ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති, විවිධ සංවිධාන විසින් මෙම දිනයේදී තමන්ගේ අයිතිවාසිකම් ලොවට කියා පෑමට සහ දිනා ගැනීමට විවිධ වැඩසටහන් සිදු කරයි.
2011 ජූනි පැවති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහා සම්මේලනයේදී ලෝකයේ ගෘහස්ථ කම්කරුවන් වෙනුවෙන් වන අයිතිහාසික ප්‍රඥප්තියක් සමමිත විය. එනම් ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා සුනිසි මෙහෙවර (Decent work) සඳහා වන C189 ප්‍රඥප්තියයි. මෙම සම්මුතිය රටවල් තුළ අපරානුමත කර ගෘහස්ථ කම්කරුවන් සඳහා යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීම සඳහා ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු සම්මේලනය සහ එහි සාමාජික ලොව පුරා විසිරි සිටින වෘත්තීය සමිති කටයුතු කරමින් සිටී.
කම්කරු අමාත්‍යවරයාගේ පොරොන්දු
ප්‍රොටෙක්ට් සංගමය ඇතුළු ගෘහ සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති වසර ගණනාවක් තිස්සේ ගෘහ සේවකයින්ද කම්කරුවන්ය යන පිළිගැනීම රට තුළ ඇති කර ගැනීමට වෙහෙසෙමින් සිටී. වෘත්තීය සමිති විසින් අවස්ථා ගණනාවකදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ඔහු මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට එකඟ විය. ඒ අනුව හිටපු කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා 2021 අගොස්තු 04 වෙනිදා පාර්ලිමේන්තුවේ දී ගෘහස්ත කම්කරුවන්ගේ ඉතිහාසය වෙනස් කරවන ආකාරයේ කතාවක් පැවැත්වීය. එනම් ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමටත් , ඊපිඑෆ් සහ ඊටීඑෆ්, ජාතික අවම වේතන පනත සහ පාරිතෝෂික ගෙවීමේ පනත් සංශෝධනය කර ගෘහස්ථ කම්කරුවන්ට එම පනත් වල ආවරණය ලබා දීමට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරන ලදී. සමහර ගෘහස්ත කම්කරුවන් එම කතාව කෙතරම් විශ්වාස කලේද යත් ප්‍රීති ගෝෂා නගමින් සමරන්නට ද විය. නමුත් එය ද සතපහකට ගණන් ගත නොහැකි දේශපාලකයෙකුගේ තවත් එක බොරුවක් බවට පත්ව අදටත් නොවිසඳුන ගැටලුවක් වී ඇත.
වත්මන් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් Modern කම්කරු නීති හදන බවටත් සියලු කම්කරුවන්ට ගෞරවාන්විත තත්ත්වයක් රට තුළ ඇති කරන බව පවසයි. නූතන ලෝකයකට (Modern world) අදාළ කම්කරු නීති ගැන කතා පවත්වන කම්කරු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මෙම ගෘහස්ථ කම්කරුවන් පිළිබඳව මොඩර්න් ලෙස සිතා ඇති ආකාරය පිළිබඳව බැලීමට අප අවධානයෙන් බලා සිටින්නෙමු. මක් නිසාද මේ හදන කම්කරු නීති මොඩර්න් නම් යටත් විජිත යුගයේ සේවා ක්‍රම ගෘහස්ථ කම්කරුවන් කෙරෙහි තිබිය නොහැකි අතර එවන් පැරණි කම්කරුවන් නූතන ශ්‍රම බලකාය තුළ සිටිය නොහැකිය. අමාත්‍යවරයා ගෘහස්ථ කම්කරුවන් වෙනුවෙන් කම්කරු නීති හදන බව මෙවර ජාත්‍යන්තර කම්කරු මහා සම්මේලනයේදී (ILC ) ද ප්‍රකාශ කර ඇත. එම කතා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සතුටු කරවන කතා පමණක් නොවනු ඇති බවට අප සිතන අතර 2021 වසරේ මෙන් නැවත නොරැවටෙන බවද සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවේ
ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදු වන ඛේදනීය සිදුවීම් වලින් පෙනී යයි. ශ්‍රී ලංකා පොලීසියේ ආදර්ශ පාඨය ” ධම්මෝ භවේ රක්ඛති, ධම්ම චාරී” ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි යන්නයි. පොලීසිය සම්බන්ධයෙන් තුච්ඡ, පිළිකුල් සහගත හැසිරීම් පිළිබඳ අත්දැකීම් මේ සමාජයට අලුත් දෙයක් නොවේ. 2023 මැයි 11 වනදා කුප්‍රකට ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ ආර්. රාජකුමාරි නම් ගෘහ සේවිකාව වැලිකඩ පොලීසියෙන් මොට ආයුධයකින් පහර දී ඝාතනය කල බවට වාර්තා විය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ ගෘහ සේවයේ නිරතව සිටි, හැටන්, ඩයගම පදිංචි ජූඩ් කුමාර් හිශාලිනි නමැති දැරිය පිළිස්සුම් තුවාල සහිතව 2021 ජුලි 03 කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ජුලි 15 වෙනිදා මරණයට පත් විය. මිට අදාළ යුක්තිය ප්‍රමාද වීම පිළිබඳව සමාජය තුළ බොහෝ කතාබහට ලක් වූ අතර රිෂාඩ් බදියුදීන් පසුගිය මයි 17 දා නඩුවෙන් නිදහස් විය. බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි සහ දැරිය මෙම නිවසට ලබා දුන් තැරව්කරුට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කලේය.
ආර් රාජකුමාරි ගේ මරණයට සම්බන්ධ පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කළද, හිෂලිනි දැරියගේ මරණයට අදාළ සැක කරුවන්ට නඩු පැවරුවද ඒ මරණ වලට යුක්තිය ඉටුවන්නේ ද යන්න ගැටලුවකි. මේ මරණ සිදු වී වසර ගණනාවක් ගත වී ඇතත් ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයින්ට අදාළ ආරක්ෂණ නීති බාලගිරි දෝෂය මෙන්ය. පසුගිය මාර්තු මාසයේ දී මනුෂ නානායක්කාර ඇමති වරයා ජාතික අවම වැටුප් පනතට සංශෝධයක් කැබිනට් එකට ගෙනාවේය. නමුත් එම පනතින් පිටුවහල් කරමින් ගෘහ සේවකයෙකු සේවකයෙක් යන්නට අදාළ නොවේය යන්න පිළිබිඹු වන වගන්තිය ඔහු ඉටු කළේ නැත. මේවා ඉටු කිරීමට හිශාලනි වැනි බාලවයස්කාර දැරියන් ඇමැතිලාගේ ගෙවල් ඇතුළේ මිය යා යුතුද? නොඑසේ නම් පොලිස් මැරයන්ගෙන් ගුටි කා රාජකුමාරි වැනි කාන්තාවන් කී දෙනෙක් ඝාතනයට ලක් විය යුතුද?
ගෘහ සේවකයන්ගෙන් සමාජ තත්ත්වය
ගෘහ සේවකයන් තබා ගෙන ඔවුන්ට නුතන වහල් යුගයක වහලුන් මෙන් සලකන නූතන ගැහැණු පිරිමි කොළඹ සුවිසල් මන්දිර වල වෙසෙති. වහල් සහ වැඩවසම් මාසිකත්වයෙන් මොළ කුණු වූ මේ ව්‍යාජ සාටෝපවත් ජීවිත වලට තමාගේ නිවසේ ගෘහ සේවිකාවක් සිටීම යන්න සමාජ තත්ත්වය උදෙසා නිර්ණායකයකි. මෙහි අප සඳහන් කරන්නේ ගෘහ සේවකයින් සඳහා රැකියාව ලබා දී ඇති සමස්තය පිළිබඳව නොවේ. තමාගේ නිවසේ සේවය කරනු ලබන ගෘහ සේවකයා යනු ශ්‍රමයට සරිලන වැටුපක් ලැබිය යුතු, තමාගේ ජිවන අපේක්ෂාවන් ගෞරවණිය ලෙස සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරණ, සමාජයේ මිනිසුන්ට ඇති අයිතීන් ඇති පුද්ගලයෙකු බවට නොසිතන නරුම මිනිසුන් බොහෝ පිරිසක් සිටී. තවත් සමහරෙක් ගෘහ සේවකයින්ව දකින්නේ කඩවුණු පොරොන්දුවේ සිටින ජෝසී සහ මනප්පුවා වැනි මිනිසුන් ලෙසය. මෙය නුතනත්වය හෝ ශිෂ්ට සමාජයක ලක්ෂණ නොවේ. ඔලුව වැඩවසම් කඳ නව ලිබරල් හිස් මිනිසුන්ගේ ගති ලක්ෂණයකි.
තම ගතේ ශක්තිය හීන වී යන තෙක් මෙම සේවිකාවන් නිවෙස් වල සේවය කරන අතර පරම්පරා කිහිපයක දරුවන් මෙම සේවිකාවන්ගේ දෙඅත් මත උස මහත් වේ. නමුත් කිසිදු හව් හරණක් නැතිව ඔවුන්ගේ ජීවිතයේ අවසන් කාලය ගෙවා දැමීමට සිදු වී ඇත. සමහරෙක් මහ මග දමා යති. ගෘහ සේවකයින් සඳහා සමාජ ආරක්ෂණයක් ඔවුන් ඉල්ලා සිටින්නේ මැරෙනතුරු කාටවත් ඇත නොපා ජිවත් වීමටය.
ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් මෙම පවතින ගැටළු වලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වේ. නැවත හිෂාලිනිලා මේ භුමිය මත අකාලයේ මියදිය යුතු නැත. ආර් රාජකුමාරිලා ඝාතනය විය යුතු නැත. අප ජිවත් වන්නේ ශිෂ්ට මිනිසුන් ජිවත් වන සමාජයක නම් මෙවන් ඛේදවාචක සිදු විය නොහැක. මේ සුවිසල් මැදුරු තුළ සියලු දෙනාට නෑසෙන මොරදීම් වේදනාවන් තිබෙන බව නිතර සිතමු. මේ අසාධාරණය නැසූ කනවා සිටීම නොපෙනී සිටීම තරම් නරුම කමක් තවත් නැත.
කල්ප මධුරංග විසිනි.