Tuesday, March 4, 2025

ඩී.අයි.ජී. රන්මල් කොඩිතුවක්කු ගැන අධිකරණ නියෝග නීතිපති සහ පොලිස් කොමිසම යට ගහලා!

ලොකු කුමා විසිනි.

(Sri Lanka Brief/04.03.2025) ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව 2024 අගෝස්තු මාසයේදීි නිකුත් කරන ලද අධිකරණ නියෝග නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිස් කොමිසම ක්‍රියාත්මක කර නැති බව අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අනාවරණය විය.ඒ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන අබේසේකර සහ සම්පත් අබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට ගන්නා ලද අවස්ථාවේදීය.

එහිදී අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියගෙන් විමසූ අතර අදාල නියෝග මැයි මස 08 වෙනිදාට පෙර ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කෙරිණි.

ඉතිහාසය 

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු පොලිස් සේවාවට එක් වන්නේ ඔහුගේ පියා වූ ලක්ෂමන් කොඩිතුවක්කු මෙරට පොලිස් පති වරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.

සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට එක් වූ මොහුට එම අධිකාරිමය තනතුරට බඳවා ගැනීම සඳහා වූ මූලික සුදුසුකම් නැති බවට ඒ දිනවල රාවය පුවත්පත මගින් හෙළිදරව් කෙරිණි.

සහකාර පොලිස් අධිකාරී වරයකු බඳවා ගැනීම සඳහා උපාධිධරයකු විය යුතු සුදුසුකම රන්මල් කොඩිතුවක්කු සපුරා ගෙන ඇත්තේ ඉන්දියාවේ ලබා ගත් පිහිණුම් උපාධි සහතිකයකින් බව රාවය පුවත්පතේ වැඩිදුරටත් පල කෙරිණි.මේ කාලයේදී මෙරට ජනපතිවරිය වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංඟයි.රාවය පත්‍රය මගින් එම තොරතුරු අනාවරණය කිරීමත් සමගම පොලීසියේ ලොක්කන් එය යටපත් කිරීම සදහා තවත් තුරුම්බුවක් පිටියට දැම්මේය.

කුරුණෑගල නළුවා

ඒ පෑලියගොඩ පොලීසියේ සේවය කළ උපාධිධාරී පොලිස් කොස්තාපල් වරයකුද ⁣සහකාර පොලිස් අධිකාරී සේවාවට බඳවා ගනිමිනි. එසේ බඳවා ගත් ඔහු මේ වන විට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කරමින් සිටී. පාස්කු ප්‍රහාරයට පෙර මෙරට සමාජය ජාතිවාදී මානසිකත්වයකට හැඩගැස්වීමට මූලික වූ කුරුණෑගල වඳ මව්වරුන්ගේ ජවනිකාවේ ප්‍රධාන නළුවෙක් වූයේ මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය.ඔහුගේ බිරිඳ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියකද වූවාය.

කෙසේවෙතත් පොලිස් සේවාවට එක් වූ රන්මල් කොඩිතුවක්කු ගේ රාජකාරිමය භාවිතය බල්ලා සරි විය.වෘත්තිමය අධිකාරිමය බලය ඉක්මවා ප්‍රචණ්ඩත්වය ඔහුගේ රාජකාරිමය ස්වභාවය තුළ කැපී පෙනෙන ලක්ෂණයක් විය.එහිදී තමන්ගේ පියා මෙරට පොලිස්පතිවරයා වීමේ  උඩඟු මානසිකත්වයෙන් මොහු හැසිරුණ බවට සිතා ගත හැකිය.

2000 වසරේ ජුනි 19 දින නිමල් සිල්වා ගුණරත්න නැමති අය අත් අඩංගුවට ගෙන එම තැනැත්තා පානදුර පොලිස් ස්ථානයට ගෙන ගොස් කෲර වද හිංසා පැමිණ වූ බවට සහකාර පොලිස් අධිකාරී රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිළධාරීන් පිරිසකට ⁣චෝදනා එල්ල විය.එසේ අගතියට පත් වූ තැනැත්තා කෘර වද හිංසාවට ගොදුරු වීමෙන් ඔහුගේ එක ඇසක පෙනීම පවා සම්පූර්ණයෙන්ම නැති වූ බවට රාවය පුවත් පත වාර්තා කර තිබුණි.ඒ වන විට මොහුගේ පියා මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

 නිමල් සිල්වා ගුණරත්න තමාට සිදු වූ බරපතල හිංසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික ⁣අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුවේය.එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමෙන් පසුව 2005 වර්ෂයේදී නිමල් සිල්වා ගුණරත්නගේ නිවසට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල වී තිබුණි.එම ⁣මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලැබුණේ 2006 වසරේදීය.ඉන් ප්‍රකාශ වූයේ වග උත්තරකාර රන්මල් කොඩිතුවක්කු හැර අනෙක් පොලිස් නිළධාරීන් තිදෙනාගෙන් නිමල් ගුණරත්නගේ මූලික අයිතිවාසිකම්  කඩ කර ඇති බවට විනිශ්චය කරමිනි.එහෙත් එකල ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක පවා රන්මල් කොඩිතුවක්කු එම සිද්ධියට සම්බන්ධ බවට සඳහන් කර තිබු⁣ණේය.

මිගාර රණසිංහ සිදුවීම

2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී මිගාර රණසිංහ නම් තරුණයකු තම මෝටර් රථයෙන් රත්නපුර  සිට පානදුර දක්වා ගමන් කරමින් සිටියදී කිරිඇල්ල ප්‍රදේශයේදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් පහරදී ඔහු කිරිඇල්ල පොලීසිය වෙත රැගෙන ගොස් තිබූණි.මේ සිද්ධිය මෙරට සමාජ මාධ්‍ය වල පැතිරුණ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය.මේ වන විටත් එම සිදුවීම යූ ටියුබයේ යාවත්කාලීන වෙමින් සංසරණය වේ.අදාල සිද්ධියට මුල් වන්නේ මිගාර රණසිංහ ගේ රිය ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්⁣ කොඩිතුවක්කු ගමන් ගත් රියට බාධා පැමිණ වූයේ යැයි චෝදනා කරමිනි. ඒ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිටින බව යූ ටියුබ ප්‍රකාශනයෙන් අනාවරණය⁣ වේ. කිරිඇල්ල⁣ පොලිස් ස්ථානයට රැගෙන ගිය මිගාර රණසිංහ නම් තැනැත්තා⁣ට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අමානුෂික ලෙස පහර දෙමින් ලිංගික අඩන්තේට්ටම් කර තිබේ.අනතුරුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිරිඇල්ල  පොලිස් ස්ථානයෙන් පිටවී පසුව මිගාර රණසිංහගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයකු පැමිණ ඔහු පොලිස් අත් අඩංගුවෙන් මුදා ගෙන ඇත.මිගාර රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමාගම 2021 වර්ෂයේදී ජනපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ හට මේ සිදුවීම ලිඛිතව පැමිණිලි කර තිබේ. සිද්ධියෙන් පසුව රන්මල් කොඩිතුවක්කු සබරගමුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ සිට පොලිස් වෛද්‍ය හා සුබසාධන කොට්ඨාශය වෙත ස්ථාන මාරු කර යවන ලදී.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව මිගාර රණසිංහ විසින් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කෙරිණි. එම පෙත්සම පසුගිය වසරේ අගොස්තු 08 කැඳවා තිබූ අතර එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම සහ පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයට අදාල සිද්ධිය ගැන විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙසට ⁣නියෝග කරන ලද බව සඳහන්ය.

පරණ නාටකය යළිත්

එහෙත් පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය එම අවස්ථාවේ ගරු අධිකරණය වෙත ප්‍රකාශ කර ඇත්තේ එවැනි සිද්ධියක් සිදු වී නැති බව පරීක්ෂණ වලදී අනාවරණය වී නැති බවය. තවදුරටත් එහිදී වාර්තා වූයේ අගතියට පත් වූ මිගාර රණසිංහ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මුල්ලේරියාව රෝහලෙහි ඇඳ හිස්පත් පවා අස්ථාන ගත වී ඇති බවය.එහෙත් මිගාර රණසිංහට පහර දීමෙන් ශරීරයේ තුවාල 13 ක් සිදුවී තිබුණ බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. මේ සිදුවීමේදී පහර දීමක් සිදු වී නැති බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කෙරුවද එම පහරදීමට අදාල වීඩියෝ සාක්ෂි දෙකක් අගතියට පත්  පාර්ශවය සතුව පවතී.

මෙහිදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මිගාර රණසිංහ වෛද්‍ය ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයාගෙන් පවා ප්‍රකාශ සටහන් කර ගෙන නොමැති බව හෙළි විය.

පොලීසිය විසින් බොහෝ අවස්ථාවලදී සාක්ෂි විකෘති කිරීම හා අතුරුදන් කිරීම ගැන සඳහන් කෙරුණ වැදගත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මෙහිදී සිහිපත් කිරීම වටී.කුලසිරි කුමාර කල්දේරා එදිරිව සීදුව පොලීසියේ පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ හා තවත් අය වග උත්තරකරුවන් වූ S.C.F.R.343/99 නඩුවේ තීන්දුව ලබා දුන් එදිරිසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මෙසේ සඳහන් කර තිබේ.

“…මා තව දුරටත් එකතු කළ යුත්තේ අපරාධ පරීක්ෂණ ලේඛන හා විමර්ශන සටහන් යනාදිය දඬුවම් ලැබීමේ භීතියකින් තොරව හා නීතියට කිසියම් ආකාරයක සැළකීමකින් තොරව වෙනස් කර ඇති ආකාරය යමෙක් තුළ සැකයක් ඇති කරන්නේ අධීක්ෂණයේ යෙදෙන සහකාර පොලිස් අධිකාරීන් හා පොලිස් අධිකාරීන් ඔවුන්ගේ යුතුකම් පැහැර හැර ඇද්ද හෝ එසේ නැති නම් මෙම  ක්‍රියාවලට අනුබල දක්වනවාද යන්නය.

මා දැනට දින ගණනකට පෙර ප්‍රකාශය⁣ට පත් කළ නඩු තීන්දුවකදී මා දුටුවේ අපරාධ පරීක්ෂණ ලේඛන වෙනස් කර තිබූ බවය.මේ අනුව පෙනී යන්නේ පොලිස් බලකාය වැරදි කරන නිළධාරීන්ගෙන් පිරී පවතින බවය.

ප්‍රශ්ණය වන්නේ පස්වන වග උත්තරකරු වන පොලිස්පතිවරයා මේ ගැන කරන්නේ කුමක්ද යන්නය.⁣මගේ අදහසට අනුව පොලීසිය විසින් වාර්තා කර ඇති ප්‍රකාශයක් හෝ සටහන් වල සහතික කොපියක් එහි මුල් ලේඛනය සමග නොසසඳා අධිකරණයක් විසින් නොපිළිගත ගත යුතු බවය.මේ රටේ සාමාන්‍ය වැසියන් ආරක්ෂා කළ යුතු වන පොලීසිය නීතිය කඩ කරන්නන් බවට පත් වී තිබීම විලාප නැගිය යුතු කරුණකි.අපට ඇසීමට සිඳුව ඇත්තේ මුර පල්ලන් මුර කරන්නේ කවුරුන්ද කියාය…”

මිගාර රණසිංහට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් කට උත්තරයක් ගැනීමට පවා පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය  අවධානය යොමු නොකිරීම මේ තීන්දුවට අපූරුවට ගලපා ගත හැකිය.

කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ මිගාර රණසිංහ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය⁣ට ගත් අවස්ථාවේ අනාවරණය වූ තවත් විශේෂ කාරණයක් වූයේ එම පෙත්සම සඳහා විරෝධතා ගොනු කිරීමට දී තිබූ සති 06 ක කාලය තුළදී වග උත්තරකරුවන් විරෝධතා ගොනු කර ⁣නොතිබුණ බවය.

ජාජබ ආණ්ඩුව පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ වෙනස්කම් කරන ලද බවට මේ වර්ෂයේ පෙබරවාරි 11 වන දින කළ නිවේදනයකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය යනුවෙන් ආයතනයක් ආරම්භ කරන ලදී.

එය පවතින්නේ අපරාධ හා රථවාහන දිසාව භාර මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අධීක්ෂණයට යටත්වය. එම කාර්යංශය බාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වන අතර ඔහු යටතේ එහි අධ්‍යක්ෂවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේ.

මේ පත් කිරීම කාගේ හෝ ෆේස් බුක් සටහනක ලියා තිබුණේ සංවිධානගත අපරාධ කරුවකු වන මදූෂ් හා නාමල් රාජපක්ෂ සමග මල්වතු පාර්ශවයේ නායක හිමියන් සාමාජිකයන් කර ලංකාවේ සිදුවුන අපරාධ පිළිබඳව සෙවීමට කොමිටියක් පත් කර ඇති බවට සමාන කරමිනි.

ජෙප්පන් ටයර් උඩ යැවීම

ජනපතිවරණයට පෙර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මේ ලියුම්කරුගේ මිත්‍රයකුට දුරකථනයෙන් අමතා ජනතා විමුක්ති පෙරමුණට පස් පඩංගුවේ බැණ වදිමින් පවසා තිබුණේ ජෙප්පන් ටයර් උඩ දමා මරා දමන තුරු රටට සෙතක් නැති බවය.ටයර් උඩ දමන්නට වහසි බස් දෙඩූ පොලිස් කාරයා මේ රටේ නොවිසඳුන  අපරාධ සොයන්නට පත් කිරීමේ කමිටුවේ ලොක්කා කිරීමත් මරේ මරු වැඩකි.

Archive

Latest news

Related news