Thursday, December 5, 2024

මිලිටරි බුද්ධි ප්‍රධානියා ඉවතට; උද්ඝෝෂනය තුල පිහි ඇනුම පාර රාජ්‍ය ගේමක්?

(Sri Lanka Brief/04.12.20204)  පසුගිය 02 දින පැවැති අධ්‍යපන සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයට රහසිගතව ඇතුල් වී පොලිස් නිලධාරීන්ට  කැපුම් තුවාල ඇති කරන ලද්දේ සංවිධානාත්මකව රිංගවන ලද  යුද හමුදා බුද්ධි අංශ ඒජන්තයින් බව හෙළිදරව් වීමෙන් පසු මෙම සිදුුවීම  ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට පාර රාජ්‍යය  බලවේග ක්‍රියාත්කමවීමක් දැයි  සැක පහළ වී තිබේ.

එසේ අත් අඩංඟුවට ගන්නා ලද පුද්ගලයා තමා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බව පැවසීමෙන් පසු පොලිසිය නිදහස් කර තිබේ. ඔහුගෙන් පොලිසිය කිසිදු ප්‍රකාශයක් ගෙන නැත.

ඔහු සමග සිටි බවට සැක කරන දෙවැනි ඒජන්තයා අල්ලා ගැනීමට විරෝධතාකරුවන් අසමත් වී තිබේ.

මෙම පුද්ගලයා විරෝධතාකරුවන් අතර‍ට එවූයේ කවර ඉහළ නිලධාරියකු විසින් දැයි තවමත් හෙළි වී නැත. ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ද නැත.

පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදු කර ඇත්තේ පේපර් කටර් එකක් මගින් යැය කියැවේ. එවැනි පිහියක් රැගෙන යාම නීති විරෝධී නොවන නමුත් එය ඉතා තියණු තලයක් සහිත බැවින් මාරාන්තික තුවාල සිදු කළ හැකිය.

මේ අතර වාර්තා වන්නේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානී බිග්‍රේඩියර් චන්දික මහතන්තිල වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කර ඇති බවයි. ඔහු ආරක්ෂක අංශ මූලස්ථානයට අනුයුක්ත කර ඇත.

ඔහු වෙනුවට කිසිවකු පත් නොකරම ඔහු ඉවත් කිරීමෙන් පෙනෙන්නේ එය ඉතාම හදිසි තීරණයක් බවයි.

ඔහු මෙම තනතුරට  කරන ලද්දේ රනිල් රාජපක්ෂ ජනාධිපති සමයේය.

පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කැරෙන අවස්ථාවක දී ආත්මාරක්ෂාවට වෙඩි තැබීමට අවසර තිබේ. මෙම විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තැබූයේ නම් එය නව ආණ්ඩුවට මාරක අපලයක් වීමට ඉඩ තිබුණි.

පොලිසිය විරෝධතාකාරියකට ‘ගෙදර ගිහින් මිනිහා ලවා අන්නවා ගන්න’යි කියන තරමට වියරු වැටී සිටි බව ඒ අවස්ථාවෙහි කරන ලද පටි ගත කිරීම් පෙන්නුම් කරයි.

මෙම සිදුවීම මෙරට පාර රාජ්‍යයේ පරීක්ෂණ සැලසුමක් විය හැකි බවට එනම් මුට්ටිය දමා බැලීමක්දැයි විචාරකයෝ සැක පහළ කරති.

මෙම පිහි ප්‍රහාර විරෝධතාකරවන් අතර සිටි කල්ලියක් විසින් කරන ලද බවට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා ට්රුත් වෙබ් අඩවිය වාර්තා කළේය. එමගින් වරද පටවන ලද්දේ උද්ඝෝෂණයේ යෙදුන “ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව”ටය.

ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක විය හැකි බලවේග සිටින්නේ සාමකාමී විරෝධතාකරුවන් අතර නොවන බවත්, රාජ්‍ය යන්ත්‍රය තුල ක්‍රියාත්මක වන පාර රාජ්‍ය තුල බවත් ජවිපෙ තේරුම් ගෙන නැති බව පහත දැක්වෙන එම ලිපිය පෙන්වයි.

එම ලිපිය මෙසේය.

“ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයේදී පිහි කල්ලියක් ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස රජයට බල කරමින් එම විරෝධතාවය පවත්වනු ලැබීය. එහි සංවිධාන කටයුතු “ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව” නමින් හඳුන්වා ගත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබීය. ඔවුන් අතර සිටි පිහි කල්ලියක් ද ක්‍රියාත්මක වී ඇති බව පොලිස් නිලධාරීන්ට එල්ල කළ ප්‍රහාරයෙන් තහවුරු වී ඇති අතර සංවිධායකයින් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම විසඳීම සඳහා ආණ්ඩුව සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබියදී එම උද්ගෝෂණය පවත්වනු ලැබීය. එහිදී ප්‍රහාරයට ලක් වූ එක් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් තහවුරු කර ඇත.

ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරවීමේ අරමුණින් පොලිසිය සහ උද්ගෝෂකයන් අතර බරපතළ ගැටුමක් සාදා ගැනීම සඳහා සංවිධානාත්මකව එම පිහි ප්‍රහාර එල්ල කර ඇති බවට සැකයක් මතු වී තිබේ.”

Archive

Latest news

Related news