Friday, December 6, 2024

උතුර – දකුණ එක්කළ අනුර කළ යුතු සහ නොකළ යුතු දේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි

මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ජාතික ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය. අවුරුදු 76 ක් පුරා ප්‍රධාන ධාරාවේ පැවැති ශාපලත් දේශපාලන පක්‍ෂ සහ දේශපාලන(අ)ඥයන් බොහෝදෙනෙකු මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත්කිරීමට හැකිවීම ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් ලැබූ විජයග්‍රහණයකි.

ඊටත් වඩා මෙම විජයග්‍රහණය අතිශයින් වැදගත් වන්නේ බෙදී ගිය උතුරත් දකුණත් එක්කළ ඓතිහාසික මැතිවරණය ලෙසයි. එය වනාහි ජාතියක් ලෙස අප ලැබූ අතිවිශිෂ්ටතම ජයග්‍රහණය වන අතර අනාගත ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ සහ ජාතික සමගියේ සමාරම්භයයි. එසේම අනුර ඇතුළු ජාතික ජනබලවේගයට බෙදා වෙන්කළ උතුරත් දකුණත් එක්කිරීමට හැකිවීම ජාතිකව සහ ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව ලැබූ විජයග්‍රහණයයි.

අප රට පාලනය කළ දේශපාලන නායකයින් හුදෙක් බලය ලබාගැනීමේ පටුපරමාර්ථයෙන් මෙතෙක් සිදු කළේ රටේ ජනතාව ජාති, ආගම් සහ භාෂා වශයෙන් බෙදා වෙන්කිරීමයි. දකුණේ දේශපාලන(අ)ඥයින් උතුරු-නැගෙනහිර ජනතාව කෙරෙහි දකුණේ ජනතාව තුළ වෛරය ඇතිකරවීය. උතුරු-නැගෙනහිර දේශපාලන(අ)ඥයින් දකුණේ ජනතාව කෙරෙහි උතුරු-නැගෙනහිර ජනතාව තුළ වෛරය ඇතිකරවීය.

පසුගිය දශක කිහිපය තුළම පැවැති ජාතීන් අතර අසමගිය නිසාම අප රටක් ලෙස අන්ත දුප්පත්කමටත් ජාත්‍යන්තරව දැඩි අපකීර්තියටත් ලක්විය. නමුත් මෙසේ දශක ගණනාවක් බෙදාවෙන්කොට සිටි උතුරු-දකුණු ජනතාව එක් ජාතියක් ලෙස එකමිටකට ගැනීමට කටයුතු කිරීම මෙවර මහමැතිවරණයෙන් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි. එය කිසිසේත්ම ආපස්සට හැරවීමට කුමන්ත්‍රණකාරී දේශපාලන(අ)ඥයින්ට ඉඩලබානොදීමට කටයුතු කිරීමට වගබලා ගැනීම රටේ සියළු පුරවැසියන්ගේ වගකීමයි.

දශක ගණනාවක සිට පැවැති ආණ්ඩු ගත් අදූරදර්ශී තීන්දු තීරණ නිසා රටේ ජනතාව කබලෙන් ලිපට ඇදවැටී කුසට නිසි අහරක් නැතිව ඇඳි වතත් අහිමිව සිටින යුගයක ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට සහ ගොඩගැනීමට සියළු ජාතීන් එක්කර ගැනීමට වගබලා ගැනීම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහ මහජන ඡන්දයෙන් තේරීපත් වූ අභිනව ආණ්ඩුවේ මූලික වගකීමයි. එමගින් සියළු අභියෝග ජයගෙන ජනතා ශුභසිද්ධිය ක්‍රමානුකූලව ඇති කොට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රටේ ජනතාවට උදාකර දීමට කටයුතු කළ යුතුය.

එසේම රටේ මහජනතාව විසින් ලබාදුන් අතිවිශිෂ්ට ජනතා වරමින් උමතු නොවී සුදුස්සන්ගෙන් සුදුසු කල රාජ්‍ය පාලනයට සහ ආර්ථික ස්ථායිකරණයට අවශ්‍ය නිවැරදි උපදෙස් ලබා ජනතා අභිලාෂයන් ක්‍රමානුකූලව ඉටුකිරීමට අනුර ජනාධිපතිවරයා අතුළු අභිනව ආණ්ඩුව සහ පාර්ලිමේන්තු නියෝජිතයන් වගබලා ගතයුතුමය.

මොරගස්වැවේ විජිත හිමි 

Archive

Latest news

Related news