Tuesday, July 16, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය: අගෝස්තු 30ට පෙර වන්දි ගෙවා අවසන් කරනු! සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට අදාළව වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගෙවීමට නියමිතව ඇති වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 15 වැනිදා) නියෝග කළේය.

එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඉතිරි මුදල ගෙවීමට වසර 6ක කාලයක් ලබා දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වන්දි ගෙවීම පැහැරහළ හිටපු ජනපති මෛත්‍රීට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝග මොනවා ද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නොමැති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් ඔවුන් සතු වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් 2023 දෙසැම්බර් මස 30 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව, 2019 වසරේ ප්‍රේල් මස 19 වැනිදා සිට 2023 වසරේ නොවැම්බර් මස දෙවැනිදා දක්වා කාලසීමාව තුළ අදාළ වගඋත්තරකරුවන් සතු වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුළත් විය යුතු බව අධිකරණය සිදුකළ නියෝගයේ සඳහන් වුණි.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් මේ දක්වා ගෙන තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් ද දෙසැම්බර් මස 30 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේ ය.

නියෝග ලබාදුන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විය.

ජුනි මාසෙන් පසු වන්දි ගෙවා නැහැ

වගඋත්තරකරුවන් විසින් මෙතෙක් වන්දි මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් 2023 දෙසැම්බර් මස 30 වනදාට පෙර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නීතිපතිවරයාට නියම කළේ ය.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී වග උත්තරකරුවන්ට අදාළව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු පැන නොනගින බව විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළෝ ය.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට නියම කෙරුණු රුපියල් මිලියන 10 වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙන හෙයින් ඔහු මෙම නඩු විභාගයෙන් මුදා හැරීමටත් අධිකරණය තීරණය කළේ ය.

පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් කෙරිණි.

පෙත්සම් 2023 (නොවැ 2) යළි කැඳවූ අවස්ථාවේ දී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව ඉකුත් ජූනි මාසයෙන් පසු කිසිදු වන්දි ගෙවීමක් සිදුවී නොමැති බව ප්‍රකාශ කළේ ය.

හිටපු ජනපති වන්දි ගෙවන්නට වසර 10ක් ඉල්ලයි

ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මෙසේ ද ප්‍රකාශ කළේ ය: “ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වන්දි අරමුදලක් ස්ථාපිත කළේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට වන්දි ගෙවන්න යි. එහෙත් වන්දි ගෙවීම සඳහා වගඋත්තරකරුවන් විශාල කාලයක් ඉල්ලා සිටිනවා නම් වින්දිතයින්ට වන්දි ගෙවන්නේ කෙසේ ද?

“හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම කළ වන්දිය ගෙවීම සඳහා වසර 10ක කාලයක් ඉල්ලා තිබෙනවා. ඒක විශාල කාලයක්. හිටපු ජනාධිපතිවරයෙකුට මේ වගේ කාලයක් ලබා දුනහොත් සෙසු පුද්ගලයින් ද ඒ වගේ ම කාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම උනාම වන්දි ගෙවන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. වින්දිතයින් තව තවත් පීඩාවට පත්වෙනවා,” ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනු කර තිබූ මෝසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා අධිකරණ නියෝගයට අවනත වෙමින් කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළේ ය.

“ස්වාමීනි මාගේ සේවාදායකයා රාජකාරිය පැහැර හැරීමක් සිදු කර නෑ. ඔහු අධිකරණ නියෝගයට අවනතව කටයුතු කර තිබෙනවා. රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය ඔහුට නියෝග කළා. ඉන් රුපියල් මිලියන 15ක් ඔහු දැනටමත් ගෙවා තිබෙනවා. ඉතිරිය වාර්ෂිකව රුපියල් ලක්ෂ 50 බැගින් වසර 10කින් ගෙවා අවසන් කරන්න ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිනවා.

“හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මාගේ සේවාදායකයා තමන්ට හිමි අදායම් අධිකරණය හමුවේ පැහැදිලි කර තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඔහුට අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ඉදිරිපත් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නෙ වන්දි අය කර ගැනීම සඳහා පත්කර තිබෙන අධිකරණයක් නොවෙයි,” ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ආන්දෝලනාත්මක චැනල් ෆෝ නාලිකාව පසුගියදා ප්‍රචාරය කළ වීඩියෝ පටයෙන් එල්ලකර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව විසින් තේරීමේ කාරක සභාවක් පත් කරන්නට තීරණය කර තිබෙන බව සඳහන් කළේ ය.

එබැවින් අදාළ තේරීම් කාරක සභාවේ තීරණයක් ලැබෙන තුරු මෙම නඩු කටයුතු කල් තබන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

‘මාගේ සේවාදායකයාට වන්දි ගෙවන්න මුදල් නැහැ’

ඉන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයාට ගෙවන ලෙස නියම කෙරුණු රුපියල් මිලියන 75ක වන්දි මුදලින් ඔහු විසින් රුපියල් මිලියන 4.1ක මුදලක් ගෙවා තිබෙන බව ප්‍රකාශ කළේ ය.

“ස්වාමීනි මාගේ සේවාදායකයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඔහුට සිය පොලිස් රාජකාරී ජීවිත කාලසීමාව තුළ වැටුප් වශයෙන් ලැබී තිබෙන මුදල රුපියල් මිලියන 21ක් පමණයි. කැනේඩියානු තානාපති කාර්යාලයේ සේවය කරද්දී කැනේඩියානු ඩොලර් මිලියන හතරක් ද උපයාගෙන තිබෙනවා. ඒ තමා ඔහු සතු සමස්ත වත්කම.

“මාගේ සේවාදායකයාට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් විසින් මීගමුව දිසා අධිකරණයේ නඩු 182 ද කොළඹ දිසා අධිකරණයේ නඩු 116 ද ගොනු කර තිබෙනවා. එම නඩුවලින් රුපියල් බිලියන දෙකකට අධික වන්දියක් වින්දිතයින් විසින් මාගේ සේවාදායකයා ගෙන් ඉල්ලා තිබෙනවා. මාගේ සේවාදායකයාට වන්දි ගෙවන්න මුදල් නැහැ. ඔහු සිරගත කිරීමට යි මේ ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ. මාගේ සේවාදායකයා හිතා මතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමක් කර නෑ.”

එසේම, ඔහුගේ සේවාදායකයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර ප්‍රකාශ කර සිටියේ ය.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යමල් කොල්ලුරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා විශ්‍රාමික රාජ්‍ය සේවයකයෙකු බව පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ඔහු විසින් හිතාමතාම පැහැර හැරීමක් සිදු කර නොමැති බව ඔහු කියා සිටියේ ය.

‘වන්දි ගෙවන්න වසර 10ක් ඉල්ලීම වින්දිතයින්ට මෙන්ම අධිකරණයට ද කරන අපහාසයක්’

මෙහිදී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් යම් පාර්ශවයක් ක්‍රියාත්මක කිරීම පැහැර හරින්නේ නම් එය බරපතල තත්ත්වයක් බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට නියමිත හෙයින් එහි තීරණය ලැබෙන තුරු මෙම නඩුවේ කරුණු සලකා බැලීම අත්හිටුවන ලෙස කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

සම්පූර්ණ වන්දි මුදල් ගෙවීම අපහසුයැයි වගඋත්තරකරුවන් ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කැඳවා විමර්ශනයක් පවත්වා සුදුසු නියෝග නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන පෙන්වා දුන්නේ ය.

තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම සඳහා වසර 10ක වැනි කාලයක් ඉල්ලා සිටීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙන්ම අධිකරණයට ද කරන අපහාසයක් බව ප්‍රකාශ කළේ ය.

තවත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී පෙරේරා ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි වන්දි ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අධිකරණ නියෝගය පරිදි වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ඔහුගේ සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා ගොනු කළ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සිදු කෙරුනු මූලික විනය පරීක්ෂණයට අදාළ වාර්තාවක් එම පරීක්ෂණ කමිටුව විසින් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර ඇති බව ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම විසින් ඊට අදාළ වැඩිදුර කරුණු විනය පරීක්ෂණ කමිටුව වෙත යොමුකර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඉහත නියෝග නිකුත් කළේ ය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

බීබීසී සිංහල වේ අඩවියෙනි.

Archive

Latest news

Related news