Friday, September 27, 2024

TISL ආයතනය විසින් සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරයි: ‘අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛනය දුර්වලයි!

2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා 2024 අගෝස්තු 06 වැනි දින නිකුත් කරන ලද පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් සැප්තැම්බර් 13 වැනි සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන ලදී.

මෙම සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට බෙහෙවින් අවශ්‍ය වූ දූෂණ විරෝධී මෙවලමක් වන ‘අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛනයක්’ (Beneficial Ownership Register) හඳුන්වා දී ඇත. අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛනය මගින් සමාගම් වල ලාබාංශ ආදියෙන් ප්‍රතිලාභ ලබන නියම හිමිකරුවන් හෝ ඒවායේ පාලනය හසුරුවන පුද්ගලයින්ගේ අනන්‍යතා හෙළිදරව් කිරීම අවශ්‍ය වනු ඇත. දූෂණයට එරෙහිව සටන් කිරීමේදී මෙම විනිවිදභාවය ඉතා වැදගත් වේ. මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් ගලා යෑම සහ රාජ්‍ය නිලධාරීන්ගේ බැඳියාවන් අතර ගැටුම් ආදියට එරෙහිව කටයුතු කිරීමට මෙම ලේඛනය උපකාරී වනු ඇත. එමඟින් සැඟවුණු මූල්‍ය ක්‍රියාකාරකම් සහ අයුතු ලෙස අදායම් ඉපයීම් පිළිබඳ සොයා ගැනීමට සහ හෙළිදරව් කිරීමට හැකි වේ. ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත අපරාධ වලින් උපයා ගත් දේපළ පිළිබඳ පනත වැනි තීරණාත්මක නීති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛන වැදගත් වනු ඇත.

කෙසේ වුවද, ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අනුව සකස් කරන අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛනයක ඇති ඵලදායීතාවය පිළිබඳ බරපතල ගැටලු මතු වෙයි. හුදෙක් නිෂ්ඵල වෑයමක් නොවීමට නම් අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛනය විනිවිදභාවයෙන් යුක්ත වීම අවශ්‍ය වේ. ගෝලීයව නිසි පිළිගැනීමක් නොලැබෙන්නේ නම්, මෙම ලේඛනය හඳුන්වා දීමේ අරමුණ අඩපණ විය හැක. ඇතැම් සමාගම් නිදහස් කර ඇත්නම් හෝ වැදගත් තොරතුරු සඟවා තිබේ නම්, ලේඛනය ඵලදායී නොවේ. නීති විරෝධී ක්‍රියාකාරකම් දිගටම කරගෙන යාමට එමඟින් ඉඩ සැලසේ. එනිසා අර්ථලාභී අයිතිය පිළිබඳ නීතිය හඳුන්වාදීමේ අරමුණ පරාජය වේ.

TISL ආයතනය ඉදිරිපත් කළ පෙත්සම පෙන්වා දෙන්නේ, පනත් කෙටුම්පතේ 130 අ (10) වගන්තිය මගින් සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති අක්වෙරළ සමාගම් හෝ විදේශීය සමාගම් අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමෙන් නිදහස් කර ඇති බවයි. එවැනි සමාගම් අර්ථලාභී අයිතිය සම්බන්ධයෙන් අදාළ රටවල ලියාපදිංචි වීම පමණක් ප්‍රමාණවත් වේ.

අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට වන නීතිමය බැඳීමෙන් අක්වෙරළ සහ විදේශීය සමාගම් නිදහස් කිරීම මගින් ෂෙල් සමාගම් (මුදල් විශුද්ධිකරණය වැනි වංචනික අරමුණු සඳහා නිර්මාණය කරන ලද අක්‍රිය සමාගම්)  පිහිටුවීම දිරිමත් කරයි. තවද, එවැනි විදේශීය සමාගම් අදාළ රටවල අර්ථලාභී අයිතිය සම්බන්ධයෙන් නිසැකවම ලියාපදිංචි වී ඇති බව මින් කිව නොහැක.

සමාගම් රෙජිස්ට්‍රාර්වරයා හරහා අර්ථලාභී අයිතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම පහසු නොවන තත්ත්වයක් යටතේ මෙවැනි නිදහස් කිරීම් මගින් විනිවිදභාවය අඩපණ කර බැඳියාවන් අතර ගැටුම් ඇතිවීමේ අවදානම වැඩි කරයි.

ඊට අමතරව, අර්ථලාභී සහ නීත්‍යානුකූල හිමිකරුවන් වෙනස් වන සමාගම්වලින් ඉල්ලා ඇත්තේ අඩු තොරතුරු ප්‍රමාණයකි. මෙම තත්ත්වය අර්ථලාභී අයිතිය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව බලාපොරොත්තු වන අරමුණට එකඟ නොවේ. එය විනිවිදභාවය සහ වගවීම යටපත් කරන අතර දූෂිත ව්‍යාපාරික භාවිතයන් වැළැක්වීමට සහ අධෛර්යමත් කිරීමට ඇති නීතිමය හැකියාව සීමා කරන බව TISL ආයතනය සඳහන් කරයි.

අර්ථලාභී අයිතිය හෙළිදරව් කිරීමේ ප්‍රතිපාදනයන් අදාළ වන්නේ දේශීය සමාගම් වලට පමණක් වන බැවින්, නීතියේ සමාන ආරක්ෂාව සඳහා වන මූලික අයිතිවාසිකම [ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1)] මේ හරහා උල්ලංඝනය වී ඇති බව  පෙත්සමෙහි දැක්වෙයි.

පනත් කෙටුම්පතේ 130 ඈ වගන්තිය අනුව, සමාගමක අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා දෙන්නේ යම් පුරවැසියෙක් එවැනි ඉල්ලීමක් කරන්නේ නම් පමණි. එලෙස ලබා ගත හැකි තොරතුරු සමාගමේ අර්ථලාභී අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම්,  සහ අර්ථලාභී අයිතිකාරිත්වයේ ස්වභාවය සහ ප්‍රමාණය යනාදියට සීමා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ මගින් තහවුරු කර ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතියට මෙම පනත් කෙටුම්පතේ 130 ඈ වගන්තිය මගින් බාධා සිදු වන බව TISL ආයතනය පෙන්වා දෙයි.

අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛනය නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් එහි සඳහන් තොරතුරු වලට මහජන ප්‍රවේශය තිබිය යුතුය. සමාගම්වල අර්ථලාභී අයිතිකරුවන් ප්‍රගාමීව හෙළිදරව් කිරීම දූෂණ අවදානම අඩු කරයි. සමාගම් අතර සැඟවී පවතින සම්බන්ධතා හෙළිදරව් වීම වෙළඳපොළ සාධාරණ තරඟකාරිත්වයකටද හේතු වේ.

අර්ථලාභී අයිතිය පිළිබඳ විනිවිදභාවයක් පවත්වා ගැනීම පුරවැසියන්ට, මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජයට සමාගම්වල සැබෑ හිමිකරුවන් හඳුනා ගැනීමට උපකාරී වේ. මේ නිසා නීති විරෝධී ක්‍රියාකාරකම් අධෛර්යමත් කෙරේ. සමාගම්වල විනිවිදභාවය වැඩි දියුණු කිරීම හරහා ආයෝජක විශ්වාසය වැඩි වන අතර ඔවුන් වංචනික ක්‍රියාකාරකම්වල නොදැනුවත්වම යෙදීම වළක්වා ගත හැකිය.

මහජන ප්‍රවේශය සහිත අර්ථලාභී අයිතිය පිළිබඳ ලේඛනයක් සකස් කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඇතිව සිදු කළ ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ තක්සේරුව යන වාර්තා දෙකෙන්ම රජයට නිර්දේශ කර ඇත. 2024 ජූනි මාසයේදී අත්සන් කරන ලද IMF සමාලෝචන ගිවිසුම අනුව සකස් කළ රජයේ ක්‍රියාකාරී සැලැස්මටද මෙය ඇතුළත් කර ඇත.

පනත් කෙටුම්පතේ 7 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14අ ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරන බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ලබා දෙන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත. මෙම කෙටුම්පත සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් බව නියම කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

TISL ආයතනය විසින් මහජන සුබසිද්ධිය සඳහා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. මෙම නඩුව ඊයේ (2024 සැප්තැම්බර් 18 බදාදා) සහ අද කැඳවනු ලැබීය.

සම්පූර්ණ පෙත්සම කියවන්න.

Archive

Latest news

Related news