Tuesday, August 20, 2024

ජනාධිපතිවරණය ගැන කරුණු 30ක්: විධායක ජනාධිපති ක්‍රමය, දේශපාලන විසඳුම සහ 50+% නොහැකිවීම, සුලුතර වාර්ගික ඡන්ද සහ අනුර-සජිත් බලතුලනය

සුනන්ද දේශප්‍රිය.

  1. 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණයයි. ජනාධිපති ධූරය සඳහා තරඟ වාර්තා අපේක්ෂකයින් 39 කි. අපේක්ෂක ලැයිස්තුව මෙහි ඇත.

  2. මත විමසුම්වලින් පෙනී යන්නේ ඡන්දදායකයින් අතර සැලකිය යුතු ප්‍රසාදයක් ඇත්තේ අපේක්ෂකයින් තිදෙනෙකුට පමණක් බවයි. ඒ සමගි ජන බලවේගයේ නායක (සජබ) පනස්හත් වියැති සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක (ජාජබ) පනස් පස් වියැති අනුර කුමාර දිසානායක සහ ස්වාධීන අපේක්ෂක ජනාධිපති හැත්තෑපස් වියැති රනිල් වික්‍රමසිංහය.

  3. වික්‍රමසිංහ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම සාකච්ඡා කර වෙනස් කිරීමට මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දිසානායක සහ ප්‍රේමදාස යන දෙදෙනාම ශපථ කරයි. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා සත්‍ය හෙළිදරව් කර අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බවට පොරොන්දු වී ඇත්තේ ප්‍රධාන තරගකරුවන් අතරින් එම දෙදෙනා පමණි.

  4. ඉදිරි පෙළ අපේක්ෂකයින්ගෙන් කිසිවකු ව්‍යවස්ථාවෙහි 13 වන සංශෝධනය සහමුලින්ම ක්‍රියාත්මක කිරීමට හෝ උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කරන ලද ෆෙඩරල් විසඳුමට එකඟ වී නැත. මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට චිරස්ථායී දේශපාලන විසඳුමක් ලබා දීම පිළිබඳ ප්‍රශ්නය පසුබිමට තල්ලු වී තිබේ.

  5. ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම තරඟ කරන්නේ සන්ධාන හරහාය. ස්වාධීන අපේක්ෂක වික්‍රමසිංහට වඩා සුළුතර පක්ෂ සමගි ජන බලවේග සන්ධානයේ සිටී. ජාතික ජන බලවේග සන්ධානය තුළ සුළුතර දේශපාලන පක්ෂ නැත.

  6. රාජපක්ෂ පවුල ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් ජනාධිපති වික්‍රමසිංහගේ එජාපය සමඟ එක් වී ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්හත් වියැති නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වේ. ලාබාලම ජනාධිපති අපේක්ෂකයා ඔහුය.

  7. ඉතිරි ජනාධිපති අපේක්ෂකයින් අතරින් ප්‍රසිද්ධියක් ඇති අය හතර දෙනෙකි. ඒ අය නම් විවිධ ජනාධිපතිවරුන් යටතේ සිව් වතාවක් අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ, දෙරණ රූපවාහිනිය සහ මුද්‍රිත මාධ්‍ය ජාලයේ හිමිකරු, ගෝඨාභය රාජපක්ෂවාදියකු වූ දිලිත් ජයවීර,  අයිතිවාසිකම් සහ වාම ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ නුවන් බෝපගේ, හිටපු යුද හමුදාපති සහ 2010 විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා වූ පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් ආරියනේත්‍රන් ය.

  8. එක් අපේක්ෂකයකු සඳහා මැතිවරණ කොමිසමේ වියදම රුපියල් ලක්ෂ 2000ක් වන අතර ප්‍රධාන තරගකරුවන් තිදෙනා සහ නාමල් රාජපක්ෂ හැරුණ විට අන් බොහෝ අපේක්ෂකයින් ලක්ෂයකට එක බැගින් ඡන්ද 2000ක් වත් ලබා නොගැනීමට ඉඩ තිබේ.

  9. ඉන්දියාව සහ චීනය විසින් එම රටවලට සංචාරය කිරීමට නිල වශයෙන් ආරාධනා කරන ලද එකම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක පමණි.

  10. දෙමළ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ කිහිපයක පොදු දෙමළ අපේක්ෂකයා පී.ආරියනේත්‍රන් ය. ඔහුට සහාය දක්වන පක්ෂ වන්නේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ජනතා ජාතික සන්ධානය, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපිආර්එල්එෆ්), දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජාතික හරිත සංවිධානය, ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණය (ඊඑන්ඩීඑල්එෆ්) සහ සිවිල් සංවිධාන හතකි. ඒ අතර පාර්ලිමේන්තු මංත්‍රීවරු තිදෙනෙකු ද වේ. මෙම පක්ෂ සතුව සැලකිය යුතු ජන පදනමක් තිබේ.

  11. කලින් රාජපක්ෂවාදීන් වූ අන්ත සිංහල බෞද්ධ දේශපාලනඥයින් වන විමල් වීරවංශ (පා.ම.), උදය ගම්මන්පිල (පා.ම.) ගෙවිඳු කුමාරතුංග (පා.ම.) වැනි අයගේද වාසුදේව නානායක්කාරගේ කුඩා ට්‍රොට්ස්කිවාදී කණ්ඩායමෙහි සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහාය දිලිත් ජයවීරට ලැබේ.

  12. නීතිඥ නුවන් බෝපගේ නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. මාක්ස්-ලෙනින්වාදය අනුගමනය එය විප්ලවවාදී ජනතා අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගත යුතු බව විශ්වාස කරයි. එම පක්ෂය පාර්ලිමේන්තු දේශපාලනය විශ්වාස කරන්නේ නැත. නුවන් බෝපගේ ජන අරගල සන්ධානය නමැති පෙරමුණු සංවිධානයක් යටතේ කුඩ ලකුණින් තරග කරන අතර ගාලු මුවදොර ජන අරගලයේ ක්‍රියාකාරී වූ පිරිසකගේ සහාය ඔහුට ලැබේ.

  13. ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික හා දේශපාලන න්‍යාය පත්‍රය නව ලිබරල්වාදයයි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ න්‍යාය පත්‍රය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට සමීපය. ධනය නිපදවිය හැක්කේ ධනවාදයට පමණක් බව ඔහු ප්‍රකාශ කරයි.

  14. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති වඩාත් සමීප වන්නේ වාම සමාජවාදී ලිබරල්වාදයට ය. මාක්ස් ලෙනින්වාදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජාතික ජන බලවේගයට නායකත්වය සපයයි. අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයාද වේ. අන්තර් ජාතික වශයෙන් ජවිපෙ උතුරු කොරියාව, වෙනිසියුලාව, වියට්නාමය, කියුබාව වැනි රටවල් කෙරෙහි ධනාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

  15. පා.ම. සුමන්දිරින් සහ ෂානක්කියම් රාසපුත්‍රම් මංත්‍රීවරුන් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (හෝ දෙමළ ජාතික සන්ධානය) පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති අතර පොදු දෙමළ අපේක්ෂකයකු පිළිබඳ අප්‍රසාදය පළ කරයි.

  16. පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ සහ කජේන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික ජනතා පෙරමුණ ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රචාරක කටයුතුවල නිරත වේ.

  17. ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් මිලියන 1 (17100000) ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබයි. ඒ අතර නව ඡන්ද දායකයන් මිලියනයක් සිටී.

  18. ජනාධිපතිවරණයේ පළමු වටයේ ජයග්‍රහණය සඳහා අපේක්ෂකයෙකුට ව්‍යවස්ථාව අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50+% අවශ්‍ය වේ.

  19. ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 80% ක් සාමාන්‍ය පරිදි ඡන්දය ප්‍රකාශ කරනු ඇතයි උපකල්පනය කළ හොත් ආසන්න වශයෙන් ජන්දදායකයින් 13,680,000 (මිලියන 13.7) ජන්ද පොළට පැමිණෙනු ඇත. (17100000 න් 80% = 13,680,000) අපේක්ෂකයෙකු පළමු ගණන් කිරීමේදීම ජයග්‍රහණය කිරීමට නම් ආසන්න වශයෙන් ඡන්ද මිලියන 9 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත යුතුය (13,680,000 න් 50% = 6,840,000).

  20. තුන්කොන් තරගයක දී ඡන්ද සියයට 50ක් හෙවත් ලක්ෂ 69ක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි.

  21. කිසිදු අපේක්ෂකයෙකු 50+% ලබා නොගන්නේ නම්, පළමු සහ දෙවන තැනට පත්වන අපේක්ෂකයින් හැර, අන් සියලු ම අපේක්ෂකයින්ගේ දෙවන සහ තෙවන මනාප ගණන් කරනු ලැබේ. දෙවන සහ තෙවන මනාප ගණන් කරන ආකාරය මෙහි දැක්වේ. ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් වෙන දේ! 

  22. දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීමෙන් පසු පළමු සහ දෙවැනි අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙහි තීරණාත්මක වෙනසක් සිදු නොවුවහොත් පළමු තැනට පත් අපේක්ෂකයා ජනාධිපති  ලෙස තේරී පත් වෙයි.

  23. ඉහත දක්වන ලද සංඛයාවන් වාර්ගික වශයෙන් වෙන්කර බැලීම ද වැදගත්ය. ශ්‍රී ලංකාවේ ජනගහනය වාර්ගික වශයෙන් බෙදී යන්නේ මෙසේය: සිංහල 9% කි. ශ්‍රී ලාංකික දෙමළ 11.2%කි. ශ්‍රී ලංකා මුස්ලිම් 9.2%කි. කඳුරට දෙමළ 4.2%කි. අනෙකුත් 0.5%කි.

  24. ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 80% ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි උපකල්පනය කිරීමේදී, මිලියන 10 ක් පමණ (ප්‍රකාශිත ඡන්ද 13,680,000 සියයට 75ක් = 10,260,000) සිංහල ජාතිකයින් වේ. සුළුතර ඡන්ද මිලියන 3 ක් පමණ වනු ඇත. මෙම සංඛ්‍යාවෙන් 1,258,560 ක් මුස්ලිම් වේ. 1,532,160ක් ශ්‍රී ලංකා දෙමළ ජාතිකයන් වන අතර 574,560ක් උඩරට දෙමළ ජාතිකයෝ වෙති.

  25. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ බෙදී ගොස් ඇති බැවින් ද පොදු දෙමළ අපේක්ෂකයකු තරඟ වදින බැවින් ද ඉදිරි පෙළ තරගකරුවන් තිදෙනාටම එම ජන්ද විශාල ප්‍රමාණයක් නොලැබී යාමට ඇති ඉඩ වැඩිය.

  26. එබැවින් ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණයේ දී උතුරු-නැගෙනහිර දෙමළ ඡන්දවලට වඩා මුස්ලිම් ඡන්දදායකයින් සහ උඩරට දෙමළ ඡන්දදායකයින් තීරණාත්මක බලපෑමක් කරන්නට ඉඩ තිබේ.

  27. ඉදිරි පෙළ අපේක්ෂකයින් තිදෙනාගෙන් කිසිදු අපේක්ෂකයෙකුට සුළුතර ජාතීන් අතර අතිමහත් සහයෝගයක් දක්නට නොමැති බව සැකිල්ලට ගත යුතුය.

  28. අන්තර්ජාලය මත පදනම් වූ බොහෝ ඡන්ද විමසීම් පෙන්නුම් කරන්නේ අනුර කුමාර දිසානායක, යෞවනයන් අතර අතිමහත් ජනප්‍රියත්වයක් භුක්ති විඳින බවයි. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලංකිකයින් විශේෂයෙන්ම සිංහලයින් අතර අනුර කුමාර මහත් ප්‍රසාදයක් භුක්ති විඳියි. කෙසේ වෙතත්, සමහර මත විමසුම් අනුව දෙමළ සහ මුස්ලිම් ඡන්ද දායකයින් අතර ඔහුගේ ජනප්‍රියතාවය බෙහෙවින් අඩුය.

  29. මුස්ලිම් සහ කදුරට දෙමළ ජනයා අතර සජිත් ප්‍රේමදාසට තරමක වැඩි ප්‍රසාදයක් ඇති බව යම් ජනමත සමීක්ෂණ පෙන්වයි. ප්‍රධාන පෙළේ මුස්ලිම් සහ කඳුරට දෙමළ දේශපාලන නායකයින් බහුතරයක් සමගි ජන බලවේගය සමඟ සිටී.

  30. රනිල් වික්‍රමසිංහ සිටින්නේ, ජනමත සමීක්ෂණ සහ බැලූ බැල්මට පෙනෙන පරිදි තෙවැනි ස්ථානයේය.

20.08.24

ඉහත ඡායාරූපය දිවයින පුවත්පතිනි.

Archive

Latest news

Related news