Tuesday, July 16, 2024

වළෙන් නැගිටි මරා, රනිල් රාජපක්ෂගේ පෙට්ටියේ අන්තිම ඇනය ගහයි. – සුනන්ද දේශප්‍රිය

කලකට පසු මරා නොහොත් මහින්ද රාජපක්ෂ කට ඇර තිබේ. දේශපාලනික වශයෙන් පරාජිකා වී අත්‍යන්ත දූෂිත රාජ්‍ය පාලකයකු ලෙස පිරිහීමට පත් මරා මේ තාක් සිටියේ නැගිට ගැනීමට බැරි  දේශපාලන මිනී වළකය.

අරගලය විසින් පලවා හරින ලද රාජපක්ෂ පවුුලට තිබූ පාර්ලිමේන්තු බලයද, රනිල් රාජපක්ෂ වරදාන පුදා ඩැහැ ගනු රාජපක්ෂවරු බලා සිටියේ ඇඬූ කඳුළෙනි.

බලය ලද සැණින් තමා කපටි වෘකයකු බව යළි දත් විළිස්සා පෙන්වූ රනිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ පවුල හාන්සි කෙරෙව්වේය .

අනෙත් අතට මරාගේ සහ පවුලේ කෙරුවාව නොදන්නා කෙනෙක් නැත. වැඩකට නැති සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා පිටි, වරාය වැනි ආයතන තමන්ගේ නමින් ලියා ගැනීමට මරාට  තිබුණේ උන්මාදයකි.

නීතියේ පාලනය කුණූ කූඩයට දැමූ මරා, මානව හිමිකම් කොමිසම, අල්ලස් සහ දූෂණ කොමිසම වැනි ආයතන ස්වකීය හෙංචයින්ගෙන් පිරෙව්වේය.

මරා සුනාමි හොරෙක් බව කීවේ වෙනින් කව්රුවත් නොව මරාගේම අගවිනිසුරු වූ සරත් සිල්වාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ එමිරේටස් ගුවන් සේවය සිය දොළ දුක පිනිස පළවා හැර ශිරන්තිගේ මලයාට දුන්නේ මරාය. එදා සිට අද දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩු බිලියන සිය ගණනාවකි. එම පාපය තනිකරම මරාගේ උන්මාදයේ විපාකයකි.

මෙවැනි සිදුවීම්හි අවසානයක් නැත. පොතක් ලිවිය හැක. පොත් ලියා තිබේ.

තමාගේ බිරිඳ ගොස් ආරම්භ කර ප්‍රකෝටි ගණනින් වැය කර තැනූ මාල්වානේ මාලිගය, මරාගේ මලයා බරා තමාගේ නොවේ යැයි අත හැර දමා හිරේ යාමෙන් බේරුනි.

මරාගේ බාල මලයා, ගෝරා රට නැත්තටම නැති කළේය. ගෝරාට තිබූ පිස්සුව එසේ මෙසේ එකක් නොවේ. මීනී මොරුන් සහ අලි පැටවුන් ඇති කරමින් මෙරට ජනයා වළපල්ලටම ඇද දැමුමේ රාජපක්ෂ සාපය උපරිමයට ගෙන යමිනි.

මරා අවසානයේ දී සිය පවුලට තවත් රාජපක්ෂ කෙනෙකු ලබා දෙමින්, සියයට 2කේ රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂවරයකු ලෙස බව්තීස්ම කර ජනාධිපති පුටුවට ගෙන ආවේය.

බැදුම්කර මගඩියේ සිට වීසා මගඩිය දක්වා වන කටු ඉඹුලින් ගෙල සරසා ගෙන ඇති රනිල් ද රාජපක්ෂ පවුලට ජාඩියට මූඩිය මෙන් විය.

නැගී ආ මහජන විරෝධයෙන් මුවා වීමට, රනිල් රාජපක්ෂ, රාජපක්ෂ පවුලට පළිහක් බවට පත් විය. රනිල් රාජපක්ෂ ඒ පළිහම යොදා ගනිමින් රාජපක්ෂ බල කඳවුරෙහි බෙලි කැපුවේය.

අද මෙරට ජනතාවට එපාම වූ දේශපාලන කල්ලියක් ඇතොත් ඒ රාජපක්ෂ හැතිකරය වේ. මරා සහ බරා එහි ඉහළම ගන්දස්කාරයයි.

පසුගිය දා මරා සහ බරා යන දෙදෙනාම එළඹෙන ජනධිපතිවරණයේ දී තම සහාය රනිල් රාජපක්ෂට බවට සපථ කළහ.

දැන් අපට දකින්නට ලැබෙනු ඇත්තේ කලකින් නොදුටු ජව්සමකි. රාජපක්ෂ පවුලට විරුද්ධව ජිනීවාහි එක්සත් ජාතිත් හමුවේ මොරදුන් ඊනියා මානව හිමිකම් කෙරුමන්ලා සහ කෙරමියන්ලා දැන් රාජපක්ෂට ආයු බෝ වේවා කියන පෙරහැරේ රෙදි නැතුව රඟනු ඇත. රාජපක්ෂලාගේ ලේ ඉල්ලූ පොන්සේකා සහ පරාජිත ද ගිනි බෝල කරකවනු ඇත. නාමල් කුස්සියට වී පොල් ගානවා ඇත. ධම්මික අයියෝ මගේ සල්ලි යැයි ඊළග බදු වංචාවට සැරසෙනු ඇත.

දූෂණයෙන් කප් ගසා සිටින බව රටම දන්නා රාජපක්ෂ පවුලේ සහාය යනු රනිල් රාජපක්ෂට ඇතුවත් බැරි නැතුවත් බැරි උරචක්‍ර මාලාවකි. මෙය මැරෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලීම වැනි දුක හිතෙන කතාවකි.

මෙය විය යුතුම දෙයකි. තමන්ගේ වළ තමන්ටම කපා ගැනීමට වීම මෙරට ජනයා රාජපක්ෂවරුන් වෙත ලක්ෂ සංඛ්‍යාත සුසුම් මගින් එල්ල කල සාපයේ විපාකයයි.

අනෙත් අතට මේ වනාහී දැනටමත් ජනාධිපති තරඟයේ තුන්වැනියා බවට පත්ව සිටින රනිල් රාජපක්ෂට කල් තබා ලැබුණු මල්වඩමකි.

ඇත්ත වශයෙන්ම නම් මරා සහ බරා කළේ සිය පවුලේ ආගන්තුකයා වන රනිල් රාජපක්ෂගේ මිනී පෙට්ටියේ අන්තිම ඇනය ගැසීමයි.

ජන ප්‍රවාදගත තවත් දූෂණයක හිම කුමරිය වූ ඩේසි ආච්චී විසින් මරා පවුලේ නිවසක් ඉදිරිපිට තබා ගිය මුතුවැල් වලින් “අපත් සමඟ තොපත් අපායට”  යැයි එම මිනී පෙට්ටියේ මුහුණතෙහි ලියා තැබෙන්නට බැරි නැත.

Archive

Latest news

Related news