Sunday, September 29, 2024

විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කළේ වගකීම් විරහිත ප්‍රකාශයක්! – අධිකරණ සේවා සංගමය

(නිව්ස් 19)

පසුගිය 19 වැනිදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔවුන් මෙම ලිපිය නිකුත් කර තිබෙනවා.

අපක්ෂපාතී විනිශ්චකාරවරුන් අපකීර්තියට පත් කිරීම සඳහා වූ නිශ්චිත ඉලක්කගත ව්‍යාපෘතියක් කොටස් වශයෙන් දිගහැරෙමින් ඇති බව අධිකරණ සේවා සංගමය අවධාරණය කරනවා.

දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත මෙම සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ පසුගියදා අධිකරණ අමාත්‍යවරයා විසින් අධිකරණ පද්ධතිය නිර්දය ලෙස විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද වගකීම් විරහිත ප්‍රකාශයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ දිසා විනිශ්චකාරවරුන්ගෙන් හා මහේස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.

අධිකරණ පද්ධතියට එල්ල වන බාහිර බලපෑම් වළක්වා එහි යහපත්ම උදෙසා වැදගත් තීරණයන් ගනු ලැබූ විනිශ්චකාරවරුන් ස්ථාන මාරුවී ගිය පසු, ඔවුන්ට පෞද්ගලිකව අපකීර්තියක් ඇතිවන මතවාද නිර්මාණය කිරීම එහි එක් පියවරක් වශයෙන් විනිශ්චකාරවරුන් නිර්භීතව හා අපක්ෂපාතීව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටීම වළක්වා බාහිර පාර්ශවයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි දුර්වල තත්ත්වයකට පත් කිරීම බවද, අදාළ නිවේදනය සඳහන් වනවා.

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසන්නේ, එහිදී මූලික වශයෙන් කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හා ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරයා ඉලක්ක කරමින් ඇති බවට අනාවරණය වී ඇති බවත් තම සංගමය 2024 මැයි මස 7 වන දින අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව වාර්තා කළ බවයි.

මහජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන එක් කුළුණක් වන උත්තරීතර ව්‍යවස්ථාදායකය භාවිත කර ස්ථාවර නියෝග 91 E වගන්තිය මගින් පවතින නඩුවකට බලපෑම් වන පරිදි අදහස් ප්‍රකාශ කිරීම වළක්වා තිබීම නොසලකා, තවත් කුළුණක් වන අධිකරණය වෙත ද්වේශ සහගත ලෙස විවේචන එල්ල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා අත්‍යවශ්‍ය පදනමක් වන අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කිරීමක් ලෙස දකින බවද විනිශ්චකාරවරුන් නිකුත් කළ නිවේදනය සඳහන්.

Archive

Latest news

Related news