන්තුකාර සැකකරු අත් අඩංගුවට ගත නොහැකි වූ අවස්ථා වලදී එම සැකකරුගේ අඹු දරුවන් පවා හිංසනයට ගොදුරු කර ගත් අවස්ථාවන්ද කෙළවරක් නැත. හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක රිය අනතුරකට සම්බන්ධ බවට වූ පැමිණිල්ලකට ඔහුගේ රියදුරාගේ බිරිඳ කිරිකැටි ළදරුවා හා මව ඉමදූවේ සිට කොළඹ අපරාධ කොට්ඨාශය රැගෙන විත් ප්‍රශ්ණ කර තිබුණේ බලහත්කාරීවය.
ඒ බව අනාවරණය වූයේ වින්දිත පාර්ශවයන් සිය මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේදීය. එම පෙත්සමේ වග උත්තරකරුවන් වූයේද කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ඇතුළු පොලිස් පරීක්ෂක වරයෙකි.
මෙම පෙත්සම් විභාගයෙන් අනතුරුව පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව නෙවිල් සිල්වාට හා අනෙක් පොලිස් නිළධාරියාට පෙත්සම්කාරිය හට වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුණ අතර මොවුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරන ලදී. එසේම මේ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයක් ගන්නා බවටද එම තීන්දුවේ සදහන් කර තිබේ.කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මෙම පෙත්සම් විභාගයේදී අධිකරණයේදී සඳහන් කරන ලද සාක්ෂියක් ගැන සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සදහන් කර තිබුණේ මෙවැනි නිළධාරියකු රාජ්‍ය සේවයට පවා නුසුදුසු බවය.මේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ 2024 මැයි 31 වෙනිදාය.
කොළඹ අපරාධ කොට්ඨාශය දිගින් දිගටම කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ ක්‍රියා වල නිරත වූ රාජ්‍ය අපරාධකරුවන් ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස සැළකිය හැකිය.පසුගියදා එහි අධ්‍යක්ෂ වරයා වූ නෙවිල් සිල්වා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණේ මැණික් ව්‍යාපාරිකයකුගේ දේපොල වංචා කිරීමේ චෝදනාවකටය. W 15 හෝටලයට වෙඩි තැබීමට යන්නේද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්ය.මෙම අපරාද කොට්ඨාශය වෙතින් සිදු කරන ලද අනීතික රාජකාරි පිළිබඳව බොහෝ පැමිණිලිද තිබේ.
කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ පෙත්සම නිශ්ප්‍රභා කිරීමත් සමගම පොලීසියට නැවත හොරා පොලිස් සෙල්ලම කිරීමට අවස්ථාව එළඹී තිබේ.පොලීසියට මුහුණ පාන්නට සිදුවී ඇත්තේ උණු නිසා බොන්නත් බැරි කැඳ නිසා අහක දාන්නත් බැරි කරුමයකටය.
මෙහිදී මෙරට පොලීසියේ කෙරුවාව ගැන කියවෙන හෑල්ලක් මතකයට ඒ.
ලෝකය පුරා විවිධ රටවල පොලීසි යම් රටකට කැඳවා ඒ පොලීසිවල දක්ෂතාව විමසා බැලීමේ තරගයක් පවත්වන ලදී.
ලේකයේ බොහෝ රටවල් නියෝජනය කරමින් පොලීසි මේ තරගයට සහභාගි වූ අතර ලංකාවේ පොලීසියද ඒ අතරේ විය.
කැලෑවකට හාවෙක් නිදහස් කර ටික වේලාවක් ඇතුළත ඒ හාවා අල්ලාගෙන ඒම එම තරග අභියෝගයයි. පළමුවෙන් කැලෑවට ගිය එංගලන්ත පොලිස් කණ්ඩායම ගස් වැල් හා පරිසරය විමර්ෂනය කර ප්‍රකාශ කෙරුවේ හාවා සොයා ගැනීමට නොහැකි ආකාරයෙන් අතුරුදන් වී ඇති බවය. ඇමරිකානු පොලීසිය කැලෑවට වැදී හතර අතේ වෙඩි තබා බෝම්බ ප්‍රහාර එල්ල කර ආපසු පැමිණ සදහන් කෙරුවේ මින් ඉදිරියට හාවා සෙවීම වැඩක් නැති බවය. තුන්වන අවස්ථාව හිමි වූයේ අපේ පොලීසියටය.
ටික වේලාවකින් අපේ පොලීසිය කැලෑවෙන් එළියට ආවේ තඩි වළහෙක් අල්ලා ගෙන ඌට තඩි පොලු පහරවල් එල්ල කරමිනි.පොලු පහරවල් වලින්ද තුවක්කු මිටි වලින්ද හොඳ හැටි ගුටි කෑ වලහා එළියට එන විට වේදනාවෙන් මොර දුන්නේ මෙසේ කියමිනි.
“අනේ තව ගහන්ඩ එපා බුදු රාළහාමි.හරි හරි මං කියන්නම් මං තමයි හාවා මං තමයි හාවා”
සැබැවින්ම පොලීසියේ කෙරුවාව ගැන සාමාන්‍ය මහජනතාව සිතන හැටි මේ හෑල්ලෙන් අපූරුවට අනාවරණය කෙරේ.
කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් සැබෑ සැකකරුවන් සොයා ගන්නට නොහැකි වූ විට හුස්ම ගන්නා කවර හෝ මිනිසෙකු පටලවා අධිකරණයට ඉදිරිපත් කිරීම පොලීසියේ සම්ප්‍රදාය වන තරමට පොලිස් රාජකාරියට පත්තියන් වී තිබෙන බවද රහසක් නොවේ.
තමන් ගේ ලොක්කා වූ ඉන්ටඩික් පොලිස්පති වරයා සම්බන්ධයෙන් එසේ කිරීමට පොලීසියට නොහැකි වී තිබේ.වෙනත් වරෙන්තු කරුවෙකු ගේ නම් අඹු දරුවන් හෝ වැලිකඩට දක්කා සිය හපන්කම අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට අවස්ථාව තිබුණි. එහෙත් පොලීසිය මුහුණ දී ඇති මේ අපහසුතාව ගැන අපට සඳහන් කරන්නට ඇත්තේ “මාර වැඩේ වුනේ” කියා පමණය.
(ලොකු කුමා )