Monday, May 20, 2024

හොර පාස්පොට් හැදූ ඩයනා ආගමන විගමන පනත යටතේ අත්අඩංඟුවට?; නඩු තීන්දුවෙන් හෙළිවන අපූරු කරුණූ

සේ. පියවර්ධන.

ව්‍යාජ තොරතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මංත්‍රී ඩයනා ගමගේ අත් අඩංඟුවට ගත යුතු බව නීති අංශ කියා සිටිති.

මන්ද යත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසිබව අත් හරින ලද බවක් හෝ මෙරට පුරවැසි බව ලබා ගත් බවක් හෝ සනාථ නොවන බව මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර ඇති නිසාය.

“ඩයනා ගමගේ” 2014.01.24 දින සිට N5091386 අංකය සහිත ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් දරමින් සිටියදී 2014.07.16 සිට 2014.10.05 දක්වා ශ්‍රී ලංකාවට පැමිණීමට අංක 521398876 දරන බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය භාවිතා කර ඇති බව මෙම සාක්ෂියෙන් පෙනෙන බව නඩු තීන්දුවෙහි දැක්වේ. ඒ අනුව ඇය ද්විත්ව පුරවැසිභාවය ලබා නොගෙන රටවල බ්‍රතාන්‍ය සහ ශ්‍රී ලංකා ගමන් බලපතු එකම අවස්ථාවෙහි දී පාවිච්චි කර තිබේ. මෙයද දඩුවම් ලැබිය යුතු වරදකි.

වැඩිදුර කියවීමට: ඩයනා ගමගේ නිදොස් කළ අභියාචනාධීකරණ තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්!

ආගමන විගමන පාලකයින් මත දෙකක

නඩු තීන්දුව අපූරු කරුනක් පෙන්වා දෙයි. ඒ මෙසේය:

“මෙම අවස්ථාවේදී, වඩාත් ආකර්ෂණීය කරුණක් ගැන කතා කිරීමට මට ඉඩ දෙන්න. 3 වැනි වගඋත්තරකරු, ආගමන හා විගමන පාලක ජනරාල් ඉලුක්පිටියගේ ශ්‍රීනාත් හර්ෂදේව ජයසෙන් ඉලුක්පිටිය මහතා සිය දිවුරුම් ප්‍රකාශයේ 19(ix)(d) ඡේදයේ සඳහන් කර ඇත්තේ අංක 521398876 දරන බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය දරන්නේ දැයි පළවන විත්තිකරු ඩයනා ගමගේම දැයි තමන් නොදන්නා බවයි.”

මෙය පුදුමයකි. ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ ප්‍රධානියාට ඩයනා ගමගේ ගමන් බල පත්‍රයේ ඇති ඡායාරූපයෙන් හදුනා ගැනීමට බැරි වී තිබේ.  එසේ නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක රාමවික්‍රම ගමාච්චිගේ චම්පික පියරි දිනුෂාන් රාමවික්‍රම ඒ ඩයනා ගමගේ බව සනාථ කළේය. ඊටත් වඩා පුදුමය වන්නේ  ආගමන හා විගමන පාලක ජනරාල්ට නොපෙනුනද ඒ තැනැත්තිය තමා බව ඩයනා ගමගේ විසින් ද පිළිගනු ලැබීමයි.

ඩයනා ගමගේ ශ්‍රී ලංකික පුරවැසියකු නොවන බවට පැමිණ්ලල ඉදිරිපත් කර වසර තුනක් ඉක්ම ගොස් ඇතත් ඇය තවමත් පාරිලමේන්තු මංත්‍රීවරියක ලෙස කටයුතු කරන බව පැමිණිල්ලේ නීතිඥවරයා විසින් පෙන්වා දෙන ලදී. වරක් මාස 18ක්ම නඩුව එකතැන පල්වෙමින් තිබුණි.

ආගමන විගමන පනත උල්ළංගණය කිරීම බරපතල වරදකි. මෙම නඩු විභාගය ආරම්යේදීම කොළඹ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එවැනි වරදක් කර ඇත්නම් ඇය අත්අඩංඟුවට ගැනීමට පොලිසියට බලය ඇති බවයි. නමුත් පොලිසිය ඩයනාට අත තිබ්බේ නැත. ඒ අතර වාරයේ ඩයනා මහජන මුදල් අපහරණය කරමින් වරප්‍රසාද භුක්ති වින්දේය.

ඩයනා බලය අයුතු ලෙස පරිහරණය කළා – තීන්දුව

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ මෙසේය:  “වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝම්බර් තම මස 05 වනදා දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේදී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වග උත්තරකාර ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා”

එවැනි වාතාවරණයක් මත වග උත්තර කාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද නිගමනය කර තිබුණා.

ඩයනා ගමගේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් කළ යුතුව තිබූ පරීක්ෂණය වසර තුනක් ගත වීත් අවසානයකට පැමිණ නැති බව නඩු තීන්දුව පවසන්නේ නීතිය සැමට සමාන විය යුතු බව අවධාරණය කරමිනි.

“වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වග උත්තර කාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වග උත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වග බලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන සැලකිලි ලැබිය යුතු බව ත් අවධාරණය කර තිබෙනවා.”

තවත් වැදගත් කාරණයක් වන්නේ අභියාචනාධීකරනයේ සභාපති වූ විනිසුරු බන්දුල කරුණාරත්න විසින් ඩයනා ගමගේ නිරදෝහී කරමින් මෙයට පෙර දෙන ලද තීන්දුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධීකරණය කර ඇති නිරීක්ෂණයයි.

එනම් එම බහුතර කීන්දුවෙහි සියයට 80ක් තරම් ඇත්තේ බයනා ගමගේ සිය නිර්දෝශීබව පෙන්වීමට ඉදිරිපත් කළ ලියවිල්ලකින් එහෙම පිටින්ම උපුටා ගත් කොටස් බවයි.

“අභියාචනාධිකරණය ඉදිරියේ පැවතින නඩු විභාගයේ දී එම නඩුකරයට අදාලව ඉදිරිපත් කෙරුණු ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වග උත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (copy paste) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුලත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි” යනුයෙන් තීන්දුවේ සදහන්ය.

ශ්‍රේෂ්ඨාධීකරණය විසින් අභියාචනාධිකරණයේ බහුතර තීන්දුව අවලංගු කරන ලදී.

එසේම පෙත්සම් ඉදිරිපත් කළ ඕෂල හේරත්ට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකාර ඩයනා ගමගේ ට නියෝග කරන ලදී.

මෙහිදී පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් පෙනී සිටි අතර වග උත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.

(බීබීසී සිංහල වෙබ් අඩවියේ ලිපියක  යම් යම්  කරුණුද මෙම ලිපිය සදහා යොදා ගන්නා ලදී.)

Archive

Latest news

Related news