ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කාලයක් ජාත්‍යන්තර දේශපාලන තරුවකි. ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැග්ගේ වසර 2017 දී ජනාධිපතිධූරයට තේරී පත්වීමෙනි. එය ලෝක දේශපාලනය පුදුමයකට පත් කළ සිදුවීමක් විය. දේශපාලනයට නවකයෙකු වූ ජනකාන්තවාදී මැක්‍රොන් ප්‍රංශයේ ප්‍රධාන දේශපාලන ධාරාවන් වන වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂයන්ට එරෙහිව නව මධ්‍යවාදී (centrist) පක්ෂයක් බිහි කළේ ය. එයින් ස්වල්ප කාලයකට පසු ඔහු වසර 2017 ජනාධිපතිවරණය ජය ගන්නේ මේ නව පක්ෂය නියෝජනය කරමිනි.
පාඨලීගේ ප්‍රායෝගිකවාදියා…
එමානුවෙල් මැක්‍රොන්ගේ ජයග්‍රහණය පිළිබඳ ඒ දිනවල විශාල කථාබහක් ඇතිවූ අතර බොහෝ දෙනෙක් ඔහුව වීරයෙකු බවට පත් කළහ. දේශපාලන වම සහ දකුණට විකල්ප සූත්‍රයක් සොයාගත් ප්‍රායෝගිකවාදී (pragmatic) ජනකාන්තවාදී තරුණ නායකයෙකු ලෙස අපේ රටේ ද මැක්‍රොන්ව උඩ දැම්මේය. එහි ප්‍රධානියා වූයේ පාඨලී චම්පික රණවකය. ඔහු අනුගමනය කිරීමට උත්සාහ කළේ ද මැක්‍රොන්ගේ සූත්‍රයයි. පාඨලී චම්පික ද ජනතාව ඉදිරියේ ගොඩනැගීමට උත්සාහ කරන්නේ ප්‍රායෝගිකවාදී නායක ප්‍රතිරූපයකි.
තරුණ මැක්‍රොන්ගේ දේශපාලන වාසනාව…
එහෙත් තරුණ මැක්‍රොන්ට ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි වූයේ කෙසේ ද? එය එක්තරා දේශපාලන වාසනාවකි, අහම්බයකි. එවකට බලයේ සිටි සමාජවාදී පක්ෂයේ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලන්ඩ් ජනතාව අතරේ පිරිහීමට ලක්ව තිබිණ. ඔහුගේ ජනප්‍රියත්වය කොතරම් පහත වැටුණේදයත් ඔහු දෙවන වාරය සඳහා ජනාධිපතිවරණයට තරඟ කිරීමට පවා ඉදිරිපත් නොවීය. මැතිවරණයට තරඟ කළ ජනප්‍රිය කොන්සර්වේටිව් නායකයාට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල විය. වාමාංශික සහ දක්ෂිණාංශික කඳවුරුවල සිදු වූ මේ පසු බැසීම් මධ්‍යවාදී මැක්‍රොන්ගේ වාසියට හේතු විය.
අධිතක්සේරුවකට පත්වීමේ විපාක..
වම සහ දකුණ යන පැරැණි මතවාදී බෙදීම් යල් පැන ගිය දේශපාලනයක් බවත් මධ්‍යවාදීන් වැඩ කළ හැකි හොඳම ප්‍රායෝගිකවාදී ප්‍රතිපත්ති තෝරා ගත යුතු බව මැක්‍රොන් අවධාරණය කළේ ය. ඒ විශ්වාසය අනුව වමට සහ දකුණට ඔහු තමන් සමඟ එක්වන ලෙසට ඔහු ආයාචනා කළේ ය. මේ උපාය යම් කාලයක් සාර්ථක වූ අතර මැක්‍රොන් තම මධ්‍යවාදී දේශපාලන කඳවුර ප්‍රසාරණය කිරීමට සමත්විය. එයට බලපෑ මූලික සාධකයක් වූයේ ඔහු මැරීන් ලෙ පෙන්ගේ ජාතික පෙරමුණ (National Front) (දැන් National Rally) නම් ෆැසිස්ට් දක්ෂිණාංශික පක්ෂය සහ ජීන්-ලූක් මෙලෙන්චොන් ගේ France Unbowed නම් දැඩි වාමවාදී පක්ෂ දෙක අතර ස්ථාන ගතවීමය. මේ සාර්ථක දේශපාලන ප්‍රවේශයෙන් ඔහු තම වැඩපිළිවෙළ පිළිබඳව අධිතක්සේරුවකට පත්විය. තම මධ්‍යවාදී දේශපාලන කඳවුර සඳහා සිදු කළ ආරාධනය ප්‍රතික්‍ෂේප කළ ඕනෑම අයෙක් අන්තවාදියෙකු වශයෙන් අර්ථ දැක්වීමට ඔහු පසුබට නොවීය.
මැක්‍රොන්ට රෝම ජුපිටර් දෙවියා වැහීම…
මේ අධිතක්සේරුව, ජනකාන්තවාදී මැක්‍රොන්ව උඩඟු අධිකාරවාදී ස්වරූපයකට තල්ලු කළේය. වසර 2017 ජනාධිපතිවරණය ජයගත් ඔහු තමන්ට රෝම ජුපිටර් (Jupiter) දෙවියා මෙන් ප්‍රංශ පාලනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේ තම උඩඟු ස්වරූපය ප්‍රංශ ජනතාවට ප්‍රදර්ශනය කරමිනි. මේ ප්‍රවේශය හේතුවෙන් ඔහු ඉක්මනින්ම ප්‍රංශ ජනතාව අතර වෛරයට ලක්වූ චරිතයක් විය. ඔහුට “රජ පිස්සුව” ඔළුවට ගසා ඇතැයි ප්‍රංශ ජනතාව චෝදනා කරති. මේ වන විට ඔහුගේ දේශපාලන වැඩ පිළිවෙල ජනතාවගෙන් සියයට 70 ක් ප්‍රතික්ෂේප කරති. වසර 2017 සහ 2022 ජනාධිපතිවරණයන්හි දෙවන වටයන්හිදී සාම්ප්‍රදායික ඩිගොල්වාදී රිපබ්ලිකන් පක්ෂ මෙන්ම වාමාංශික, සමාජවාදී, කොමියුනිස්ට් පක්ෂ මැක්‍රොන්ට සහය දුන්හ. ඒ සහය ලැබුණේ ෆැසිස්ට් දක්ෂිණාංශික මැරීන් ලෙ පෙන් නම් පොදු සතුරා පරාජය කිරීම සඳහාය. එසේ නොමැතිව මැක්‍රොන්ගේ මධ්‍යවාදී දේශපාලන ප්‍රතිපත්ති ජයග්‍රහණය කිරීම සඳහා නොවෙයි.

ප්‍රංශ විශ්‍රාම වැටුපට කෙලවීම..
මැක්‍රොන් වාමාංශික සහ දක්ෂිණාංශික කඳවුරු දෙකේම “හොඳ” ප්‍රතිපත්ති උකහාගෙන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ දෙපාර්ශවයේ ම සහයෝගය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවූයේ දෙපාර්ශවයම ඔහු සමඟ වෛර බැඳගැනීමය. නිදසුනකට ප්‍රංශ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය ගත හැකිය. වසර 2023 දී මැක්‍රොන් නව නීතියක් සම්මත කරමින් විශ්‍රාම වයස 62 සිට 64 දක්වා ඉහළ දැමූ අතර විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවම වශයෙන් වසර 43ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු බවට කොන්දේසියක් පැනවීය. මේ සංශෝධනයට වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති මාරාන්තික විරෝධයක් දැක්වීය. දක්ෂිණාංශික පක්ෂ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේ ය.
පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව පනත් සම්මත කිරීම..
වසර 2022 මහ මැතිවරණයෙන් මැක්‍රොන්ගේ Renaissance පක්ෂයට බහුතරයක් බලයක් නොලැබුණි. පක්ෂ ගණනාවක සහයෝගයෙන් දුර්වල සභාග ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සිදු විය. ජනාධිපති මැක්‍රොන්ගේ ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණ පනත් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහයෝගයක් නොමැති අවස්ථාවන්හිදී ප්‍රංශ ව්‍යවස්ථාවේ 49 (3) වගන්තිය අනුව ඡන්දයකින් තොරව එම පනත් සම්මත කර ගැනීමට ජනාධිපති මැක්‍රොන් කටයුතු කළේ ය. ජනතා විරෝධය මධ්‍යයේ ප්‍රංශ විශ්‍රාම වැටුප් සංශෝධන පනත සම්මත කළේ එම ව්‍යවස්ථා ප්‍රතිපාදනය උපයා්ගී කර ගනිමිනි. වසර 2022 සිට මේ දක්වා අවස්ථා විස්සකදී පමණ ව්‍යවස්ථාවේ 49 (3) වගන්තියට මුවාවී පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව පනත් සම්මත කිරීමට ජනාධිපතිවරයා මූලික විය.
මධ්‍යවාදී දේශපාලනය අන්ත දක්ෂිණාංශයට..
මැක්‍රොන්ගේ මධ්‍යවාදී දේශපාලන ක්‍රමයෙන් ඒකාධිපතිත්වයට සහ අන්තවාදයට ගමන් කළේ ය. ඔහුගේ දැඩි මතධාරී අභ්‍යන්තර කටයුතු ඇමති ජෙරල්ඩ් ඩාර්මනින්, ප්‍රංශයේ ඉස්ලාම්වාදය ව්‍යාප්තවීම පිළිබඳව අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට්වාදී මැරීන් ලෙ පෙන් මෘදු ලෙස කටයුතු කරන බවට චෝදනා කිරීමට තරම් දුරදිග ගියේ ය. අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට් සංක්‍රමණ විරෝධීන් පසුගිය කාලය පුරා ඉල්ලා සිටි දැඩි නීති වෙනුවෙන් ඇමති ජෙරල්ඩ් ඩාර්මනින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේ ය.
ප්‍රතිපත්ති අනන්‍යතාවයක් නැති ජනප්‍රිය දේශපාලනයේ ඉරණම..
එහෙත් මේ ප්‍රතිපත්ති මැක්‍රොන්ගේ මධ්‍යවාදී දේශපාලන කඳවුරට දක්ෂිණාංශිකයන් එකතු කිරීමට සමත් නොවුණි. මැක්‍රොන් බලයට පත් වූයේ මූලිකවම ඔහුගේ ජනකාන්තවාදී තරුණ ආකර්ෂණය හේතුවෙනි. ඔහු ආරම්භ කළ නව පක්ෂයට ප්‍රතිපත්ති අනන්‍යතාවයක් නොවීය. වමෙන් සහ දකුණෙන් ණයට ගත් ප්‍රතිපත්ති හැරෙන්නට මධ්‍යවාදී දේශපාලන අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට මැක්‍රොන්ට සහ ඔහුගේ නව පක්ෂය සමත් නොවුණි. පසුගිය ජූනි මාසයේ පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මැක්‍රොන්ගේ මධ්‍යවාදී දේශපාලනයේ අසාර්ථකත්වය නැවත වරක් සනාථ කරනු ලැබීය.
යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණ පරාජය…
මැරීන් ලෙ පෙන්ගේ ෆැසිස්ට් දක්ෂිණාංශික National Rally පක්ෂය එම යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී කැපී පෙනෙන ජයක් ලබා ගත්තේ සියයට 31ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. මැක්‍රොන්ගේ මධ්‍යවාදී සන්ධානයට ලබාගත හැකි වූයේ සියයට 14.6ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. වසර 2022 පැවති මහ මැතිවරණයේ දී මැරීන් ලෙ පෙන්ගේ ෆැසිස්ට් දක්ෂිණාංශික National Rally සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ලබා ගත්තේ සියයට 19 (ආසන 89) ක් පමණි. වසරක කාලයේ දී National Rally තම ඡන්ද ප්‍රමාණය සියයට 11කින් වර්ධනය කර ගෙන ඇත.

මැක්‍රොන්ගේ පිහිටෙන් ජයගත් ෆැසිස්ට්වාදීන්…
මැරීන් ලෙ පෙන්ගේ ෆැසිස්ට් දක්ෂිණාංශික National Rally පක්ෂයට මෙවැනි දැවැන්ත පිම්මක් පැනීමට හැකි වූයේ ජනාධිපති මැක්‍රොන්ගේ පිහිටෙනි. ඔහු බලයට පැමිණි අවස්ථාවේ එනම් වසර 2017 මහ මැතිවරණයේ දී National Rally පක්ෂයට හිමි වූයේ සියයට 5.5 (ආසන 7) ක් වැනි සුළු ඡන්ද ප්‍රතිශතයක් පමණි. මැක්‍රොන් අනුගමනය කළ වැඩකරන ජනතාව ඉලක්ක කරගත් ජන පීඩක ප්‍රතිපත්තිහි වාසිය හිමි වූයේ ෆැසිස්ට් දක්ෂිණාංශික National Rally පක්ෂයටය. ප්‍රංශ විශ්‍රාම වැටුප් ක්‍රම සංශෝධනය, ඉහළම ධනපතීන්ට ලබාදුන් බදු සහන, සමාජ සුබසාධන කප්පාදුව, ආර්ථික ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොලැබීම, විරැකියාව, පාලනයෙන් තොර උද්ධමනය ඇතුළු දැඩි ජනතා විරෝධයට ලක් වූ මැක්‍රොන්ගේ ක්‍රියා මාර්ගයන්හි දේශපාලන වාසිය හිමි වූයේ මැරීන් ලෙ පෙන්ට වූ අතර එම ජනතා කෝපය, විරෝධය සහ අසහනය තම ඡන්ද පදනම ඉහළ දමා ගැනීමට ඔවුහු ඉතා සියුම් ලෙස භාවිතා කළහ. හිට්ලර්, මුසලෝනි ඇතුළු සෑම ෆැසිස්ට් නායකයෙකුම බලය ඩැහැ ගැනීමට යොදා ගත්තේ සමාජ, ආර්ථික අර්බූද හරහා මතු වන ජනතා විරෝධයන් සහ අසහනයන්ය. මැරීන් ලෙ පෙන් ද එහි ව්‍යතිරේකයක් නොවෙයි.
මහ මැතිවරණ සූදුව…
යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණ පරාජයෙන් පසුව ජනාධිපති මැක්‍රොන් පසුගිය ජූනි 9 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් කැඳවීය. එය දේශපාලන සූදුවකි. වසර 2027 තෙක් සුළු බහුතරයකින් මැක්‍රොන්ට ප්‍රංශ පාර්ලිමේන්තුව බලය පවත්වාගෙන යෑමේ හැකියාව තිබිණි. එහෙත් ඒ බලය ඔට්ටුවට තබා ඔහු හදිසි මැතිවරණයක් කැඳවූයේ තම බලය වැඩිකර ගැනීමේ අරමුණ සහිතවය. ඔහු සුපුරුදු ලෙස ෆැසිස්ට් දක්ෂිණාංශික National Rally පක්ෂයට මෙන්ම වාමාංශික පක්ෂවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තම මධ්‍යවාදී දේශපාලන සන්ධානයට බලය ලබා දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් පසුගිය ජුනි 30 වන දා පැවති ප්‍රංශ මහ මැතිවරණයේ පළමු වටයේ දී මැක්‍රොන්ගේ මධ්‍යවාදී දේශපාලන ප්‍රංශ ජනතාව පැහැදිලිව ප්‍රතික්ෂේප කළහ. මැරීන් ලෙ පෙන්ගේ ෆැසිස්ට් දක්ෂිණාංශික National Rally පක්ෂය සියයට 33ක්, සහ වාමාංශික, සමාජවාද, කොමියුනිස්ට, හරිත New Popular Front සියයට 28ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට මැක්‍රොන්ගේ මධ්‍යවාදී සන්ධානයට හිමිවූයේ සියයට 20ක ඡන්ද ප්‍රමාණයක් පමණි.
