Saturday, March 1, 2025

වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සාක්කි මෙන්න: දේශබන්දු බිල්ලට; අපරාධය සාධාරණ කළ හිටපු ඇමති ටිරාන් අලස් ගොඩ! – ලොකු කුමා

( Sri Lanka Brief/28 February 2025) මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට 2023 දෙසැම්බර් 31 වන දින වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (28) දින මාතර මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් 05 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස⁣ට නියෝග කරන ලදී.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ ⁣මෙම වෙඩි තැබීම හා ඉන් අනතුරුව එහි පැමිණි වැලිගම පොලිස් හමුදා ඒකාබද්ධ මුර සංචාරක රථයෙන් සිදු කළ වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ සැරයන් වරයකු මිය ගොස් උප පොලිස් පරීක්ෂකයකු බරපතල තුවාල ලැබීමත් ඒ දිනවල සමාජයේ මහත් ආන්දෝලනයකට සිද්ධියක් විය.

හෝටල් හිමිකරුට එවූ පාර්සලය

මෙම හෝටලයේ ප්‍රධාන හිමිකරු වූයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ දේශපාලනඥයකු වන ඒ. ජේ.එම්.  මුසාමිල් ගේ පුතකු වන එම්.එච්. ජමාල්ඩීන්ය.

මුසාමිල් රනිල් රාජපක්ෂ කාලයෙහි ඌව පලාත් ආණ්ඩුකාරවරයා වූ අතර පසුව ඉල්ලා අස්වී සජබට සහය දැක්වීය.

මෙම සිදුවීමට ටික දිනකට පෙර  හෝටලයේ හිමිකරුට පාර්සලයක් කොළඹ මහ තැපැල් කන්තෝරුවට පාර්සලයත් පැමිණ ඇති බව දන්වා තිබේ. නමුත් ඒ ගැන සැක සිතූ සහ එවැනි පාර්සලයක් එවූ බවට කිසිවකු දන්වා නොතිබූ බැවින් එම පාර්සලය ගැනීමට හිමිකරු ගොස් නැත. එම පාර්සලය හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට මැනූ මත්කුඩු සහිත පාර්සලයක් විය හැකි බව දැන් අනුමාන කෙරේ.

නිහාල් තල්දූව, අපරාධය වැසීමට දුන් තල්ලුව

⁣W 15 හෝටලය⁣ට ⁣කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් වෙඩි තැබීම සාධාරණය කිරීමට එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ සහ වර්තමාන ආණ්ඩුව විසින් අපරාධ විමර්ශන ප්‍රධානියකු ලෙස පත් කර ඇති ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව බලවත් වෙහෙසක් ගත්තේය.

ඒ වන විට මහජන ආරක්ෂක අමාත්‍යවරයා වූ ටිරාන් අලස් විසින් W 15 හෝටලය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයකට එරෙහිව එම හෝටල් කළමණාකාරිත්වය ලිඛිතව අප්‍රසාදය පල කරන ලද බව අපට නැවතත් සිහිපත් කරන්නට සිදු වී තිබේ.

ටිරන් අලස් ගේ ගජ බින්න

2024 ජනවාරි 18 වන දින නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් හා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව යුක්තියේ මෙහෙයුම සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ W 15 හෝටල් පරිශ්‍රයේදී සිදු කළ වැටලීමකදී මත් ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගත් බවය. එහිදී වැඩිදුරටත් ටිරාන් අලස් ඇමතිවරයා විසින් තමන් හමුවට පැමිණි W 15 හෝටලයේ හිමි කරු  සිය හෝටලයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමෙන් වලකින ලෙසට ඉල්ලා සිටි බවත් පැවසූ බව ද ප්‍රකාශ විය.

අලස්ට ලියූ කණ පැලෙන ලිපිය

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව W15 හෝටල් සමාගම වන Lanka Realty Investments PLC වෙතින් ඒ දිනවල මහජන ආරක්ෂක්‍ ඇමතිවරයාට 2024 පෙබරවාරි 01 දිනැතිව යොමු කරන ලද ලිපියක සඳහන් කර තිබුණේ යුක්තියේ මෙහෙයුම පිළිබඳව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී W 15 හෝටලය ආශ්‍රිතව ඇති වු සිද්ධියක් ගැන ඔහු  අසත්‍ය මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශ කිහිපයක් කර තිබෙන බවය. මෙම ප්‍රවෘත්ති සාකචඡාවේදී අමාත්‍යවරයා විසින් W 15 හෝටල් පරිශ්‍රයේදී මත් ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට කළ සඳහන අසත්‍ය ප්‍රකාශයක් බවද එම ලිපියේ සඳහන් කර තිබුණි.

හරක් කටා නම් මත් ද්‍රව්‍ය ජාවාරම්කරු සමග තම හෝටලය සමග සම්බන්ධකම් පවතින බවටද වැඩිදුරටත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රකාශ කර ඇතත් එම සඳහන පවා අසත්‍ය බවද වැලිගම වෙරළ පොදු ස්ථානයක් බැවින් එහි සිඳුවන සිඳුවීම් තම හෝටලයේ පාලනයෙන් තොර බවද එම ලිපියේ දක්වා තිබුණි.

එමෙන්ම Lanka Realty Investments PLC හි කළමණාකාර අධ්‍යක්ෂවරයා හා ටිරාන් අලස් ඇමතිවරයා අතර ඇතිවූ හමුවකදී මෙම හෝටලය බේරා දෙන්න යැයි අමාත්‍යවරයාගෙන්  ඉල්ලීමක් කරන ලදැයි ටිරාන් අලස් කළ ප්‍රකාශයද අසත්‍ය බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ඇති එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ වරයා සඳහන් කර ඇත්තේ තමන් ටිරාන් අලස් හමු වූයේ පොලිස් නිලධාරියකුට පවා මිය යාමට සිදුවූ වැලිගම වෙඩි තැබීමේදී දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකර අපරාධ විමර්ශන කොට්ඨාශය එසේ කරන ලද්දේ ඇයිද යන්න පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් බවය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් තමන් සතු බලතල භාවිතා කරමින් මෙලෙස අසත්‍ය හා තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කණගාටුවට කරුණක් බවත් ඉදිරියේදී එවැනි ප්‍රකාශයන් සිදු කිරිමෙන් වලකින ලෙසද ටිරාන් අලස් ඇමතිවරයාගෙන් හෝටල් සමාගම එම ලිපියෙන් ඉල්ලා ඇත. එසේ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් තම සමාගමේ කීර්ති නාමයට සිදු කරන ලද හානියට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද ටිරාන් අලස් ඇමතිවරයා වෙත යොමු කරන ලද එම ලි⁣පියේ  අවධාරණය කර තිබුණි.

Lanka Realty Investments PLC සමාගම වෙතින් හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඒ දිනවල යොමු කළ ලිපිය අප නැවතත් සමාජගත කරන්නේ එහි අන්තර්ගතයේ තිබෙන වැදගත් කම නිසාය.ඒ දින වල  W 15 හෝටලය සම්බන්ධ කර ගනිමින් සිදු කළ අනීතික මදාවිකාර පොලිස් මෙහෙයුම අපරාධ වරදක් බවට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දී ඇති නියෝගයෙන් තහවුරු වේ.

එහෙත්  මහජන ආරක්ෂක අමාත්‍යවරයා එම මෙහෙයුම සාධාරණීකරණය කරමින් සිදු කරන ලද ප්‍රකාශයන් අසත්‍ය බව හෝටල් සමාගම එම කාල වකවානුවේම ඔහු වෙත යොමු කරන ලද ලිපියේ දැක්වේ.

අප සතුව ඇති එම ලිපිය ඇත්තේ ඉංග්‍රිසි බසිනි. එහි සිංහල පරිවර්තනයක් මෙම ලිපිය අවසානයේ කියවිය හැකිය.

 

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අනීතිකව සිදු කළ මෙහෙයුම කාගේ අවශ්‍යතාවකට සිදු වූවක්ද යන්න මෙම ලිපියෙන් යම් තරමක හෝ අදහසක් ඇති කර ගත හැකිය. එසේම එම මෙහෙයුමේදී මිය ගිය පොලිස් සැරයන් වරයා සම්බන්ධයෙන් එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මැදිහත් වීම අපරාධකරුවකු වසන් කර ගැනීමේ ක්‍රියාවලියක් බව ඉතා පැහැදිලිය.

එය එසේ සහතික කර ගත් විට මෙම අපරාධමය වරදෙහි විත්තිකරුවෙකු ලෙස  හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද විත්ති කූඩුවේ සිටිය යුතුය. මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ හිටපු පොලිස් පතිවරයා හා තවත් පොලිස් නිළධාරීන් පස් දෙනෙක් පමණය.

පොලීසිය එහිදී වංගුවක් ගසා ඇතැයි යන සැකයක් අප හට ඇතිවේ. ඒ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එම නඩුවේ විත්තිකරුවකු නොකිරීම නිසාය. W 15 හෝටලය ආශ්‍රීතව සිදු වූ සිද්ධිය ගැන මේ වන විටත් අප හට ලැබී තිබෙන තොරතුරු අනුව එම මදාවිකාර මෙහෙයුමේ පළමු විත්තිකරු විය යුත්තේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාය.

එහෙත් “අපි ඔක්කොම යාළුවෝ මල්ලී”නිසා අවසානයේදී පරිප්පු කන්නට සිදු වී ඇත්තේ හිටපු පොලිස්පති ඇතුළු පොලිස්කාරයන් හතර පස් දෙනාට පමණක් යැයි අපට සිතේ. ඒ අතරේම මේ වන විටත් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව හිටපු අමාත්‍ය ටිරාන් අලස් හට ජාජබ ආණ්ඩුවෙන් ලබා දී ඇත්තේ ඔහු අමාත්‍ය තනතුර භාවිතා කරමින් සිදු කරන ලද මෙවැනි නොසන්ඩාල පාදඩ ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විය හැකිය.

හිටපු  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය⁣ට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා අද (28)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේ මෙම අපරාධය සම්බන්ධයෙනි. 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය⁣ සම්බන්ධව නඩු අංක 6314 /23 යටතේ  පවරා තිබූ නඩුවට අදාලව මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ඇන්සලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කිරීම පිණිස සිඳු කළ අපරාධ ක්‍රියාවක් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබු⁣ණි. එදින එම⁣ හෝටලයට වෙඩි තැබීම සදහා ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායම කොළඹ සිට වැලිගම දක්වා ගමන් ගෙන තිබුණේ ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයකිනි.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මේ කණ්ඩායම හෝටලයට වෙඩි තැබීමත් සමගම ඒ පිළිබඳව හෝ⁣ටල් පරිපාලනය පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට වැලිගම පොලීසිය යෙදවූ හමුදා පොලිස් ඒකාබද්ධ ජංගම මුර සංචාර රථය පැමිණ තිබේ. එම ජංගම මුර සංචාර පොලිස් ජිප් රථය ඒ ස්ථානයට පැමිණීමත් සමගම කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඔවුන් පැමිණ සිටි වෑන් රථයෙන් පැන ගොස් ඇති අතර එම වෑන් රථය නැවැත්වීමට පොලිස් ජංගම මුර සංචාර රථයෙන් නියෝග කර ඇතත් ඒ නොතකා වෑන් රථය ධාවනය කරන විට පොලිස් ජංගම මුර සංචාර රථයේ රාජකාරියේ සිටි හමුදා⁣ සෙබළෙක් එයට වෙඩි තබා තිබේ.

එම හමුදා සෙබළා එයට වෙඩි තබා තිිිිබු⁣ණේ එම වෑන් රථයේ සිටින්නේ අපරාධ කරුවන් යන අදහසිනි. එහෙත් එම වෙඩි ප්‍රහාරයන්ද නොතකා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් රැගත්  වාහනය නොනවත්වා ධාවනය කර ඇත්තේ එහි සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී අසාධ්‍යව තිබියදීය. එම වෑන් රථය ඉමදූව අධිවේගී ප්‍රවේශයෙන් කොළඹ යාමට උත්සාහ කෙරුවද අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් එය වළක්වා තිබේ.

එම පොලිස් නිළධාරීන් එම වෑන් රථය පරීක්ෂා කරන විට වෙඩි වැදී තිබුණ දෙදෙනාගෙන් එක් අයෙක් වූ පොලිස් සැරයන් වරයා මිය ගොස් තිබුණි. වෙඩි වැදුන අනෙක් තැනැත්තා උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඒ අවස්ථා⁣⁣වේ ඔහු සිට ඇත්තේ ලේ ගලන තුවාල සහිතවය.

එම අවස්ථාවේ තමන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් බව හඟවා එම කණ්ඩායම එම ස්ථානයෙන් මිදී යාමට උත්සාහ කෙරුවද අධිවේගී ප්‍රවේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් ගෙන් ඒ සඳහා ඉඩක් ලැබී නැත.එම අවස්ථාව වන විට කොළඹ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ගණනාවක්ම දුරකථන ඇමතුම් ලබා දෙමින් එම වෑන් රථය මුදා හැරීමට නියෝග කර ඇතත් අධිවේගී මාර්ග පොලිස් නිළධාරීන් එම නියෝග වලට පවා යටත් නොවූයේ අපරාධයක් සිදු වී ඇති බවට මතු වූ සැකය නිසාය.

මෙම වාහනය නිදහස් කරන ලෙස හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පතිවරයා ද නියෝග කළ බව වාර්තා වේ. නමුත් ඔහු ද මෙම නඩුවට සම්බන්ධ කර නොමැත.

එහෙත් මෙම සිදුවීම සම්බන්ධ⁣යෙන් පසුව ප්‍රකාශයක් කළ නීතිය හා සාමය අමාත්‍යංශයේ එවකට සිටි අමාත්‍ය ටිරාන් අලස් සදහන් කෙරුවේ අපරාධ කරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය ⁣කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසකට වැලිගම පොලීසිය වැරදීමකින් වෙඩි තබන ලද බවය.එම වෙඩි තැබීම සිදු කරන ලද හමුදා සෙබළා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් එල්ල පවා එල්ල කෙරිණි.

යට ගසා තිබූ මෙම අපරාධ පරීක්ෂණය යළි ආරම්භ කරන ලද්දේ  ජාජබ ආණ්ඩුව බලයට පැමිණ ශානි අබේසේකර ඇතුලු දක්ෂ විමර්ශනයින්ට පරීක්ෂණ බාර දීමෙන් පසුය. තවමත් නොවිසදී පවතින ප්‍රශ්ණය වන්නේ මෙම අපරාධය සැළසුම් කල මහ මොළකරුගේ අවශ්‍යතාවය කුමක් වූයේ ද යන්නය. මෙම දේශබන්දු විසින් සැළසුම් කළ අපරාධයක් වීමට ඉඩක් නැත.

මහ  මොළකරු හිර කිරීමෙන් තොරව මෙවැනි අපරාධ වැලැක්විය නොහැක. 

 

 

Lanka Realty Investments PLC (ලියාපදිංචි අංකය: PO 139)

පළමු මහල, මූලස්ථානය කොළඹ, 464 A, ටී.බී. ජයා මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව.

2024 පෙබරවාරි 1

ගරු ටිරාන් අලස් මන්ත්‍රී
මහජන ආරක්ෂක අමාත්‍ය
අංක 345/33, කුරුප්පු පටුමග
කොළඹ 08.
හිතවත් මහත්මයාණෙනි,

ඔබ විසින් අසත්‍ය සහ වගකීම් විරහිත ප්‍රකාශ කරන ලද යුක්තිය මෙහෙයුම පිළිබඳව 2024 ජනවාරි 18 වන දින පැවති මාධ්‍ය හමුව

අපි, ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ප්‍රසිද්ධ ලැයිස්තුගත සමාගමක් වන අතර එහි ප්‍රමුඛ විදේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු සිටී.

අපි ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සාමාජිකයෙක් වන අතර අපගේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ආමන්ඩ් ට්‍රීස් (පුද්ගලික) සමාගමට අයත් වැල්ගම හි ‘W15 වෙල්ගම’ බුටික් හෝටලය පවත්වාගෙන යන්නෙමු. ‘W15 අහංගම’, ‘W15 ලේක් ග්‍රෙගරි’, ‘W15 හන්තාන’ ඇතුළු ‘W15’ සන්නාමය යටතේ බුටික් හෝටල් එකතුවක් ද අප සතුව ඇත සහ/හෝ ක්‍රියාත්මක කරන්නෙමු.

2024 ජනවාරි 18 වන දින හෝ ඊට ආසන්න දිනකදී, ඔබ, වැඩබලන පොලිස්පතිවරයා සමඟ, ශ්‍රී ලංකා පොලිසියේ කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් මෙහෙයවනු ලබන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීය. ක්‍රියාදාමයේ පටිගත කිරීම් මාර්ගගතව ලබා ගත හැකි අතර, ඔබගේ යොමුව සඳහා සබැඳි මෙහි අමුණා ඇත:

https://youtu.be/1eQSv5s5KcR?si=P7WpsiLupmw4fU 

https://youtu.be/dq-K9kZ-MzQ?si=Op5OzmumUk_kKVWI 

අපගේ ‘W15 වෙල්ගම’ හෝටලය අසල සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය හමුව අතරතුර අසත්‍ය, නොමඟ යවන සහ වගකීම් විරහිත ප්‍රකාශ කිහිපයක් කර ඇති අතර, එම ප්‍රකාශ පොදු ලැයිස්තුගත සමාගමක් ලෙස අපට සහ මට පෞද්ගලිකව බරපතල කනස්සල්ලට කරුණකි.

ඔබ හොඳින් දන්නා පරිදි, එම සිදුවීම 2023 දෙසැම්බර් 31 වන දින අලුයම, ‘W15 වෙල්ගම’ හෝටලයෙන් පිටත, පොදු මාර්ගයේ සිදු වූ අතර, මත්ද්‍රව්‍ය වෙළඳාමේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් මෙහෙයවන ලද රහසිගත මෙහෙයුමක් සිදු කරන බවට චෝදනා එල්ල වී ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක සමයේ උච්චතම අවස්ථාව වූ බැවින්, අපගේ හෝටලය 100% විදේශීය ගනුදෙනුකරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම පිරී තිබුණි. එම අවස්ථාවේදී, පසුව CCD වෙත අනුයුක්ත කර ඇති බවට වාර්තා වූ සලකුණු නොකළ වාහනයක සිටි සිවිල් ඇඳුමින් සැරසුණු ඇතැම් නිලධාරීන් හදිසියේ වෙඩි තැබීමට පටන් ගත්හ. මෙම වෙඩි තැබීම් අපගේ දේපළවලට හානි සිදු කළද, වාසනාවකට මෙන්, අපගේ අමුත්තන්ට හෝ සේවකයින්ට කිසිදු තුවාලයක් සිදු නොවීය.

කෙසේ වෙතත්, සලකුණු නොකළ වාහනයකින් වෙඩි තබනු දුටු වැල්ලගම පොලිසියේ පොලිස් මුර සංචාර ඒකකයක්, මෙහෙයුමක් පිළිබඳ කිසිදු සන්නිවේදනයක් නොලැබුණු බැවින් මෙය සන්නද්ධ කල්ලියක් යැයි උපකල්පනය කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. වෙඩි හුවමාරුව පොලිස් නිලධාරියෙකුගේ ජීවිතය අහිමි වීමට හේතු විය. මෙම සිදුවීම ජාතිය කම්පනයට පත් කර ඇති අතර, ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කර ඇත.

පොලිසිය මෙතෙක් මෙම සිද්ධිය අපගේ ‘W15 වෙල්ගම’ හෝටලය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියා සිටියද, එම මාධ්‍ය හමුවේදී ඔබ පැහැදිලිවම වෙනත් දෙයක් පෙන්වා දී ඇත්තේ ඔබේ ව්‍යාජ චෝදනාවට සහාය දැක්වීමට සාක්ෂි අංශු මාත්‍රයක්වත් ලබා නොදී අපගේ හෝටලයට චෝදනා කිරීමෙනි. විශේෂයෙන්, අපගේ ‘W15 වෙල්ගම’ හෝටල් පරිශ්‍රයේ සිදු කරන ලද වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථා 15 ක් ඇති බවට ඔබ ව්‍යාජ හා වගකීම් විරහිතව චෝදනා කර ඇත. ඔබේ ප්‍රකාශය අසත්‍ය සහ ඔබේම දැනුමට අනුව අසත්‍ය බව අපි නිශ්චිතවම සටහන් කිරීමට කැමැත්තෙමු.

තවද, ඔබ ‘හරක් කටා’ ලෙස හඳුන්වන කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ අප සම්බන්ධ වී ඇති බවට උපහාසාත්මකව චෝදනා කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි.

වෙල්ගම බොක්ක යනු පොදු වෙරළ තීරයකි. පොදු වෙරළක/ප්‍රදේශයක සිදුවන කිසිදු සිදුවීමක් හෝටලයට පාලනය කළ නොහැක.

ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මා ඔබ සමඟ පැවැත්වූ රැස්වීම ගැනද ඔබ සඳහන් කර ඇත. ඔබ විසින් බොරුවට චෝදනා කරන පරිදි ‘හෝටලය බේරා ගන්න’ යැයි ඔබෙන් ඉල්ලා සිටීමට මට කිසිදු හේතුවක් නොමැති බව මම විශේෂයෙන් ප්‍රකාශ කරමි. ඊට පටහැනිව, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබ වගකිව යුතු, නීතිය හෝ මහජනතාවගේ සහ විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව නොසලකා CCD ය මෙම නොසැලකිලිමත් ආකාරයෙන් ක්‍රියා කළේ මන්දැයි පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට මම ඔබව මුණගැසුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මම ඉල්ලා සිටියෙමි, නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු අර්ථවත් පියවරක් ගෙන නොමැත.

තවද, ‘W15 වෙල්ගම’ හෝටලය මා පෞද්ගලිකව සතු බවත්, එය අපගේ පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආමන්ඩ් ට්‍රීස් (පුද්ගලික) සමාගම සතු බවත් ඔබ වැරදි ලෙස චෝදනා කර ඇත. කෙසේ වෙතත්, අපගේ සමාගමේ ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස, මම අපගේ සමාගමේ මුහුණ සහ ගෞරවනීය හා සාර්ථක ව්‍යාපාරික පෞරුෂයක් වන අතර, ඔබ මාව (එම්.එච්. ජමාල්ඩීන්) W15 හෝටලයේ ‘හිමිකරු’ ලෙස පෞද්ගලිකව හැඳින්වූ බව පැහැදිලිව වටහාගෙන ඇති බැවින්, ඔබ මාව උපක්‍රමශීලීව වරදකරු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබගේ මාධ්‍ය හමුවේදී ඔබ කළ අසත්‍ය ප්‍රකාශ පිළිබඳව විමසීමට මට පෞද්ගලිකව මිතුරන් සහ ව්‍යාපාරික හිතවතුන් කිහිප දෙනෙකු කතා කර ඇත.

ඔබ ඉහත සඳහන් කළ ප්‍රකාශ කිහිපයක්, එම මාධ්‍ය හමුවේදී සම්පූර්ණයෙන්ම අසත්‍ය, නීති විරෝධී, ද්වේෂසහගත, තර්ජනාත්මක සහ වගකීම් විරහිත ඒවා වන අතර, ඒවා අපගේ සමාගම්වලට, අපගේ අධ්‍යක්ෂවරුන්ට සහ මට පෞද්ගලිකව කරන ලද අපහාසාත්මක ප්‍රකාශවලට සමාන වේ.

ඔබගේ එම ප්‍රකාශයන් ස්වභාවිකව සහ සාමාන්‍ය අර්ථයෙන් අපහාසාත්මක වන අතර, ඒවා ව්‍යාජ ලෙස අපහාසාත්මක ය. අපගේ හොඳ නම, ගෞරවය, කීර්තිය, ව්‍යාපාරය, තත්ත්වය, ගෞරවය, හොඳ හිත සහ ව්‍යාපාරික කීර්තිය නැතිවීම සම්බන්ධයෙන් අපට විශාල හානියක් සිදුවී ඇති අතර, ඔබේ එම ප්‍රකාශයන් හේතුවෙන් මහජන අපකීර්තියට, අපකීර්තියට, උපහාසයට සහ අවඥාවට ලක් වී ඇති අතර, ඒවා අපගේ ව්‍යාපාරවලට ද සැලකිය යුතු හානියක් සිදු කර ඇති අතර එය දිගටම කරගෙන යයි.

ඔබගේ අපහාසාත්මක ප්‍රකාශ අපගේ සමාගමේ සහ ‘W15’ හෝටල්වල කීර්ති නාමයට දැඩි හානියක් සහ ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කර ඇති බව අපි සටහන් කරමු.

ඔබ ‘හිමිකරු’ අත්අඩංගුවට ගන්නා බවට සිහින් තර්ජනයක් ද කර ඇති අතර, එය අපගේ විදේශීය ආයෝජකයින් විසින් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇත. කැබිනට් අමාත්‍යවරයෙකුගෙන් එන එවැනි වගකීම් විරහිත ප්‍රකාශ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුවිය හැකි බරපතල හානිය ඔබ පැහැදිලිවම අගය කිරීමට අපොහොසත් වී ඇත.

අපගේ සමාගම් සමූහය, එහි අධ්‍යක්ෂවරුන්, ‘W15’ හෝටල්වල හිමිකරුවන් සහ කළමනාකරුවන් සහ මා පෞද්ගලිකව අපකීර්තියට පත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබේ කාර්යාලය භාවිතා කිරීමට ඔබට අයිතියක් නොමැති බව පෙන්වා දීමට ද අපට බල කෙරී ඇත. ඕනෑම අවස්ථාවක, ඔබගේ නීති විරෝධී සහ වැරදි ක්‍රියාවන් සඳහා ඔබව පෞද්ගලිකව වගකිව යුතු බවට අපට අයිතියක් ඇත.

ඒ අනුව, ඔබ මෙයින් එවැනි තවදුරටත් සහ සමාන අපහාසාත්මක ප්‍රකාශයන් අත්හැරීමට සහ වැළකී සිටීමට බැඳී සිටී.

මෙම සන්නිවේදනය අපගේ අයිතිවාසිකම්වලට දැඩි ලෙස අගතියකින් තොරව යවනු ලබන අතර නීතිය යටතේ අපගේ කිසිදු අයිතියක් අත්හැරීමක් සිදු නොවේ. අපගේ සමාගම් සමූහයට, එහි අධ්‍යක්ෂවරුන්ට, ‘W15’ හෝටල්වල හිමිකරුවන්ට සහ කළමනාකරුවන්ට සහ මා හට, ඔබගේ පුද්ගලික ධාරිතාවයෙන් ඔබට එරෙහිව පාඩු සහ හානි සඳහා සුදුසු හිමිකම් පෑමට නීතිමය අයිතිවාසිකම් මෙයින් ප්‍රකාශ කරමු.

අපගේ සමාගම් සමූහයට, එහි අධ්‍යක්ෂවරුන්ට, ‘W15’ හෝටල්වල හිමිකරුවන්ට සහ කළමනාකරුවන්ට සහ මා පෞද්ගලිකව ඔබගේ එම අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර තවමත් පීඩාවට පත්ව සිටින බව අපි මෙයින් ප්‍රකාශ කරමු.

ඔබගේ විශ්වාසී,
එම් එච් ජමාල්ඩීන්
අධ්‍යක්ෂ

සී.සී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ප්‍රජාතන්ත්‍රවාදී
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01
ගරු මහින්ද යාපා අබේවර්ධන
පාර්ලිමේන්තු කථානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
ශ්‍රී ලංකාව.
සමන් ඒකනායක මහතා
ජනාධිපති ලේකම්
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01
Lanka Realty Investments PLC (ලියාපදිංචි අංකය: PO 139)

(ලිපියෙහි පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීප් වෙතිනි)

Archive

Latest news

Related news