ප්‍රශ්නය : වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන ඔබ කටුවන රජක කුලයේ ඉතිහාසය පිලිබඳව හදාරන්නේ ඇයි ?
පිළිතුර : හම්බන්තොට කටුවන රජක කුලයේ වර්තමාන සාමාජිකයෙකු වන මට හිතුනා අපේ පරම්පරාවේ අතීතය ගැන හොයන්න. අපේ පරම්පරාව ශත වර්ෂ ගානක් ජීවත් උනේ මේ ප්‍රදේශයේ. අපේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙච්ච කතන්තර සිදුවීම් තියනවා. ඒවා ලේඛනගත කිරීමයි මගේ වෑයම.
ප්‍රශ්නය: ඔබගේ පරම්පරාවේ ඉතිහාසය ගැන තිබෙන තොරතුරු මොනවාද ?
පිළිතුර : අපගේ මී මුත්තන් ලංකාවට එන්නේ ඉන්දියාවෙන්. අපේ පරම්පරාව එන්නේ තමිල්නාඩු ප්‍රදේශයෙන්. අපිට තිබුනේ ද්‍රවිඩ සම්භවයක්. නමුත් පරම්පරා කීපයක් යන කොට අපගේ මිනිසුන් සිංහල මූලික සමාජයට එකතු වෙනවා. වර්තමානයේ අපගේ පරම්පරාව කතා කරන්නේ සිංහල. ඔවුන්ට තිබෙන්නේ සිංහල නම්.
ප්‍රශ්නය : බොහෝ දෙනෙක් කුලය කියන සාධකය සඟවනවා. නමුත් ඔබ නොබියව කුලය පිලිබඳ කතා කරනවා.
පිළිතුර කුල ක්‍රමය කියන්නේ රාජකාරී ක්‍රමයක්. අපගේ කුලයේ මිනිසුන් වැදගත් රාජකාරියක් කලා. ඔවුන්ට පැවරී තිබුනේ රෙදි සේදීම. රාජකීයන් ගේ වගේම සාමාන්‍ය මිනිසුන් ගේ රෙදි පිරිසිදු කලේ අපි. ඒ වගේම කොටහළු චාරිත්‍රයන් ඉටු කිරීමේදී අපේ මිනිසුන් සමාජයේ අත්‍යාවශ්‍ය කොටසක් බවට පත් වුනා. අපේ ඤාතීන් සාම්ප්‍රදායිකව ගොවි කුලයට සේවය කිරීමට බැඳී සිටියා. ඔවුන් අතින් සිදු වුන සේවාව වර්තමාන පරම්පරාව දැන ගත යුතුයි.
ප්‍රශ්නය: ඔබගේ පරම්පරාවේ අය හම්බන්තොට කටුවන ප්‍රදේශය පුරා පැතිරීම ගැන කියන්න පුලුවන් ද ?
පිළිතුර : හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ මුල්ගිරිගල ආසනයේ තමයි අපගේ මිනිසුන් වැඩි වශයෙන්ම පදිංචි උනේ. එය සිදු වන්නේ කෝට්ටේ රජුගේ නියමයෙන්. රජතුමා ගොවිගම වංශිකයන්ට සහ ප්‍රදේශයේ රදලයන්ට සේවය කිරීම සඳහා අපගේ මුතුන් මිත්තෝ හම්බන්තොට කටුවනට එවනවා. එහිදී ඔවුන්ට රාජකාරී කිරීමට ඉඩම් ලබා දෙනවා. ඒ කලයේ බැඳපු වෙල්ල හැලි වල නෂ්ටාවශේෂ තාමත් කටුවන ප්‍රදේශයේ දකින්න පුලුවන්. අවාසනාවකට වගේ මේවා සංරක්‍ෂණය වෙලා නෑ. මේ පිලිබඳව කටුවන ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා වන මහින්ද ගාමාච්චි මැතිතුමාටත් මම ලිව්වා මේ අතීත නටබුන් මතු පරම්පරාවට දකින්න සංරක්‍ෂණය කරන්න කියලා. ඒ කාලේ මිනිසුන්ට සේවය කරහම මුදල් ගෙවීමක් සිදු වුනේ ඉතාම අඩුවෙන්. හාල් පොල් වගේ ද්‍රව්‍ය තමයි ලැබුනේ. අපගේ හේන වංශිකයන් ගේ සේවය පෘතුගීසීන් පවා ලබා ගෙන තියනවා. මුල් කාලයේ ගස් වල ගෙඩි පොතු වර්ග වලින් රෙදි සේදීම කල අපට පෘතුගීසීන් හරහා තමයි සබන් භාවිතය හුරු වෙන්නේ.
ප්‍රශ්නය : හේන වංශිකයන් බොහොමයක් තම මුල් නම් අත හැරලා තියනවා නේද ?
පිළිතුර : අපගේ මුල්ම පෙලපත් නාමය හින්න රඳාගේ පේඩිගේ , පසුව එය ආනත්ත පතිරණගේ බවට පත් වෙනවා. වර්තමානයේ අපගේ වරිගයේ බොහෝ දෙනෙක් වාසගම් වෙනස් කරගෙන. අපගේ රජක කුල කරුවන් මෑත ඉතිහසයේ සිය කර්මාන්තයේ නොයෙදීම නිසාවෙන් පාරම්පරිකව පවත්වා ගෙන යනු ලැබූ මෙම කර්මාන්තය මේ වන සම්පූර්ණයෙන් වැසී යාමේ තර්ජනයට ලක්ව තියනවා. අපගේ සේවය එකල රජ දවස සිට මේ දක්වා පවත්වාගෙන යනු ලබන රැකියාවක්. ගෙවල් වල දැන් රෙදි හෝදන යන්ත්‍ර තියෙනවා. තව සමහරු ගෙදරදීම සෝදා ගන්නවා. හැබැයි ඒත් අපේ ප්‍රමිතිය ගන්න කොයි කාටත් අමාරුයි. අපගේ වර්තමාන ඤාතීන් බොහෝ දෙනෙක් වෙනත් ව්‍යාපාර වල නියැලිලා. නමුත් සමහරක් ව්‍යාපාරික මට්ටමින් මේ සේවය ලබා දෙනවා. හම්බන්තොට රෝහලේ රෙදි සේදීම කරන්නේ අපගේ ඤාතියෙක්. ඒ සඳහා ඔහුට විශාල මුදලක් ලැබෙනවා. ඒ වගේම මගේ පිය පාර්ශවයේ මාමලා කීප දෙනෙක් කිංස්බරි හෝටලයේ ලොන්ඩරිය වගේම කොලඹ ප්‍රධාන පෙලේ ලොන්ඩරි කීපයක් පවත්වාගෙන යනවා.ඔවුන් සාර්ථක ව්‍යාපාරිකයන්
ප්‍රශ්නය : නමුත් ඔබ යොමු වන්නේ වෛද්‍ය විද්‍යාවට?
පිළිතුර : ඒක අහම්බයක් වෙන්න ඇති. කටුවන අපගේ රජක පරම්පරාවේ පළමුවන වෛද්‍යවරයා මම. ඒත් මම අපගේ අතීතය අමතක කලේ නෑ. මගේ සීයා තමයි කටුවන ප්‍රදේශයේ පුලුල් වශයෙන් රෙදි පිරිසිදු කිරීම කලේ. ඔහු අපේ ඤාතීන් පිරිසක් එක්ක මේ ව්‍යාපාරයේ යෙදුනා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පියා වන , ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමා මගේ සියාව හොඳින් දැන සිටියා. ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමා පාර්ලිමේන්තු ගියේ මගේ සීයා පිරිසිදු කල ඇඳුම් ඇඳගෙන. ඔහුට ගමේ අය කතා කලේ හේනේ මාමා කියලා. ඔහුට ගම්මුන් ගේ ආදරය ලැබුණා. කටුවන ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස සේවය කල ජී.ඒස්. එදිරිවීර මහතා අපගේ පවුලට උදව් උපකාර කලා. මගේ පියා යෙදුනේ වෙනත් වෘත්තියක. ඔහුට අවශ්‍ය උනා මාව වෛද්‍යවරයෙක් කරන්න. මම රුහුණ කරාපිටිය වෛද්‍ය පීඨයේ ඉගෙන ගෙන වර්තමානයේ ඕමානයේ Duqm රෝහලේ සේවය කරනවා. වෛද්‍ය වෘත්තිය කලත් මට අපේ මුතුන් මිත්තන් කල සේවය අමතක කරන්න බෑ. අපේ කටුවන රජක පරම්පරාව සියවස් 2-3 ඈතට විහිදිලා යනවා. අපේ පරම්පරාව ගැන පෝල් එඩ්වඩ් පීරිස් , රැල්ෆ් පීරිස්, කේ ඉන්ද්‍රපාල, ශිරාන් දැරණියගල වගේ ඉතිහාස විශේසඥයෝ ලියලා තියනවා. රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍ය ඩී.එස්.ඩබ් ගුණවර්ධන මහත්මා රජක පරම්පරාව සහ ඉඩම් භුක්තිය ගැන ලියලා තියනවා. යම් දිනම අපගේ කටුවන රජක පරම්පරාව පිලිබඳ පොතක් ලිවීම තමයි මගේ අදහස.
සාකච්චා කලේ සමන්ති පෙරේරා
(විශේෂ ස්තූතිය අනෝමා එම් යකුම්පිටිය පේරාදෙනිය විශ්ව විද්‍යාලය )