Friday, January 24, 2025

මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින්, මාධ්‍ය මර්‍ධනයට එරෙහිව පියවර ගත යුතුය!

මෑතකාලීනව මාධ්‍ය වෘත්තිකයන් සහ මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් සිදුව ඇති නීතිමය හිරිහැර කිරීම් සහ සීමා කිරීම් පිළිබඳ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) රජය හා අදාල බලධාරීන් වෙත කණස්සල්ල පළකල මාධ්‍ය නිවේදනයම්පූර්‍ණයෙන් පහත දැක්වේ.

(Sri Lanka Brief/24.91.2025) මෑතකාලීනව මාධ්‍ය වෘත්තිකයන් සහ මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් සිදුව ඇති නීතිමය හිරිහැර කිරීම් සහ සීමා කිරීම් පිළිබඳ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) දැඩි කණස්සල්ල පළ කර සිටී. ඉක්මනින් මැදිහත්ව මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත් මාධ්‍යවේදීන්ට බියෙන් සහ මැදිහත්වීම්වලින් තොරව රාජකාරී කිරීමට පසුබිම සහතික කරන ලෙසත් අප සම්මේලනය රජයෙන් දැඩිව ඉල්ලා සිටී.

ඔන්ලයින් පනත අවභාවිතය

නිව්ස් සෙන්ටර් වෙබ් අඩවියට එරෙහිව ජනවාරි 09 වැනිදා හිරු මාධ්‍ය ජාලය විසින් ලබාගත් අධිකරණ නියෝගය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සිදු කළ ප්‍රකාශයක් ප්‍රචාරය කිරීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණු අතර එය මාර්‍ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අවභාවිත කිරීමක් විය. එම පනත අවලංගු කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියදීත් රජය එම පනත පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන අතර මාධ්‍ය ආයතනවලට එරෙහි මර්‍ධන අවියක් ලෙස එය යොදාගනී.

ජනවාරි 23 වන දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කැඳවනු ලැබූ නිව්ස් සෙන්ටර් මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට මහේස්ත්‍රාත්වරයා නොමැති වීම හේතුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර, ජනවාරි 28 වන දින දක්වා නඩුව කල් දමා තිබුණි. මෙලෙස නැවත නැවතත් අධිකරණයට යෑමට සිදුවීම ම නීතිම ය හිරිහැරයකි.

මකඩලපුවේ මාධ්‍යවේදී ශෂී පුණ්‍යමූර් ති දිගින් දිගටම මර්‍ධනයට ලක්වීම!

පෙර රජය පැවති සමයේ සිටම මාධ්‍යවේදී ශෂී පුණ්‍යමූර් තිගේ රාජකරීවලට පොලීසිය ඇතුළු ආයතනවලින් අඛණ්ඩ බාධා කිරීම් සිදු කර ඇත. 2023 සැප්තැම්බර් 8 වන දින මඩකලපුවේ පැවති විරෝධතාවයකට අදාළව ඔහුට එරෙහිව අසාධාරණ ලෙස නඩු පවරා ඇත. එම නඩුව විභාගයට ගත් ජනවාරි 22 වන දින, පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් සහ එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබා ගත්තේය. පොලිසිය විසින් ඉලක්ක කිරීම හේතුවෙන් මාධ්‍යවේදී පුණ්‍ය මූර් තිට සිය ප්‍රදේශයට යෑමට නොහැකි තත්වයක් උදා වී තිබෙන අතර, ඔහු අධිකරණ කටයුතුවලට සහභාගී නොවීමට හේතුව වී තිබුණේද එම තත්වයය.

වාර්‍තාකරණය අපරාධයක් වීම

 මීට අමතරව ජනවාරි 20 වන දින අරුණ පුවත්පතේ (දෙරණ මාධ්‍ය ජාලයට අනුබද්ධ) ප්‍රවෘත්ති කර්‍තෘ උදයජීව ඒකනායක අපරාධ විමර්‍ශන දෙපාර්‍තමේන්තුවට (CID) කැඳවීම FMETU හෙළා දකී. මෙය පදනම් වී ඇත්තේ සිය ප්‍රකාශය වැරදි ලෙස නිරූපණය කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් කරන ලද පැමිණිල්ලකි.

අරුණ පුවත්පත සිය පුවත නිවැරදි කරමින් සමාව අයැදීමක් පළ කළත්, එය නොතකමින් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව ඔහු කැඳවීම වාර්‍තාකරණය අපරාධ වරදකට හැරවීමකි. පොලිස් විමර්‍ශන නොමැතිව, මාධ්‍ය ආචාර ධර්‍ම මත පදනම ව පියවර ගැනීම මගින් වැරදි පුවත් නිවැරදි කිරීමේ හැකියාව තිබියදී මාධ්‍යවේදීන් බියගන්වන සංස්කෘතියක් නිර්‍මාණය කිරීමට මෙලෙස පොලීසිය වෙත කැඳවීම හේතු විය හැක.

ප්‍රමාද වූ යුක්තිය මැද නව සංස්කෘතියක්

කීත් නොයාර් සහ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන්ගේ ඝාතන සහ වධහිංසාවලට අදාළ නීතිමය ක්‍රියාමාර්‍ග කඩිනම කළයුතු සන්දර්‍භයක් තුළ මෙම සිදුවීම් සිදුවෙමින් පවතී. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීමට දරන උත්සාහය පිළිබඳ අප තුළ ප්‍රසාදජනක හැඟීමක් ඇති නමුත්, මාධ්‍ය නිදහස සීමා කිරීම සඳහා නීතිමය සහ අධිකරණමය යාන්ත්‍රණයන් යොදාගැනීම රජය එකම මොහොතක මාධ්‍ය පිළිබඳ පරස්පර පියවරයන් අනුගමනය කිරීම අනුමත කළ නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට මාධ්‍ය නිදහස අත්‍යාවශ්‍ය බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැඩි ලෙස අවධාරණය කරයි. වාර්‍තාකරණය අපරාධයක් ලෙස නොසැලකෙන නිදහස් හා ස්වාධීන මාධ්‍ය පරිසරයක් ආරක්ෂා කිරීමට රජයට යුතුකමක් තිබේ. මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමට හෝ විරුද්ධ මත නිහඬ කිරීමට නීතිමය සහ අධිකරණ මෙවලම් භාවිතා නොකළ යුතුය.

මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටින්නේ:

  1. මාධ්‍ය නිදහස අඩපණ කරන මාර්‍ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත සහ එවැනි මර්‍ධන නීති අහෝසි කිරීම.

  2. නීතිමය ක්‍රියාමාර්‍ග හරහා මාධ්‍යවේදීන්ට අධිකරණමය හිරිහැර කිරීම් සහ ඉලක්ක කිරීම් නැවැත්වීම.

  3. වාර්‍තාකරණය මර්‍ධනය කිරීම සඳහා පොලිස් සහ අධිකරණ යාන්ත්‍රණයන් අවභාවිතය නතර කරන්න.

  4. මාධ්‍යවේදීන් මර්‍ධනයට අදාලව රාජ්‍ය නිලධාරීන් සහ ආයතන වගවීමේ සංස්කෘතියක් නිර්‍මාණය කරන්න.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට පළිගැනීමේ බියෙන් තොරව ක්‍රියා කළ හැකි බව සහතික කිරීමට මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය කැපවී සිටී. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමට වහාම අර්‍ථවත් ක්‍රියාමාර්‍ග ගන්නා ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news