Tuesday, August 20, 2024

ජනාධිපතිවරණ අපේක්ෂක වියදම් සීමා ගැසට්ටුව සම්පූර්ණයෙන්: ජන්දදායකයකුට රු. 109 බැගින් බිලියන1.87ක්

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස පවත්වනු ලබන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන සියළුම පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන්, වෙනත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්, ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයන් සඳහා 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මෙකී ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන්, ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කර, වීමසීමෙන් අනතුරුව එකී ඡන්ද විමසීමේ දී, තරග කරන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්‍ෂයක්, වෙනත් දේශපාලන පක්‍ෂයක්, අපේක්‍ෂකයෙකුව නාමයෝජනා කළ ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත් ඡන්දහිමියෙකු සහ අපේක්‍ෂකයෙකු විසින් වැය කළ යුතු වියදම් සීමා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලදුව මෙහි උපලේඛනයේ සඳහන් කොට ඇත.

—–

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා තරග කරන එක් එක් අපේක්ෂකයකු විසින් වලංගු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් රුපියල් 109.00 කට (රුපියල් එකසිය නවයකට) නොවැඩි මුදලක් බැගින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස 2024 ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළව වැය කළ හැකිය.

ඒ අනුව වියදම් කළ හැකි උපරිම වියදම් සීමාව රුපියල් 1,868,298,586.00 (එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක්) වේ.

02. මෙම ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකුට එකී මුදලින් 60% ක් හෙවත් රුපියල් 1,120,979,151.60 (රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක්) මුදලින් තම ප්‍රචාරණ වියදම් ලෙස දැරිය හැකි ය. එසේම, එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයකු නාමයෝජනා කළ ඡන්දහිමියා හට එකී මුදලින් 40% ක් හෙවත් රු 747,319,434.40 (රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් හාරසිය තිස් හතරයි ශත හතළිහක) මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් එම පක්ෂයේ ලේකම්ට හෝ ඡන්දහිමියාට වැය කළ හැකි ය.

03. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින විසි එකක් (21) ඇතුළත අදාළ පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්‍ෂකයාව නාමයෝජනා කළ ඡන්දහිමියා සහ අපේක්ෂකයා විසින් වෙන වෙනම සකස් කොට අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සනාථ කොට මැතිවරණ කොමිෂන් සහාව වෙත භාර දෙනු ලැබිය යුතු ය. අදාළ වාර්තාවේ,

i. පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්‍ෂකයාව නාමයෝජනා කළ ඡන්දහිමියා සහ අපේක්ෂකයා වෙනුවෙන් පිළිගනු ලැබූ හෝ භාරගනු ලැබූ පරිත්‍යාග හෝ දායකත්ව සහ එම පරිත්‍යාග හෝ දායකත්ව ද්‍රව්‍යමය වශයෙන් ලැබුණේ නම් ඒවායේ ඇස්තමේන්තු වටිනාකම, එකී දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන් ද යන වග,

ii. ඒ පරිත්‍යාග, දායකත්ව සිදු කළ තැනැත්තාගේ හෝ සංස්ථාගත කළ හෝ නොකළ පුද්ගල මණ්ඩලවල නම, ලිපිනය හා ජාතික හැඳුනුම්පත් අංකය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බදුකරු හඳුනාගැනීමේ අංකය (TIN අංකය) හෝ ලියාපදිංචි අංකය ද සඳහන් කළ යුතු ය.

මෙම වාර්තාවේ,

(අ) කුමන මාධ්‍යයක හෝ වෙනත් ආකාරයක කටයුතු පිළිබඳ වියදම් (ප්‍රචාරණ දැන්වීම්, අත් පත්‍රිකා, ධජ, පතාක, සිතුවම්, ඡායාරූප, දැන්වීම් පත්‍ර පෝස්ටර් ආදී),

(ආ) ගුවන්විදුලි හෝ රූපවාහිනී ප්‍රචාර ;

(ඇ) පුවත්පත්, වාර සඟරා, සමාජ මාධ්‍ය, ඩිජිටල් පුවරු හෝ ඕනෑම ඩිජිටල් මාධ්‍යක හෝ වෙනත් ප්‍රකාශනවල ;

(ඈ) වාහන ධාවනයට ඉන්ධන සැපයීම; ආදිය සඳහා ගෙවිම් සිදු කළේ ද නැද්ද යන්න තහවුරු කරන බිල්පත් කුවිතාන්සි ගෙවීම් රහිතව ලබා ගන්නේ නම් එම සේවාව ලබා දුන් තැනැත්තාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය ඇතුළත් කළ යුතු ය.

 මෙහිදී,

(අ) ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයා ප්‍රවාහන කටයුතු සඳහා සහ,

(ආ) ලිපිද්‍රව්‍ය, දුරකථන හෝ වෙනත් ආකාරයක සන්නිවේදන කටයුතු සඳහා කරනු ලැබූ වියදම ඉහත වාර්තාවට ඇතුළත් නොකළ යුතු ය.

04. එම ආදායම්/ වියදම් වාර්තා දින දහයක් (10) ඇතුළත ලැබීමෙන් අනතුරුව එම ප්‍රකාශන ලැබී ඇති බවට සහ ඒ වාර්තා ප්‍රකාශන යම් තැනැත්තකුට පරීක්ෂා කර බැලිය හැකි ස්ථානය හා වේලාවන් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් එක් ජාතික පුවත්පතක හෝ දැන්වීමක් පළ කරනු ලබනු ඇත.

05. ඕනෑම තැනැත්තෙකුට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරන ලද යම් ගාස්තුවක් ගෙවීමෙන් පසුව එම වාර්තා ප්‍රකාශවල පිටපතක් ලබා ගත හැකි වේ. අදාළ ගාස්තු ප්‍රමාණය එකී තේරීම්භාර නිලධාරීන් වෙතින් දැනගත හැකි ය.

06. පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්‍ෂකයාව නාමයෝජනා කළ ඡන්දහිමියා හෝ අපේක්ෂකයෙකු විසින් නියමිත දිනට අදාළ වාර්තා භාර නොදීම හෝ එකී වාර්තාවල දෝෂ සහිත වීම නීති විරෝධි ක්‍රියාවක් වන වරදක් සිදු කරන අතර, නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් කරනු ලබනු ඇත.

07. (1) 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්‍ෂකයාව නාමයෝජනා කළ ඡන්දහිමියා හෝ අපේක්ෂකයෙකු විසින් හෝ,

i.  යම් රජයේ දෙපාර්තමේන්තුවකින්, රාජ්‍ය සංස්ථාවකින් හෝ යම් කොටස් ප්‍රමාණයක් රජය විසින් හෝ යම් කොටස් ප්‍රමාණයක් රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් හිමිකාරීත්වය දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ හෝ සමාගම්වලට අදාළ පූර්ව කාලීන යම් ලිඛිත නීතියක් යටතේ සංස්ථාගත කරන ලද සමාගමක් වෙතින්;

ii. විදේශීය රාජ්‍යකින්, ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරනු ලැබූ පුද්ගල මණ්ඩලයකින්; සසස. ඍජුව හෝ වක්‍රව විදේශීය කොටස් හිමිකාරිත්වය සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරනු ලබන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ හෝ සමාගම්වලට අදාළ පූර්වකාලීන යම් ලිඛිත නීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද යම් සමාගමකින් ; හෝ

iii. අනන්‍යතාව හෙළි නොකරන ලද යම් තැනැත්තකුගෙන්; ඒ පිළිගත් දේශපාලන පක්ෂයේ, හෝ වෙනත් දේශපාලන පක්ෂයේ හෝ ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්‍ෂකයා විසින් මැතිවරණ ප්‍රවර්ධනය කිරීමේ හෝ ඊට ඉඩ සැලසීමේ කාර්යය සඳහා මුදලින් හෝ ද්‍රව්‍යමය ආකාරයකින් ඍජුව හෝ වක්‍රව ඒ පරිත්‍යාග හෝ දායකත්වයන් පිළිගැනීම හෝ භාර ගැනීම හෝ නොකළ යුතු ය. (2) (1) වන උප වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරනු ලබන යම් අපේක්ෂකයෙකු ඒ මැතිවරණය පවත්වන ලද ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනතේ අර්ථානුකූලව නීති විරෝධි ක්‍රියාවක් වන වරදක් සිදු කරනු ලබන අතර, නීති විරෝධි ක්‍රියාවක් වන වරදක් සම්බන්ධයෙන් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනත යටතේ පනවනු ලැබ ඇති දණ්ඩනයකට යටත් විය යුතු ය. ෑ

EOG 08-0233

Archive

Latest news

Related news