Friday, February 7, 2025

ලසන්ත ඝාතන පරීක්ෂණය:  නීතිපති කළේ ගෝටාගේ පළි ගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමක්!

සුනන්ද දේශප්‍රිය.

(Sri Lanka Brief/07.02.2025)  සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීම මගින්, නීතිපති පාරින්ද රණසිංහ සිදු කර ඇත්තේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවා අවමානයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ පත් කළ පළි ගැනීම් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමකි.

පිස්සු පූසා කොමිසම යැයි ජනප්‍රවාදයේ කියවෙන මෙ කොමිසමේ සභාපති  වූ දූෂිත විනිසොරකු වූ උපාලි අබේරත්න අනුර කුමාර ආණ්ඩුව යටතේ ද තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපති ලෙස වැජඹෙයි.

එකී කොමිසම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද වරදකරුවකු කරමින් තීන්දුවක් දුන්නනේය. විපක්ෂයේ සිටිය දී අනුර මෙම කොමිසමේ තීන්දු පතුරු ගැහුවේ ය.

අනුර පතුරු ගැසූ සහ අනුර වරදකරු කළ කොමිසම

දැන් ඔහු ජනාධිපති ය. ඔහුගේ නීතිපති ක්‍රියාත්මක කර ඇත්තේ ද ඔහු ද වරදකරුවකු කළ එකි දූෂිත කොමිසම මගින් දෙන ලද තීන්දුවක් වෙනත් අයුරකිනි.

බුද්ධි අංශ නිලධාරියකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම මෙම පිස්සු පූසා කොමිසමට පැමිණිළි කරමින් කියා සිටියේ, ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා පැහැර ගැනීම සහ හිටපු දිවයින කතෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කරන ලද්දේ දේශපාලන පිළිගැනීමකට බවය. එනම් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨාභය සම්බන්ධ කිරීමට තමා සූදානම් නොවූ නිසා බවය.

ලසන්තගේ රියදුරා සහ උපාලි තෙන්නකෝන් තමා හදුණා ගැනීමේ පෙරට්ටු වලදී හඳුනා ගත්තේ කලින් තමාගේ ඡායාරූප ඔවුන්ට පෙන්වීම මගින් බවය.

කොමිසමේ සෙට් එක!

පිස්සු පූසා කොමිසමේ තවත් සාමාජිකයකු වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සුප්‍රසිද්ධ රාජපක්ෂ ගැත්තකු විය. ගෝටා ඔහු පොලිස් කොමිසමේ සභාපති කර උපාලි අබේරත්න අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයේ සභාපති කළේය. දෙදෙනාම එම ආයතන ගෝටා ගේ ආයතන බවට හැරවූහ.

238/2020  යටතේ පැමිණිලිකරු ප්‍රේම් ආනන්ද උදලාගම පැමිණිලිකරු තමා දේශපාලන පළි ගැනීමකට ලක් කළ පහත නම් සඳහන් පුද්ගලයින් වගඋත්තරකරුවන් ලෙසට නම් කරන ලදි. එනම්  සහකාර පොලිස් අධිකාරිය තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ය.

උදලාගම නිදෝස කොට නිදහස් කිරීම

පළි ගැනීම් කොමිසම මෙසේ තීරණය කළේ ය.

  1. මෙම නඩුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂි පරීක්ෂාකාරී ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පැමිණිලිකාර ප්‍රේම ආනන්ද උදලාගම යන යම් වරදකට හසු කරලීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කිරීමත් එයට ආධාර සහ අනුබලදීමටත් ඉහත නම් සඳහන් පුද්ගලයන් ක්‍රියා කර ඇති බවට ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කර ඇති බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

  2. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සියලු සාක්ෂි සහ ලේඛන සලකා බැලීමෙන් පසුව ‍ප්‍රේම ආනන්ද උදලාගම මහතාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති බී 92/ 2009 දරණ බී වාර්ත‍ෙවේ සහ එම බී වාර්තාවට ගොනු කරන ලද වැඩිදුර වාර්තාවන්හි දැක්වෙන සියලුම චෝදනාවලින් ද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති බී 294/09 දරණ බී වාර්තාවෙහි සහ එම බී වාර්තාවට ගොනු කරන ලද වැඩිදුර වාර්තා වන්නේ දැක්වෙන සියලු ම චෝදනා වලින්ද පැමිණිලිකාර ප්‍රේම ආනන්ද උදලාගම නිදොස් කොට නිදහස් කළ යුතු බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත

  3. එසේම පැමිණිලිකරුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ පවරා ඇති අංක HC 2012/දරණ අධි චෝදනා පත්‍රය ද ඉල්ලා අස්කර ගැනීම මගින් නිශ්‍ප්‍රභා කර පැමිණිලිකරු එකී චෝදනාවලින් නිදහස් කොට නිදහස් කළ යුතුය.

උදලාගමට වන්දි ගෙවනු!

එපමණක් නොවේ. ඔහුට වන්දි ගෙවන ලෙසද සහකාර පොලිස් අධිකාරී තිසේරා සහ නිශාන්ත සිල්වාට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද “ පිස්සු පූසා” කොමිසම නිර්දේශ කළේ ය.

එමෙන්ම එකී තීන්දුව නිසි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යවන ලෙස ද  පළිගැනීම් කොමිෂම නියෝග කළේය.

දැන් නීතිපති කියන්නේ ද ගෝටාගේ අනීතික පළි ගැනීම්  කොමිසම කී දේම ය. නීතිපති නැතත් උදලාගම දැන් වන්දි ඉල්ලා උසාවි යනවා ඇත!

මෙම තීන්දුව කොමිෂන් වාර්තාවේ 861- 870 යන පිටුවල දැක්වේ.

ප්‍රසන්න නානායක්කාර පැමිණිල්ල

නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර  ද විය යුතු පරිදි ම ගෝටාගේ පළි ගැනීම් කොමිසමට ගියේ ය. එය පත් කරන ලද්දේ ම එවැනි පුද්ගලයින් නිදහස් කර රනිල් වික්‍රමසිංහගේ සිට එම්. සුමන්දිරන් හරහා  අනුර කුමාර දක්වා වූ විපාක්ෂිත දේශපාලනඥයින් දඬුකඳේ ගැසීමට ය.

මෙම අපූරු තීරණය එම වාර්තාවේ 1602 – 1619 පිටුවල දැක්වේ.

එම පැමිණිල්ල 415/2020ය.

පැමිණිලිකරු වූ ප්‍රසන්න නානායක්කාර තමා  දේශපාලන පළි ගැනීමකට ලක් කළ අය ලෙස පහත නම් සඳහන් අය  වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලදී.

ශානි සහ තිසේරා වගඋත්තරකරුවන් කිරීම

ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරිය තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ පොලිස් සැරයන් ඩී.ආර්. කන්නංගර.

අද ෂානි අබේසේකර අනුර කුමාර ආණ්ඩුව යටතේ තීරණාත්මක පොලිස් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවයි.

නිදොස් කොට නිදහස්!

පළි ගැනීම් කොමිසම මෙසේ තීරණය කළේ ය.

  1. පැමිණිළිකරු විසින් කොමිෂන් සභාවේ දී ඉදිරිපත් කළ සාක්ෂි ලේඛන දැඩි පරීක්ෂාව යටතේ විශ්ලේෂණය කිරීමෙන් පසුව පැමිණිලි කරු සිරි මෙවන් ප්‍රසන්න නානායක්කාර ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්‍ෂි වසන් කිරීමේ වරදකට හසු කරලීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් මාස පහක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සඳහා ඉහත සඳහන් වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බවට ප්‍රබල සාක්ෂි මගින් සනාථ වී ඇති බව කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

  2. පැමිණිලිකරු විසින් කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමේදී ඉදිරිපත් කරන ලද සාක්ෂි ලේඛන පරීක්ෂණයෙන් පසු පැමිණිලිකරු වන සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාරට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරා ඇති බී 92/2019 දරණ බී වාර්තාවේ සහ ඊට පසු ඉදිරිපත් කර ඇති සියලුම වැඩිදුර වැඩිදුර වාර්තාවන්හි  සඳහන් කර ඇති සියලු චෝදනාවලින් පැමිණිලිකරු වන සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාරය ට එරෙහිව ප්‍රමාණවත් විශ්වාසදායක සාක්ෂි නොමැති නිසා නිදොස් කොට නිදහස් කළ යුතු බව කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

  3. ලසන්ත වික්‍රමතුංග ඝාතනය විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බොහෝ දුරට උත්සාහ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ඝාතනයට සම්බන්ධ කිරීමට ය. මේ නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිර්මාණය කරන ලද ප්‍රකාශයක් පැමිණිලිකරු ලවා කරවා ගැනීමට පැමිණිලිකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද ඉන් පසු රක්ෂිත බන්ධනාගාරයේ මාස පහක් රඳවා සිටි කාලයේදී ද ලබා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ වීම නිසා දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරයක් ගතව සිටීමට සිදුවීමෙන් දේශපාලන පිළිගැනීමකට ලක් වූ බව මෙම කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

ශානි සහ තිසේරා හිරේ යවනු!

පළි ගැනීම් කොමිසම  ඉදිරිපත් කළ නිර්දේශ 4 සහ 5 මෙසේ ය.

  1. මෙහි සඳහන් වග උත්තරකරුවන් පැමිණිලිකරු අසත්‍ය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව නියෝග ඒ7බී පරිශිෂ්ටයේ විනය සංග්‍රහයේ දෙවැනි වගන්තියේ ජී ප්‍රකාරව අණට අකීකරු වීම හෝ පීඩාකාරී ලෙස හැසිරීම එනම් පොලිස් නිලධාරියකු වශයෙන් පොලිස් සේවයට කැළලක් විය හැකි අන්දමින් හෝ හැසිරීම වරදක් කර තිබීම යන චෝදනාව යටතේ වගඋත්තරකරුවන් තිදෙනාටම විරුද්ධව චෝදනා පත්‍ර නිකුත් කොට විධිමත් මූලික පර්යේෂණයකින් පසු වරදකරුවෝ විට දඬුවම් ලබා දිය යුතු යැයි කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත .

  2. ඉහත නම් සඳහන් වග උත්තරකරුවන් තිදෙනාට එරෙහිව මෙම වාර්තාවේ දක්වා ඇති වරදවලට නිසි අධිකරණ බලය ඇති අධිකරණ ඉදිරියේ චෝදනා පත්‍ර ගොනු කිරීම සඳහා එම නඩුවලට අදාළ සාක්ෂි ලේඛන ගොනුව නීතිපති වෙත  යැවිය යුතුය.

කොමිසම ප්‍රසන්න නානායක්කාර නිදහස් කිරීමට තීරණය කළේ ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත ඔහු විසින් ලබා ගත්තේය යන කරුණ ප්‍රතික්ෂේප කිරීමෙන් නොවේ. එම සටහන් පොත ඔහු ලබා ගත්තේ කොතනක දී ද යන්න සාධාරණ සැකයකින් තොරව සනාථ වී නැත ය යන උපකල්පනය මතය.

කැකිල්ලේ අධිකරණයක් වූ මෙම “පිස්සු පූසා” කොමිසම තමන්ට නිදහස් කිරීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා කවර හෝ හේතුවක් නිර්මාණය කළේ ය.

එම තීරණය දැන් නීතිපති පාරින්ද රණසිංහ විසින් වෙනත් විදිහකට ක්‍රියාත්මක කර තිබේ.

ගෝටා ගේ කොමිසම වල පල්ලට

මෙම කොමිසම විසින් තමන් සම්බන්ධයෙන් කරන ලද නිර්දේශ අහෝසි කරන ලෙස ඉල්ලා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙහි අධ්‍යක්ෂක වූ ජෙෂ්‍යඨ පොලිස්පති වූ ශානි  අබේසේකර සහ එහි ප්‍රධානියා වූ ජෙෂ්‍යඨ නියේජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය. ගෝටා ගේ කොමිසමේ තීන්දු වල පල්ලට ගියේය.

එනමුත් වල පල්ලේ සිටින කොමිෂන් සභා වාර්තාව දැන් නීතිපතිගේ තීරණය දැක දත් විළිස්සලා ලේ වැකි දෑත් අහසට යොමා බක බක ගා කොක් හඬලනු ඇත.

නීතිපති අනීතික හයේ පහර ගැහුවේ ගෝටා ගේ කොමිසම වෙනුවෙන්ද?

Archive

Latest news

Related news