Wednesday, July 24, 2024

දේශබන්දු කොට උඩ! පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කරනු ලැබීය.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළේය.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බව ය.

ඒ අනුව අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වනතෙක් වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම, බලතල ක්‍රියාවේ යෙදවීම, රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කරන බවත් විනිසුරු මඩුල්ල විසින් සඳහන් කරනු ලැබීය.

ඉන් අනතුරුව පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් මස 11වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නම නීත්‍යානුකූලව අනුමත කර නැහැ’

මෙම පෙත්සම් සලකා බැලීම දින ගණනාවක් තිස්සේ නියමිත අධිකරණ රාජකාරී කාලසීමාව අභිබවා ගොස් පැවැත්වීමට සිදු වූ බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණයට ලබා දුන් එම සහයෝගය සම්බන්ධයෙන් සියලු නීතිඥවරුන්ට ස්තුතිය පළ කරන බවත් කියා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඇතුළු පාර්ශවකරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා තිබුණේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නීත්‍යානුකූලව අනුමත කර නොමැති බව ය.

පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදයක සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්ද හතරක් සහ විරුද්ධව ඡන්ද දෙකක් ප්‍රකාශ වූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් සඳහන් කර ඇත.

එසේ ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටි සාමාජිකයින් දෙදෙනා අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ බව නිගමනය කරමින් කථානායකවරයා සිය තීරක ඡන්දය භාවිතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පටහැනි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත වී නොමැති නිසා ඒ මත පදනම්ව ජනාධිපතිවරයා විසින් සිදුකළ එම පත්වීම සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ බල රහිත බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සඳහන් කර තිබේ.

බීබීසී මංඑල සේවයෙනි.

Archive

Latest news

Related news