Wednesday, August 14, 2024

ඉදිරි මැතිවරණවලදී ස්ත්‍රී නියෝජනය ඉහල නංවන්න! – ලක්බිමේ මව්වරු සහ දියණියෝ ඉල්ලයි

ජනාධිපතිවරණයෙන් පසු එළඹීමට නියමිත මහා මැතිවරණයේදී සහ පළාත් සභා මැතිවරණයේ දී ස්ත්‍රී නියෝජනය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස  ලක්බිමේ මව්වරු සහ දියණියේ සංවිධාන ජාලය සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

එම නිවේදනය මෙසේය:

2024 සැප්තැම්බර් 21 දා  ශ්‍රී ලංකාවේ පැවැත්වෙන  ජනාධිපතිවරණය සඳහා  දැනටමත් අපේක්ෂකයින් 22ක් ඇප මුදල් තැන්පත් කර ඇත.

ඒ සැමදෙනාම පිරිමිය. ඒත් රටේ ජනගහනයෙන් සියයට 52ක්ම ස්ත්‍රීන්ය.

එක ස්ත්‍රියක්වත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණේ ඇයි? ඒ ස්ත්‍රීන් රට පාලනය කිරීමට අපොහොසත් නිසා නොවේ. මීට පෙර ස්ත්‍රීන් දෙදෙනෙක්ම  මේ රට පාලනය කර තිබේ.

ලෝකයේ බොහෝ රටවල සාර්ථක ස්ත්‍රී නායකත්වයන් අදත් දක්නට ඇති අතර ඊට පෙරත් තිබී ඇත. ලෝකයේ බොහෝ අන්තර්-රාජ්‍ය සංවිධානවල ස්ත්‍රීහු නායකත්වය දරති. අපේ රටෙත් උදාහරණයක් විදිහට මානව හිමිකම් කොමිසමෙහි ආදර්ශමත් ස්ත්‍රී නායකත්වයන් තිබී ඇත. අද ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ කරන්නේ ද ස්ත්‍රියක්ය.

නමුත් මෙරට දේශපාලන පක්ෂ ස්ත්‍රීන් නායකත්වයට ගැනීමට උනන්දුවක් නොදක්වයි. අපේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂ හැටකට අධික සංඛ්‍යාවක් ඇතත්, ස්ත්‍රියක් නායකත්වය දරන පක්ෂ ඇත්තේම නැත. නායකත්ව මණ්ඩල වල ස්ත්‍රීන් අතළොස්සක් පමණ සිටින්නේ පක්ෂ තුනක පමණි. අඩුම වශයෙන් මේ කවර පක්ෂයක්වත් ජාතික සංවිධායක, පක්ෂ ලේකම් වැනි ප්‍රධාන තනතුරකට හෝ ස්ත්‍රියක් පත්කර නැත. මේ රටේ  දක්ෂ ස්ත්‍රීන්ට නායකත්වයට ඒමට අවස්ථාවක් නොලැබේ. එම දේශපාලන ව්‍යුහයන් සකස් කර තිබෙන්නේම පිරිමින්ට නායකත්වය ලැබෙන ආකාරයටය.

 මේ හැම පක්ෂයක්ම බලයට ඒම සඳහා ස්ත්‍රීන්ගේ ඡන්ද ඉල්ලා ගෙන එන නමුත් ස්ත්‍රියට දේශපාලනය තුළ සමාන තැනක් දීමට ප්‍රමාණවත් උත්සාහයක් නොගනී.

සමාජයේ සියයට 52ක් වන ස්ත්‍රීන්ට සමාන ලෙස සැලකීමට අසමත් වීමෙන් පෙනී යන්නේ ඉදිරිගාමී දේශපාලන දැක්මක අඩුවකි. එය සමාජයටම බලපායි. මේ තත්වය දිගටම පවතින්නේ පසුගාමී දේශපාලන සංස්කෘතිය නිසාය.

මෙය හුදෙක් දේශපාලන පක්ෂ පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ.  සමාජයේ සෑම ආයතන ගත රටාවකටම දක්නට ලැබෙන ගැටලුවකි. බාලිකා නායකත්වයට පාසැලේදී තැනක් නැත. පාසල් නායකත්වය තනිකරම පිරිමි ආධිපත්‍යයකි. සියලු සමාජ, ආගමික, ආර්ථික, දේශපාලන පද්ධති තුළ පුරුෂ මූලික ආකල්ප මුල්බැස තිබීම මෙයට ප්‍රධාන හේතුවයි.

අප සමාජයේ පවතින කායික සහ මානසික ආර්ථික ප්‍රචණ්ඩත්වයත් ස්ත්‍රිය සමාජ දේශපාලන වශයෙන් ඉදිරියට ඒම වළක්වයි.

ස්ත්‍රීන්ට සමාන අවස්ථාවන් නොදෙන පුරුෂ කේන්ද්‍රීය සමාජයක් ඉදිරියට නොයයි. දේශපාලනය තුළ ස්ත්‍රී සහභාගිත්වය සහතික කිරීම, ඔවුන්ට වඩ වඩා අවකාශ ලබා දීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලි යැයි කියන පක්ෂ සහ සංවිධානවල යුතුකමක් සහ වගකීමක් වේ.

ජනාධිපතිවරණයෙන් පසු එළඹීමට නියමිත මහා මැතිවරණයේදී සහ පළාත් සභා මැතිවරණයේ දී ස්ත්‍රී නියෝජනය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස  ස්ත්‍රී සංවිධාන ජාලයක් වශයෙන්  සැමගෙන් අපි ඉල්ලා සිටිමු . එවැනි පොදු අරමුණක් වෙනුවෙන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලි බලවේග සහාය දෙනු ඇතැයි යනු අපේ අපේක්ෂාවයි.

Archive

Latest news

Related news