Friday, December 6, 2024

තාජුඩීන් සහ රතුපස්වල ඝාතන  යට ගැසීමට උත්සාහ කළ  පොලිස් නිලධාරියකුට ඉහළ තනතුරක්!

(SriLanka Brief/27.11.24)  තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලට අකුල් හෙලූ බවට චෝදනා ලද  විශ්‍රාමික පොලිස් නිලධාරියකුට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉහළ තනතුරක් පිරි නමා තිබේ.

එපමණක් නොව රතුපස්වල ඝාතන අවස්ථාවෙහි සිවිල් වැසියන්ට වෙඩි තැබූ පතුරම්වල හිස් කොපු එක් රැස් නොකරණ ලෙසට නියෝග කළ බවට ද ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය.

මෙම නිලධාරියා නම් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීරය. ඔහු එම තනතුරට පත් කරන ලද්දේ එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

ඝාතනය කරන ලද වසීම් තාජුඩීන්  පාවිච්චි කරන ලද   0777354500 දරණ දුර කථන අංකයට අයත් ඇමතුම් වාර්තාවක් මෙම නිලධාරියා ගේ නියෝගය පරිදි මුදල්  මංකොල්ල නඩුවකට සම්බන්ධ දුරකථන ඇමතුම් වාර්තා සමග ලබා ගත් බව අධිකරණය හමුවේ හෙළිදරව් විය.ඒ බව සඳහන් කළේ  2016 ජුනි 23 වන දින කොළඹ අතිරරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත තාජුඩීන් ඝාතනය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන ලද කොළඹ අපරාධ කොට්ඨාශයේ අංක 05 ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහය.  එම ප්‍රකාශය ඩයලොග් සමාගමේ ප්‍රධාන  විමර්ශන නිළධාරී ප්‍රේමසිරි රත්නායක විසින් අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තහවුරු කරන ලදී.

මෙම වාර්තා ලබා ගන්නා ලද්දේ අධිකරණ නියෝගයක් උඩ නොව වංචාකාරී ලෙසය.

මෙම දුරකතන වාර්තා නීති විරෝධී ලෙස ලබා දුන් ඩයලොග් සමාගමේ ප්‍රධානියා දැන් ආණ්ඩුවේ ඩිජීටල් වැඩ සටහනෙහි ප්‍රධානියාය.

කොට්ඨාශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර දැන් පොලිස් අමාත්‍යංශයේ උපදේශකයාය. ඔහුට වෙනම මේසයක් ද සහායකයින් ද සපයා තිබේ.

මෙලෙස මෙම විශ්‍රාමික නිලධාරියාට ඉහළ තනතුරක් පිරිනමා ඇත්තේ ඔහු ජාතික ජන බලවේගයට සහාය දුන් නිසා යැයි, ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එයත් හරියට වරක් කැළනිය වැද සියලු පව් සෝදා යැවීම වැනිය.

තාජුඩීන් ඝාතනය යට ගැසූ නිලධාරීන් දැන් යළිත් වරක් එම පරීක්ෂණයට අකුළ් හෙළනු ඇතති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Deep state නොහොත් පාර රාජ්‍යය  සිය අපරාධ හෙළිවීම වැළැක්වීමට සියලු වැර යොදනු ඇති බවට මෙය තවත් සාක්ෂියකි.

Archive

Latest news

Related news