Sunday, September 29, 2024

අනුර කුමාර දිසානායක: පොදු ජනයා වෙතින් ම පැමිණි පොදුජන නායකයා -මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පස කෙටි තාප්පය උඩ තරුණයින් කීප දෙනෙක් වාඩි වී කතා කරමින් සිටියේය. එක් අයෙක් අනුර කුමාර දිසානායක විය. (ඡායාරූපය කෝ පයිලට් හරහා නිර්මානය කරන ගත් එකකි. )

කාලය සමහරවිට 1998 හෝ 1999 විය හැක. මම මගේ පා පැදියෙන් විවෘත විශ්වවිද්‍යාලයට යාබද කොළඹගේ මාවත ඔස්සේ නාවල පාර දෙසට ගමන් කරමින් සිටියෙමි. කොළඹගේ මාවත නාවල පාරට වැටෙන මංසංධියේ විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පස කෙටි තාප්පය උඩ තරුණයින් කීප දෙනෙක් වාඩි වී කතා කරමින් සිටියේය. එක් අයෙක් අනුර කුමාර දිසානායක බව මම හැඳිනගත්තෙමි. ඊට පෙර අප දෙදෙනා එකිනෙකා මුහුණට මුහුණ අභිමුඛ වී නොතිබුණත්, අප දෙදෙනාම එකිනෙකා හදුනාගෙන කතාවට වැටුණි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරවේ දේශපාලන තුළට ශිඝ්‍රයෙන් අවතීර්ණ වෙමින් තිබීම එකල මගේ දේශපාලන මෙන්ම ශාස්ත්‍රීය උනන්දුවද වඩවා තිබූ මාතෘකාවක් විය. ඒ වගේම මා එකල කටයුතු කළ එක්ස් කණ්ඩායම තුළ ද ජවිපෙ ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ තහවුරු වීම පිළිබඳ සාකච්ඡාවක් පැවතුණි. මට අනුර කුමාර දිසානායක මුණ ගැසෙන්නේ මේ පසුබිම තුළයි.

“සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට පිටතින් පැමිණ තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කරන තරුණයෙක් මන්ත්‍රී ඇදුමකින් සැරසී පාර අයිනේ තාප්පයක් උඩ වාඩිවී සිටී. මේ තරුණයා ඊට දශක දෙකහමාරකට පසු රටේ ජනාධිපතිවරයා බවට පත්වීම අපූරු සංසිද්ධියකි.”

ඔහු ඒ අවස්ථාවේ පෙනී සිටි ආකාරය මට හොඳින් මතක තිබේ. ඔහු ඇඳ සිටියේ මන්ත්‍රීවරුන් අඳින වර්ගයේ කමීසයකි. ඒ එවකට ඔහු පලාත්සභා මන්ත්‍රීවරයෙකු වූ නිසා ය. සමහරවිට ඔහු පලාත් සභාවේ රැස්වීමකට සහභාගී වී පැමිණියා විය හැක. ඒ ඇඳුමත් සමඟ බුලත් විටක් සපමින් මහපාර අයිනේ තාප්පයේ වාඩි වී සිටීම කිසියම් නොගැලපෙන එකතුවක් මෙන් පෙනෙන්නට තිබුණි. මේ නොගැලපෙනසුළුබව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසෙමින් තිබූ ආකාරයේ සංකේතයක් මෙන් යැයි කිව හැක. සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට පිටතින් පැමිණ තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කරන තරුණයෙක් මන්ත්‍රී ඇදුමකින් සැරසී පාර අයිනේ තාප්පයක් උඩ වාඩිවී සිටී. මේ තරුණයා ඊට දශක දෙකහමාරකට පසු රටේ ජනාධිපතිවරයා බවට පත්වීම අපූරු සංසිද්ධියකි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීම ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බව නිසැකය. මීට පෙර මේ තනතුරට පත් වූ රණසිංහ ප්‍රේමදාස හා මෛත්‍රීපාල සිරිසේන ද සම්ප්‍රදායික ප්‍රභූ තන්ත්‍රයට පිටතින් පැමිණි අය වුවද ඔවුන් ඒ තනතුරුවලට පත්වූයේ පැවැති ප්‍රභූ සංස්ථාපිතය අභියෝගයට ලක්කරමින් නොවේ. නමුත් අනුර කුමාර දිසානායකගේ පත් වීම ඊට හාත්පසින්ම වෙනස්ය.

“ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පැමිණියේ සමාජයේ පහළ සමාජ පංති පසුබිම්වලිනි. එපමණක් නොව අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත් වීම එම පක්ෂයේ අභ්‍යන්තරයේ සමාජ සංයුතියේ විවිධත්වය දෙස බලන විට ද කැපී පෙනෙන සංසිද්ධියකි.”

ඔහු නායකත්වය දැරූ දේශපාලන ව්‍යාපාරය ලංකාවේ ස්ථාපිත දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට පිටතින් මතු වූ දේශපාලන ව්‍යාපාරයක් විය. එහි ක්‍රියාධරයින් මෙන්ම නායකයින් ද නිර්මාණය වූයේ මේ නිර්ප්‍රභූ සමාජ පසුබිමින් ම ය. මේ තත්වය අපට කිසියම් ආකාරයකට පැරණි වාමාංශික දේශපාලනයේ සමාජයීය අඩංගුව සමඟ සංසන්දනය කොට සලකා බැලීමට පුළුවන. පැරණි වාමාංශික පක්ෂ විසින් සමාජ ධූරාවලියේ පහළ සිටි ජනකොටස් හී විමුක්තිවාදී සමාජ දේශපාලන අභිලාෂ නියෝජනය කරනු ලැබූ නමුත් එම පක්ෂවල නායකත්වය පැමිණියේ ප්‍රභූ සමාජ පසුබිමකිනි.

මීට වෙනස් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පැමිණියේ සමාජයේ පහළ සමාජ පංති පසුබිම්වලිනි. එපමණක් නොව අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත් වීම එම පක්ෂයේ අභ්‍යන්තරයේ සමාජ සංයුතියේ විවිධත්වය දෙස බලන විට ද කැපී පෙනෙන සංසිද්ධියකි. අනුර දිසානායක අයත් වූයේ 1989 අග දී ජවිපෙ සන්නද්ධ නැගිටීම පරාජය වීම සහ එහි නායකත්ව ශ්‍රේණි කීපයක් ම රාජ්‍ය මර්ධන යන්ත්‍රය විසින් ඝාතනය කරුනු ලැබීමෙන් පසු මතු වූ තරුණ දේශපාලන ක්‍රියාධර පරම්පරාවකටයි. මේ තරුණ ක්‍රියාධර ශ්‍රේණිය සමාජයීය වශයෙන් පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකත්ව පෙළ පැමිණි සමාජ පසුබිමටත් වඩා පහළ පංතියකින් බව කිව හැක. මේ අය බොහෝ දෙනෙක් 1989 මර්ධනයෙන් යාන්තමින් ගැලවීගත් තරුණයෝ වූහ.

අනුර කුමාර දිසානායකගේ දේශපාලන චරිතාපදානය වනාහී 1989 මර්ධනයෙන් පසු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ යලි ගොඩනැංවීම සඳහා දරනු ලැබූ ප්‍රයත්නයත් සමඟ එහි ආරම්භක අවස්ථාවේ සිට ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වූ එකකි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනය මෙහි ලා වැදගත් කාර්යයක් ඉෂ්ට කළේය. ජවිපෙ ඉතිහාසයේ මෙම නව අවධිය සම්බන්ධයෙන් ශිෂ්‍ය දේශපාලනයේ තීරණාත්මක වැදගත්කම තේරුම් ගැනීමට බෙහෙවින් ම ඉවහල්වන සංසිද්ධියක් වන්නේ 1990ට පෙර යුගය හා ඊට පසු යුගය තුළ ජවිපෙ වෙත නව සාමාජිකයින් ආකර්ශනය වීම සම්බන්ධයෙන් පැවැති වැදගත් වෙනස් කමයි.

සුළුපටු නොවේ

පෙර යුගය තුළ ජවිපෙට තරුණ සාමාජිකයින් ආකර්ශනය කරගැනීම අතිශයින් පහසු කටයුත්තක් විය. 1960 දශකයේ මැද දී කීප දෙනෙකුගෙන් සමන්විත කුඩා රහසිගත කණ්ඩායමක් ලෙස ආරම්භ වූ දේශපාලන ගොනුවක් වසර හයක කාලයක් තුළ දසදහස් ගණනක් තරුණ තරුණියන්ගෙන් සමන්විතව සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීමට තරම් ශක්තිමත් ව්‍යාපාරයක් වීම සුළු පටු දෙයක් නොවේ. 1980 දශකයේ අග වනතෙක් ජවිපෙ කෙරෙහි වූ මේ තරුණ ආකර්ශනය ඉහළ මට්ටමකින් පැවැතිණි. නමුත් 1990න් පසු ජවිපෙ යලි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ කල්හී රැඩිකල් දේශපාලනය කෙරෙහි මේ තරුණ ආකර්ශනය පෙර පැවැති ආකාරයෙන්ම තිබුණේ නැත. ඊට හේතුව වූයේ ආර්ථිකයේ ව්‍යාප්තිය නිසා තරුණ රැකියා වියුක්තියේ සෑහෙන් අඩුවීමක් සිදු වීමයි. විශේෂයෙන් පුද්ගලික අංශයේ ශීඝ්‍ර වර්ධනය නිසා ග්‍රාමීය තරුණ පිරිස්වලට වැඩියෙන් රැකියා අවස්ථා විවෘත විණි. ග්‍රාමීය රැකියා වියුක්තිය ජනතා විමුක්ති පෙරමුණ වෙත තරුණයින් ඇදී ඒමට බලපෑ ප්‍රධාන සාධකය විය. වේගයෙන් ව්‍යාප්තවන ආර්ථිකය නිසා තරුණ පිරිස් අතර රැඩිකල් දේශපාලනය දෙස බැළීමේ නැඹුරුව සාපේක්ෂ වශයෙන් දුර්වල වී තිබුණ බව කිව හැක. ජනතා විමුක්ති පෙරමුණට විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනය අතිශයින් වැදගත් වන්නේ මේ පසුබිම තුළයි.

සාමාන්‍යයෙන් තවමත් විශ්වවිද්‍යාල රැඩිකල් වාමාංශික දේශපාලනය සඳහා තෝතැන්නක් විය. 1990 දශකයේ මුල් වර්ෂවල විශ්වවිද්‍යාල වෙත පැමිණි උපාධි අපේක්ෂකයින් තවමත් 1987-89 සන්නද්ධ නැගිටීම අත්දැක තිබූ, සමහරවිට ඒ සමඟ යම් තරමක සම්බන්ධකම් තිබූ පිරිසක් විය. විශ්වවිද්‍යාලවලට පිටතින් සිටි තරුණ පිරිස්වලට වඩා මේ විශ්වවිද්‍යාල උපාධි අපෙක්ෂකයින් තුළ රැඩිකල් දේශපාලනය සඳහා වැඩි නැඹුරුවක් දක්කට ලැබුණි.

අනුර කුමාර දිසානායකගේ දේශපාලන චරිතාපදානයේ ආරම්භය සිදුවන්නේ ජවිපෙ හී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරකම් හී මූලිකත්වයක් දැරූ ක්‍රියාධරයෙක් ලෙසටයි. ඔහු ඉක්මනින්ම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාධරයෙක් ලෙස මතු වේ.

1990 දශකයේ මුල්භාගය තුළ ජවිපෙ හී ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් බෙහෙවින් සීමිත ක්ෂේත්‍ර කීපයකට සීමා විය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් ඉන් වැදගත් ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම ආරක්ෂක අංශ මගින් ජවිපෙ කටයුතු තියුණු ලෙස නිරීක්ෂණය කරමින් සිටීම නිසා ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් හී නිරත වීම දුෂ්කර විය. එවැනි තත්වයක් තුළ විශ්වවිද්‍යාල ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලට ආරක්ෂිත ක්ෂේමභූමියක් විය.

1994

කෙසේ වෙතත් 1990 දශකයේ දෙවන භාගයේ දී තත්වය සෑහෙන තරමකට වෙනස් විය. විශේෂයෙන්ම 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් වූ පොදුජන එක්සත් පෙරමුණ සමඟ ඇති කරගනු ලැබූ එකඟතාවය ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසිද්ධ දේශපාලනය වෙත නැවත පැමිණීමට ආරක්ෂිත පැසේජයක් සකස් කර දුන්නේය. මෙය පශ්චාත් 1989 ජවිපෙ ප්‍රතිසංවිධානයේ නව අදියරක ආරම්භය විය. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි ඇති වී තිබූ ජනතා කලකිරීම ජවිපෙ විසින් අතිශය ප්‍රතිඵලදායක ලෙස භාවිත කරනු ලැබීය. මෙහි දී ජවිපෙ සතුව පැවැති ඉතා වැදගත් සම්පතක් වූයේ නව තරුණ දේශපාලන ක්‍රියාධරයින් පෙළක් නිර්මාණය වී තිබීමයි. 1990 දශකයේ දෙවන භාගයේ ජවිපෙ හී මැතිවරණ දේශපාලන සම්ප්‍රාප්තිය තුළ මේ තරුණ ක්‍රියාධරයින්ගේ මැදිහත් වීම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කළේය. අනුර කුමාර දිසානායක මෙම තරුණ කණ්ඩායමේ වැදගත් සාමාජිකයෙක් විය. මුළින් පලාත් සභාවට ද, පසුව වසර 2000 දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ද ඔහු තේරී පත් විය.

“පරිවාස ආණ්ඩුව”

21වන ශතවර්ෂයේ මුල් දශකය ජවිපෙ දේශපාලනය තීරණාත්මක පරීක්ෂාවකට ලක් කෙරුණු වකවානුවක් විය. පාර්ලිමේන්තු නියෝජනය සැලකිය යුතු ලෙස වර්ධනය වීම, පොදුජන එක්සත් පෙරමුණ සමඟ එක්ව “පරිවාස ආණ්ඩුව” ලෙස නම් කෙරුණ ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවීම, පසුව 2004 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සාංධානයක් ඇති කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රීවරු 39කගෙන් යුතු විශාල පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීම මෙහිලා අතිශයින් වැදගත්ය. මේ අවධියේ තීරණාත්මක අවසානය සලකුණු කෙරුණේ 2009 වර්ෂයේ දී හා 2012 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණ තුළ අභ්‍යන්තර දේශපාලන පිපිරීම් දෙකක් සිදු වීම මගිනි. මේ අභ්‍යන්තර පිපිරීම් දෙක ජනාතා විමුක්ති පෙරමුණ තුළ අනුර කුමාර දිසානායකගේ නැගීම නිර්වචනය කළ ප්‍රමුඛ සිදුවීම් දෙකක් විය.

වීරවංශ සහ ගුණරත්නම් කණ්ඩායම් ඉවත්වීම

පළමු ඛණ්ඩනයේ දී එවකට ජවිපෙ හී පොදුජන දේශපාලනය තුළ බෙහෙවින් ම ජනප්‍රිය තරුණ නායකයෙක් ලෙස මතු වී සිටි විමල් වීරවංශ තවත් පිරිසක් සමඟ පක්ෂයෙන් ඉවත් විය.

දෙවන ඛණ්ඩනයේ දී පක්ෂය තුළ සිටි පැරණි රැඩිකල් වාමාංශික දේශපාලන දැක්ම නියෝජනය කළ ප්‍රබල කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත් විය. පක්ෂ අභ්‍යන්තරයේ ඉහළ පෙළේ නායක කාර්යභාරයක් ඉෂ්ට කළ කුමාර් ගුණරත්නම් මේ විසම්මුතික කණ්ඩායමේ නායකත්වය හෙබවීය.

“මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ එම ජනාධිපතිවරණයේ දී තමන් ඍජු ලෙස සිරිසේනට සහය දෙන බව ප්‍රකාශ නොකලත් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජවිපෙ වේදිකාව මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රමුඛ සාධකයක් බවට පත් විය.”

පළමු ඛණ්ඩනය මගින් සලකුණු කෙරුණේ මේ වකවානුවේ ජවිපෙ දේශපාලනයේ මූලික සංඝඨකයක් වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී බලවේගය සමඟ පැවැති සංධානය බිඳි යාමයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශවයෙන් මේ සංධානයේ ප්‍රමුඛයා වූයේ විමල් වීරවංශයි. ඔහුගේ ඉවත් වීම සමඟ ජවිපෙ සමඟ කිට්ටුවෙන් කටයුතු කළ සිංහල-බෞද්ධ ජාතිකවාදී බලවේගය ජවිපෙන් සැලකිය යුතු ලෙස දුරස්ථ විය. දෙවෙනි ඛණ්ඩනය සැලකිය හැක්කේ ජවිපෙ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ රැඩිකල් අරටුවේ බිඳී යාමක් ලෙසටයි. ජවිපෙ අභ්‍යන්තර කාඩරයේ අතිවිශාල පිරිසක් මේ විසම්මුතික කණ්ඩාම සමඟ පක්ෂයෙන් ඉවත් විය.

2014 වර්ෂයේ දී අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත්වන්නේ මෙම තීරණාත්මක ඛණ්ඩනයන් දෙක නිසා සැලකිය යුතු ලෙස දුර්වල වී, එමෙන්ම 2010 මැතිවරණයේ දී සරත් ෆොන්සේකා සමඟ සංධානගතවී සිදු කරනු ලැබූ මැතිවරණ අත්හදා බැලීම ද අසාර්ථක වී පක්ෂයේ පොදු ජන පදනම මෙන්ම අභ්‍යන්තර යාන්ත්‍රණයද සැලකිය යුතු අභියෝගයකට ලක් වී තිබියදී ය. මෙහි දී නිරීක්ෂණය කළ යුතු ඉතා වැදගත් සංසිද්ධියක් වන්නේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වීම මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රයේ ජනප්‍රියත්වය හීනවීමත් සමඟ සමාන්තර වීමයි. ජාතික මට්ටමේ දේශපාලන නායකයෙක් ලෙස අනුර කුමාර දිසානායකගේ නැගීමේ ආරම්භය වන්නේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක ව්‍යාපාරය සමඟයි. මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ එම ජනාධිපතිවරණයේ දී තමන් ඍජු ලෙස සිරිසේනට සහය දෙන බව ප්‍රකාශ නොකලත් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජවිපෙ වේදිකාව මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රමුඛ සාධකයක් බවට පත් විය.

එතැන් සිට 2020 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පැවැති මැතිවරණ කීපයම ජවිපෙට වාසිදායක ඒවා වූයේ නැත. ඒවායේ ප්‍රතිඵල ජවිපෙ අපේක්ෂා කළ මට්ටමට වඩා බෙහෙවින් පහළ මට්ටමේ ඒවා විය. කෙසේ වෙතත් මේ යුගය තුළ කැපී පෙනන ලක්ෂණය වූයේ ජාතික මට්ටමේ ප්‍රමුඛ දේශපාලන භූමිකාකරුවෙක් ලෙස අනුර කුමාර දිසානායකගේ ජනප්‍රිය දේශපාලන ප්‍රතිරූපය ශ්‍රීඝයෙන් වර්ධනය වීමයි. සම්ප්‍රදායික දේශපාලන නායකත්වයන්ගේ යුගය ක්‍රම ක්‍රමයෙන් අහෝසි වෙමින් පැවැතිය දී අනුර කුමාර දිසානායකගේ මෙම නැගීම අතිශයින් බලපෑම් සහගත එකක් වූ බව කිව හැක.

2022 සිදු වූ තීරණාත්මක ජනතා නැගිටීම තුළ ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය උඩුයටිකුරු කිරීමත් සමඟ නිර්මාණය වූ තියුණ දේශපාලන හිඩැස තුළ අනුර කුමාර දිසානායක වඩාත් ආකර්ශනීය දේශපාලන නායකයා ලෙස මතු විය.

ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන නායකයෙක් ලෙස තහවුරු වීම සඳහා පොදුජනයාගේ දේශපාලන පරිකල්පනය තුළට නායකත්ව පෞරුෂයක් ලෙසට තීව්‍ර ලෙස ඇතුළු වීම අවශ්‍ය වේ. මේ තත්වය අපට අනුර කුමාර දිසානායක ගේ දේශපාලන නැගීම සිදුවන අවධිය තුළ ලංකාවේ පොදුජන දේශපාලන විඥානය තුළ ආධිපත්‍යය දැරූ මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෞරුෂය නිරීක්ෂණය කිරීමෙන් තේරුම්ගත හැක. ඇත්ත වශයෙන්ම, මේ සංදර්භය තුළ අභියෝගාත්මක වූයේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෞරුෂය සමඟ තරග කළ හැකි දේශපාලන පෞරුෂයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි ලංකාවේ දේශපාලන ප්‍රධාන ධාරාව තුළ පරිවාරය නියෝජනය කරන, එමෙන්ම පොදුජන දේශපාලන කතිකාව තුළ ‘විපක්ෂ දේශපාලනයට ගැලපුනත් රට පාලනය කිරීමට උචිත නොවේය’ වැනි ආකල්පයක් අධිපති දේශපාලන කතිකාව විසින් ස්ථාපිත කෙරී තිබෙන තත්වයක් තුළ පොදු ජනයාට ආකර්ශනීය එවැනි නායකත්ව පෞරුෂයක් නිර්මාණය කරගැනීම පහසු එකක් වූයේ නැත.

මෙහිදී ඔහුට පාර්ශව තුනකින් එල්ල වූ අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. පළමුවැන්න, විශේෂයෙන්ම ජවිපෙ හි 1990ට පෙර ඉතිහාසය පිළිබඳ පොදු ජන මතකයට ආමන්ත්‍රණය කරමින් ජවිපෙ යනු ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතියක් දරා සිටින, යල්පැනගිය මාක්ස්වාදී දැක්මක් සහිත සංවිධානයක්ය යන විවේචනයයි. මෙම විවේචනය විශේෂයෙන්ම ලංකාවේ ප්‍රභූ සමාජයට හා ව්‍යාපාරික තන්ත්‍රයට ආකර්ශනීය විය. දේශපාලන ව්‍යවහාරයේ තිබෙන භාෂාවෙන් කියනවානම් මේ විවේචනය අන්ත දක්ෂිණාංශයෙන් පැමිණි විවේචනයක් ලෙස සලකන්නේ නම්, අන්ත වාමාංශයෙන් පැමිණි විවේචනය වූයේ මෙහි අනෙක් අන්තයයි. ආන්තික වාමාංශිකයින් අනුර කුමාර දිසානායකට ගෙන ආ විවේචනය වූයේ ඔහු වාමාංශික පරමාදර්ශ පාවා දී ඇති ය යන විවේචනයයි. තුන්වන විවේචනය පැමිණියේ සිංහල-බෞද්ධ ජාතිකවාදී පාර්ශවයෙනි. ඔවුන් ගේ විවේචනයෙන් කියැවුනේ අනුර කුමාර දිසානායක විසින් ජනතා විමුක්ති පෙරමුණ සිංහල-බෞද්ධයාට සතුරු දේශපාලන කණ්ඩායමක් බවට පත් කර ඇත්තේය යන්නයි. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දෙස බැලූ කල අනුර කුමාර දිසානායකට ජනතාව වෙත යාමට සිදු වූයේ මේ විවේචක කේන්ද්‍ර තුනෙන් ම පැමිණි නොනවතින ප්‍රහාර මධ්‍යයේය. ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායකගේ විශාලතම ජයග්‍රහණය වන්නේ මේ විවේචන කේන්ද්‍ර තුනටම මුහුණ දෙමින් පොදු ජනයාට ආකර්ශනීය දේශපාලන නායකත්වයක් ලෙස මතු වීමට ඔහුට හැකියාව ලැබීමයි.”

සිළුමිණ පුවත්පතට සපයන ලද ලිපියකි.

Archive

Latest news

Related news