Thursday, March 6, 2025

පොලිසියේ කීං කෝන්:  නඩුම 76ක් සහිත අනීතික වාර්තා වලින් කප් ගැසූ කෝ මේ දේශබන්දු?

By LKB.

(Sri Lanka Brief/05.03.2025)

වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා

හැංගුනිදෝ

ඔන්න මං අල්ලන්නට

පුංචි පුතා හැංගිනිදෝ

මං එනවා දැන් ඔට්ටුයිදෝ

තාරෝරා තාරෝරා 

මේ සිංදුවේ පද රචකයා කේ.ඩීකේ.ධර්මවර්ධනයන්ය. ගායනා කරන්නේ ගායික ශ්‍රීමතී තිලකරත්නය.

ගී තනු නිර්මාණය මහින්ද තිලකරත්න ගේය. මේ ගීතය සිහිපත් වූයේ මේ වන විට මෙරට රඟ දැක්වෙන පොලිස් කෝලම නිසාය. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් අතුරුදන්ය. ඔහු අත් අඩංගුවට ගැනීමට පොලීසිය සැක සහිත ස්ථාන 20 කට ආසන්න සංඛ්‍යාවක් වටලන ලද බවද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. පොලීසියේ මේ වැටලිල්ල හරියට පුංචි දරු⁣වෙකු හා වැඩිහිටියකු කරන කීකෝං සෙල්ලම මෙන්ය. එම හුරතලයයි . පුංචි එකා සැඟවී තියෙන තැන වැඩිහි⁣ටියා දනී.⁣ හොඳටම දකින්නත් තිබේ. එහෙත් පුංචි එකාගේ විනෝදය කඩා බිඳ දමන්නට වැඩිහිටියා කැමති නැත. කෝ කෝ මේ මැණික යැයි පවසමින් වැඩිහිටියා ඒ මේ අත යයි. වැඩිහිටියා ගේ මේ ව්‍යාජ රඟපෑම පුංචි එකාට දනවන්නේ ඉහ වහා ගිය සතුටකි.ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන සින්දුවේ අන්තර්ගතයේ ඇත්තේද ඒ කීකෝං ක්‍රීඩාවේ සොඳුරු සුරතලයයි.

දේශබන්දු සමග කෙළින කීං කෝන්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින තැන පොලීසිය නොදන්නේ නම් මෙරට ජාතික ආරක්ෂාව ඇත්තේ බරපතල අනතුරකය. ආණ්ඩුවට සේවය කරන හැට හුටාමාරක් ⁣ඔත්තු සේවාවන් තිබේ.

මේ සැඟවී සිටින්නේ පාතාලයකු නොවේ.

ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනර⁣ජයේ හිටපු පොලිස්පතිවරයාය.

ඒ නිසාම මේ හැංගි මුත්තම් සෙල්ලම ගැන සිතෙන්නේ රාජ්‍ය ඔත්තු සේවා නිදි වැද සිටියාද එසේත් නැතිනම් ජාජබ ආණ්ඩුව හෝ දේශබන්දු  ජනතාව⁣ට මෙන්න කොකා පෙන්වමින් ඉන්නවාද යන ප්‍රශ්ණයි.එහෙත් පොලීසිය මේ කරන්නේ ජනතාව ගොනාට ඇන්දීමක් බව නම් රටේ ජනතාව දනී.

කෙසේ වෙතත් අප මේ ප්‍රවෘත්තිය පල කරන යාමයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අළුත්කඩේ අභියාචනාධිකරණයෙන් හෝ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රාදූර්භූත වීමට ඉඩ හැකියාව වැඩිය.බොහෝ දෙනා පවසන්නේ මොහු සැඟවී සිටින්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ නිවසක බවය.

බංකරයක සැඟ වී දෝ?

එය වෙන්නත් බැරි නැත. මේ දෙන්නා සිටියේ පුකට අමුඩය වගේය.එසේම ජාජබ ආණ්ඩුවෙන් ටිරාන් අලස් හට දඬුවම් මුක්තිය හිමි වී ඇතැයි සැකයක් සමාජයේ පවතී.ඒ නිසාම හිටපු පොලිස් පති වරයාට ටිරාන් අලස්ගේ නිවස හොඳ බංකරයකි.

ටිරාන් අලස් හා ජවිපෙ අතර අඹ යාළු මිත්‍ර සබඳතාවක් ගොඩ නැගෙන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට එරෙහිව මේජර් ජනරාල් සරත් ෆොන්සේකා ජනපතිවරණය⁣ට තරග කළ සමයේදීය. ඒ දිනවල ටිරාන් අලස් සමග අනුර සහෝදරයා හා විජිත හේරත් සහෝදරයා බඩ බැඳගෙන ආශ්‍රය කළ බව රාජගිරියේ පිහිටා තිබූ  මංඟල සමරසිංහ ගේ ජනපතිවරණ ප්‍රචාරක කාර්යාලයේ සේවය කළ බොහෝ දෙනෙකු දනී.

මාධ්‍යවේදී නන්දන වීරරත්න, වසන්ත කුලතුංග, අතුරුදන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ සී.ජේ.අමරතුංග ආදීන් එහි ඒ දිනවල සේවයේ නිරත වූ අයවළුන් වේ. මෙහි සේවය කරන ලද ප්‍රවීන මාධ්‍යවේදියකු ලියුම්කරු සමග පවසා ඇත්තේ තමන් සෑම සන්ධ්‍යාවකම රාත්‍රී නවය වන තුරු ටිරාන් අලස් සමග සුළුවෙන් මත් පැන් ගනිමින් සතුටු සාමීචියේ යෙදමින් සිටි බවය.තමන් නිවසට යන්නට ටිරාන් ගේ නිවසින් එළියට බසින රාත්‍රියේ අනුර  විජිත ජෝඩුව ඒ නිවසට ගොඩ වදිනු දැකීම අනිවාර්ය හා සුළභ දර්ශනයක් වූ බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් හිටපු අමාත්‍ය ටිරාන් අලස් හා ජනපති අනුර සහෝදරයා අතර පවතින අඹ යාළු කම අපට ප්‍රශ්ණයක්ද නොවේ. එහෙත් ටිරාන් අලස්ට එරෙහිව මේ වන විට සමාජය තුළින් එල්ලවන චෝදනා වලට ජනපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව නෑසූ කන්ව සිටී නම් එය සුළුවෙන් තැකිය නොහැකි බරපතල ප්‍රශ්ණයකි. එය එසේ වන්නේ නම් ජාජබ ආණ්ඩුව කිසිම හිරිකිතයක් නැතුව ඒ පාවා දෙමින් සිටින්නේ මෙරට ජනතාව තැබූ ආදරණීය විශ්වාසය බව සිතිය හැක. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නේද නැද්ද යන කාරණය හා ටිරාන් අලස්ගේ නමද ගෑවී තිබෙන බව ජාජබ ආණ්ඩුව සිහිපත් කර ගත යුතු වන්නේ ඒ නිසාය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ⁣පොලිස් දෙපාර්මේන්තුව තුළ මේ වන විට තබා ඇති වාර්තා සුවිශේෂීය.

ප්‍රථම පොලිස්පතිවරයා වූ හර්බට් ලෙයාඩ් ඩවුබගින් සිට

1913 නොවැම්බර් මස මෙරට ප්‍රථම පොලිස්පතිවරයා වූ හර්බට් ලෙයාඩ් ඩවුබගින් සිට වර්තමානයේ වැඩ බලන පොලිස්පති ධුරයේ සිටින ප්‍රියන්ත වීරසූරිය දක්වා වූ කිසිවෙකුත් දේශබන්දු තෙන්නකෝන් තබා ඇති වාර්තා හා සමාන වාර්තා තබා නැත.

දේශබන්දු පස්ට්

⁣පොලිස් නිලධාරියකු සතු යුතුකම් ගැන සඳහන් වී ඇත්තේ පොලිස් ආඥා පනතේ 56 වන වගන්තියේය. එම වගන්තිවල සදහන් සියළු යුතුකම් දේශබන්දු තෙන්නකෝන් මේ වන විට කඩ කර තිබේ.⁣ 1986 පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරන ලද ඇස්තමේන්තුවේ 43 වන ශීර්ෂය යටතේ පල කර ඇති පොලීසියේ කාර්යභාරය තුළ සඳහන් කර ඇති අපරාධ සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සහ ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට නීතිය කඩ කරන්නන් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය යන කොන්දේසියද දේශබන්දු තෙන්නකෝන් කඩ කරමින් සිටී.

නඩුම  76ක්

දේශබන්දු තෙන්නකෝන් හ⁣ට වර්තමානය වන විට මෙරට අධිකරණ වල පැවරී ඇති නඩු සංඛ්‍යාව 76කි.

අභියාචනාධිකරණයේ නඩු  15, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 54 , දිසා අධිකරණයේ නඩු 06, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 01 කි.

මේ නඩු සංඛ්‍යාව විපරම් කරන විට ඔහු⁣ට එරෙහිව පවතින නඩු බොහොමයක් මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි.

මානව හිමිකම් කඩා පොලිස්පතිවීම

දේශබන්දු තෙන්නකෝන් පොලිස් පති වරයා ලෙස පත් වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු කථානායක  විසින් සිදු කළ අත්තනෝමතික වංගු ගැසීමකිනි. ඒ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික අවශ්‍යතාවටය. මානව හිමිකම් නඩුවකින් වැරදිකරුවකු බව⁣ට පත් වී සිටියදී පොලිස්පති ධුරයට පත් කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ වාර්තාව එහිදී දේශබන්දු හිමි කර ගනී.

ත්‍රස්ත කණ්ඩායමකට දුන් සප් එක

එසේම ත්‍රස්තවාදී කණ්ඩායමකට මෙරට බෝම්බ ප්‍රවාහනය සදහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලද තැනැත්තකු ලෙස ⁣මොහු පොලිස්පති ධුරයට පත් වීමද වාර්තාවකි. ආධුනික පොලිස් කොස්තාපල් වරයකු සේවයට බඳවා ගැනීමේදී හතර වරිගය ගැනම පසුබිම් වාර්තා ⁣විමර්ෂනය කරන පොලිස් දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදී වරදකට චෝදනා ලද තැනැත්තකු මෙලෙස පොලිස්පති ධුරයට පත් කර ගැනීම කිසි දිනක නොබිඳිය හැකි වාර්තාවක් වන්නේය.

මහ මඟදී සාමන්‍ය වැසියකුගෙන් හෙල්මට් පහරක් කා පොලිස්පති වූ ප්‍රථමයා ද ඔහුය.

සියල්ලටමත් වඩා තමන් නායකත්වය දුන් පොලිසියෙන් දින ගණනාවක් සැගවී සිටින ප්‍රථම පොලිස්පති ද ඔහුය.

ආණ්ඩු බලය හිමි  දේශපාලඥයන් හා එක්ව සාමකාමී ජනතාවගේ ජීවිත අනතුරට හා අවදානමට නතු කරමින් සංවිධානගත  කුමන්ත්‍රණකාරී ප්‍රහාරයක් මෙහෙයවීමට ආධාර උපකාර හා අනුබල දුන් පුද්ගලයකු ලෙස මෙරට පොලිස්පති පුටුවේ දේශබන්දු වාඩි වීමද තවත් වාර්තාවකි. මේ සියළු වාර්තාවන්ට වඩා වැදගත් වන්නේ මෙරට සමාජය තුළ දැඩි හාස්‍යයට ලක් වූ ප්‍රථම පොලිස්පතිවරයා වීමේ ගෞරවයද ඔහුට හිමි වීමය.

පොලිස් නිලධාරියෙකුගේ යුතුකම්

සෑම පොලිස් නිලධාරියෙකුම තමා නිතර රාජකාරියේ යෙදී ඇති බවද එමෙන්ම ඔහු සතු බලතල ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට හැකි බැව්ද දත යුතුය.

කිසියම් අපරාධ නීති විරෝධී ක්‍රියා හා මහජන සාමය කඩ වීමට තුඩු දිය හැකි ක්‍රියාවන් වැළැක්වීමට ඔහුගේ මුළු ශක්තිය හා බලය යෙදවීමද

සාමය ආරක්ෂා කිරීමද ප්‍රසිද්ධියේ කෝළාහල කරන්නන් සහ සැක කටයුතු තැනැත්තන් අත් අඩංගුවට ගැනීමද අපරාධ කරුවන් පිළිබඳව විමසිලිමත්ව සිට නීතිය කඩ කරන කල්හි ඔවුන් අධිකරණය වෙත පැමිණවීමද

මහජන සාමය පිළිබඳ තොරතුරු සොයා දැන  ඒවා දැනුම් දීම හා ;

නීති ප්‍රකාර බලය ඇත්තාවූ කොයියම් නිළධාරියකු විසින් තම නමින් නිකුත් කරන ලද සියළුම නිත්‍යනුකූල ආඥා සහ ⁣වරෙන්තු ක්‍රියාත්මක කිරීම ඔහුගේ යුතුකම වේ

(පොලිස් ආඥා පනතේ 56 වගන්තිය)

දැන් රනිල් රාජපක්ෂගේ සහ ටිරන් අලස්ගේ පොලිස්පති මේ සියලු නීති කුණ කූඩයට දමා තිබේ.

(LKB news)

 

Archive

Latest news

Related news