Tuesday, July 16, 2024

රනිල් රාජපක්ෂට දවල් තරු පෙනේ; වසර දෙකකට ජන්දය කල් දැමීමේ භයානක තකතිරු යෝජනාවක්!

පිං ජනාධිපති රනිල් රාජපක්ෂට ජනාධිපතිවරණ දවල් තරු පෙනෙන්නට පටන් ගෙන තිබේ.

සිය පක්ෂයේ මහ ලේකම් වන 88-89 අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින රංගේ බණ්ඩර ලවා වසර දෙකකට ජනාධිපතිවරණය කල් දැමීමේ යේජනාවක්  ගෙනවිත් ඇත්තේ ඒ නිසාය.

ඔහු ඒ බව කියා ඇත්තේ එසේ මෙසේ තැනකදී නොව රනිල් රාජපක්ෂගේ දේශපාලන රාජධානිය වන පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දීය. එහි මාධ්‍ය හමුවක් පවත්වමිනි. එයට එක් වූ කිසිවකු එය එම යේජනාව ප්‍රතික්ෂේප කර නැත.

මෙම යේජනාව පෙන්වන්නේ රනිල් රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරදින බව දැන් පීළිගෙන ඇති බවයි. රනිල් රාජපක්ෂට ජය ගත හැකි නම් ජනාධිපතිවරණය කල් දැමිය යුතු නැත. මන්ද යත් එවිට සිය වැඩපිළිවෙල දිගටම කරගෙන යා හැකි බැවිනි.

ලංකාදීප පුවත් පකට අනුව රංගේ බණ්ඩර මෙසේ කියා තිබේ :

“තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට තිබේ.

පාර්ලිමේන්තුවේ නියෝජිතයෙන් 225 දෙනා තේරී පත් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක නිසා එයින්  ජනතාවගේ මතය නියෝජනය වෙයි.

රටේ ආර්ථිකය දැන් යම් තැනකට ගෙනමින් තිබෙන අතර රට ගොඩ නැගීමට නම් කාලය කා නොදමා වත්මන් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුව තිබේ.

දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක  මැදිහත් වී තවත් අවුරුදු දෙකක  කාලකයට  ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ  කිරීමය.

මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන ගමන සඳහා එය අවශ්‍ය ය”

මේ වනාහී සහමුලින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයකි. මෙය සැළකිය හැක්කේ මුට්ටිය දමා බැලීමක් ලෙසය. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වන අවස්ථාවක කරන ලද මෙම ප්‍රකාශය රනිල් රාජපක්ෂගේ සැළසුමක් විය යුතුය. නොඑසේව ඔහුගේ මහ ලේකම් මෙවැනි ප්‍රකාශයක් කරන්නේ නැත.

ජනාධිපතිවරණය කල් දැමීමට පාර්ලිමෙන්තුවට පමණක්  නොහැක. ඒ සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍යය. ජාජබ හෝ සජබ ඊට කිසිසේත්ම එකඟ නොවනු ඇත.

එබැවින් එය කළ හැක්කේ බියකරු මර්දනකාරී පිළිවෙතක් මගිනි.

රනිල් රාජපක්ෂට හෝ ඔහුගේ හාම්පුතා වන මූල්‍ය අරමුදලට හෝ එවැනි බලයක් නැත.

ජනාධිපතිවරණය කල්දැමීමට නම් රනිල් රාජපක්ෂට ලංකාව ලේ ගංගාවක ගිල් වීමට සිදුවනු ඇත.

ඔහු ඊට ආසා වුවද එය සිය ගෙල සිය අතින්ම කපා ගැනීමක් වනු ඇත.

මෙවැනි භයානක පියවරකට සූදානම් නොවන ලෙස අප දැන් සිටිම රනිල් රාජපක්ෂට අනතුරු අඟවා සිටිමු. ගෝටාට සිදු වූ දේ මතකයට නංවා ගැනීම රනිල් රාජපක්ෂගේ ඇඟට ගුණය.

සුනන්ද දේශප්‍රිය

28.05.24

Archive

Latest news

Related news