Saturday, May 4, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය : ‘ජාත්‍යන්තර විමර්ශනයකට බල කෙරෙන යෝජනාවක් ගේන්න කටයුතු කරමින් සිටිනවා’ – අගරදගුරු මැල්කම් රංජිත්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම සඳහා රටවල් සහ සංවිධාන කිහිපයක් සමග කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී පැවසූහ.

පාස්කු ප්‍රහාරය සිදුවී අදට (අප්‍රේල් 21) වසර පහක් සම්පුර්ණ වුව ද එහි මහමොලකරුවන් සහ කුමන්ත්‍රණකරුවන් හෙළි කිරීමට රජය මේ දක්වා අපොහොසත් වී ඇති බවට කාදිනල් හිමිපාණෝ පෙන්වා දෙති.

යුක්තිය ඉටු කරන බවට වාචික පොරොන්දු ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දු කඩ කළ ද ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවේගය ලබා දී ඇති ලිඛිත ප්‍රතිඥා කෙරෙහි විශ්වාසයෙන් පසුවන බවත්, රටේ පාලනය භාරගත යුතු අනාගත නායකයා සතු ලක්ෂණ ගැනත් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙම සංවාදයේ දී සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරය සිදුවන විට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධ්පති වේ. රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වූ හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කළ බවට පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සදහන් එවකට කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පොලිස්පතිවරයා ය.

එමෙන්ම ඉන්දීය බුද්ධි අංශ මගින් තොරතුරු ලබා දුන්න ද එය වළක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා ලබා සිටින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අද පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස ක්‍රියා කරයි.

එවන් පසුබිමක් මත තවදුරටත් යුක්තිය අපේක්ෂා කළ හැකිදැයි විමසූ පැනයට මෙන්ම පාස්කු ප්‍රහාරයේ නොවිසඳුණු ගැටලු ගැන අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ BBC සිංහල සේවය සමග කළ සංවාදයේ දී අදහස් පළ කළහ.

BBC Sinhala

Archive

Latest news

Related news