Saturday, April 27, 2024

නිලන්ත ජයවර්ධන ගැන පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම අභියාචනාධිකරණයට යයි!

ඡායාරූපය: පාස්කු ප්‍රහාරයන්හි වින්දිතයින් වෙනුවෙන් සාධාරණය තවම ඉටු වී නැත.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම ගැන ගෙන ඇති සියලු පියවර මොනාවාද යන්න සහ ඔහුට එරෙහිව අපරාධ නඩු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න අධිකරණයට ඉදිරිපත් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කිරෙීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් මැයි 02වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (27) නීතිපතිට නියෝග කළේය. ‍

අභියාචනාධිකරණය එම නියෝගය කළේ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාමක කරන ලෙසට රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිතයකු විසින් ගොනු කරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අද (27) සෝබිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමාට පළමු වගඋත්තරකාර පොලිස්පතිගෙන් සහ දෙවැනි වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනගෙන් උපදෙස් නොලැබුණු බවයි. එසේ හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

අනතුරුව පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සමෙන් අතුරු නියෝග කිහිපයක් ඉල්ලා ඇති බවයි. පෙත්සමේ ඉල්ලීම් යටතේ ඇති දෙවැනි ඉල්ලීම මගින් නිලන්ත ජයවර්ධනට එරෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ නිලන්ත ජයවර්ධනට එරෙහිව ලබා දී ඇති තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඔහුට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාල සියලුම තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතුරු නියෝගයක් ඉල්ලා ඇති බවයි.

එම අතුරු නියෝගවලට අදාල ඉල්ලීම් සම්බන්ධයෙන් යම් සීමිත විරෝධතා ඇතොත් මැයි 03 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නීතිපතිට නියෝග කළ අධිකරණය එලෙස සීමිත විරෝධතා ගොනු කළහොත් ඊට ප්‍රතිවිරෝධතා ඇතොත් මැයි මස 17 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කළේය. රිට් පෙත්සම සලකා බැලීම සඳහා මැයි 28 කැඳවන ලෙස ද නියෝග කෙරෙිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරු පිරිසක් සමග නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දීගොඩගමගේ නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති

තරිදු ජයවර්ධන විසින් වට්ස් ඇප් හරහා බෙදා ගන්නා ලද සටහනකි.

Archive

Latest news

Related news