Saturday, April 27, 2024

ජනතා විමුක්ති පෙරමුණේ පරිණාමයෙන් පාඩම්: ලිංගික සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම – ලයනල් බෝපගේ

සමාජවාදී කාන්තා පෙරමුණේ සම්භවය

1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) තුල ප්‍රමාණවත් යයි සැළකිය හැකි කාන්තා ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් සිටියේය. 1971 අප්‍රේල් නැඟිටීමට පෙර පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කාන්තාවෝ “ව්‍යාපාරය” තුළ ක්‍රියාත්මකව සිටියහ. රාගම නන්දසීලි, වනාතමුල්ලේ සීලවතී (ඔස්මන්ඩ් සහෝදරයාගේ මව), අකුරැස්සේ කුසුමා බුද්ධිකෝරළ, රඹුක්කන කරුණා (ගමනායක සහෝදරයාගේ බිරිඳ), අම්බලන්ගොඩ කමණී සහ සම්පතී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විට්ලීන් සහ (සුජාතා) හඳගම, කොළඹ විශ්ව විද්‍යාලයේ කරුණා සහ වැනි සහෝදරියන් ඔවුන් අතර වූහ. සමාජවාදී කාන්තා පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණට කාන්තාවන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය පදනම දැම්මේය. නැඟිටීමෙන් පසුව කරන ලද යළි ගොඩනැගීමේ උත්සාහයන්හිදී කාන්තා ජාලය පැතිරී ගියේය. කාන්තාවන්ගේ දායකත්වයන් තිබුනද, වඩා පුළුල්ව පැවතුනු සමාජයීය ලිංගික අගතීන් පිළිබිඹු කරමින්, කාන්තාවන්ට නායකත්ව තනතුරු අත් කර ගත හැකි තත්වයක් නොපැවතිණි. 1977 න් පසු සංවිධානය සමාජවාදී කාන්තා සංගමය යනුවෙන් හැඳින්වුණි. ඔවුන්ගේ සහභාගිත්වය පැවතිය ද, ඔවුන් සංවිධානය තුළ ප්‍රමුඛ ක්‍රියාකාරිනියන් ලෙස තෝරා ගනු ලැබූයේ හෝ පත් කර ගනු ලැබූයේ නැත.

ජවිපෙ මැයි දිනය පිරිමි නායකත්වය ඉස්මතු කරයි

1971-2024: පිරිමි දේශපාලන මණ්ඩල

1971 අප්‍රේල් නැඟිටීමෙන් පසු, දේශපාලන වෙනස්කම් හේතුවෙන් බොහෝ පිරිමි ක්‍රියාකාරිකයන් කල ආකාරයටම, ඇතැම් කාන්තා ක්‍රියාකාරිකයන් ද සංවිධානය හැර ගියහ. එහෙත්, කාලයාගේ ඇවෑමෙන්, පූර්ණ කාලීනව සහ අර්ධකාලීනව කටයුතු කළ කාන්තා ක්‍රියාකාරිනියන්ගේ විශාල ජාලයක් යලි ගොඩනඟා ගැනීමට ජවිපෙ සමත් වුයේය. අවාසනාවකට, 1971ට පෙර පැවතියාට වඩා තත්වය වෙනස් වූයේ නැත. කිසිදු කාන්තා ක්‍රියාකාරිනියක් දිස්ත්‍රික් කමිටු සාමාජිකත්වයෙන් ඔබ්බට ගමන් නොකළහ. ජවිපෙ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය තුල එකදු සාමාජිකාවක් හෝ සිටියේ නැත. පිරිමි ක්‍රියාකාරිකයන්ගේ හැකියාවන්, දැනුවත්භාවය සහ ක්‍රියාකාරිත්වය සමඟ සසඳන විට, කාන්තා ක්‍රියාකාරිනියන් නායකත්ව තනතුරු සඳහා තෝරා නොගැනීමට හෝ පත් කර නොගැනීමට හේතුව කුමක්දැයි ආපසු හැරී බැලීමේදී වටහා ගත හැක්කේ එකල සමාජයේ රැජයූ ලිංගික අගතීන් අනුව යමින් පමණකි.

එතරම්ම වෙනසක් නැති මෙදා මැයි දිනයක්

දේශපාලන වටපිටාව: අභියෝග සහ අවකාශ

ජවිපෙ බලපෑම් සහගත වුවද, අනියම් ජාලයන් බොහෝසේ යොදා ගත් ස්ථාපිත පක්ෂ හා සසඳන විට, එය කාන්තාවන් ඒකරාශි කිරීමේ දී අභියෝගවලට මුහුණ දුන්නේය. දේශපාලන සංවිධාන අතර ශක්තිමත්ම සංවිධානය නොවූවද ජවිපෙ ට කාන්තාවන් අතර ප්‍රබල දේශපාලන ජාලයක් තිබුණේය. කාන්තාවන් අතර හැම විටම ශක්තිමත්, එහෙත් බොහෝ විට අනියම් ස්වරූපයේ ජාලාවන් පාලක දේශපාලන පක්ෂ සතුව පැවතිණ. මැතිවරණ කාලවලදී කෙටිකාලීන දිරිගැන්වීම් ලබා දීමෙන් දේශපාලන රැළි ඇති කිරීම සඳහා ඒ පක්ෂ පහසුවෙන් ඔවුන් ඒකරාශි කර ගත්හ. මෙසේ කරන ලද්දේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය විසින් පූජක පක්ෂය, වෘත්තීය සමිති සහ ග්‍රාමීය සංවිධාන හා ජාල බොහොමයක් භාවිතා කරන ලද ආකාරයට සමාන ලෙසින් ය.

ඒ දේශපාලන තත්ත්වයන් යටතේ සමාජවාදී කාන්තා පෙරමුණේ මංගල සම්මේලනය ජවිපෙ කාන්තා සහභාගිත්වය පිළිබඳ ඉතිහාසයේ තීරණාත්මක නිමේෂයක් සනිටුහන් කළේය. කාන්තා පක්ෂ ක්‍රියාකාරිනියන් සහ හිතවතුන් 3000කට අධික පිරිසක සහභාගිත්වයෙන් එය 1982 ජනවාරි 7 සහ 8 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වින. ඒ කාලයේ ජවිපෙ ගන්නා ලද ජාත්‍යන්තරවාදී ස්ථාවරය නිසාවෙන් එයට බොහෝ ජාතික විමුක්ති ව්‍යාපාර සමඟත් යටත් විජිත වියගහෙන් නිදහස් වූ ඇතැම් රටවල් සමඟත් යහපත් සබඳතා ඇති කර ගත හැකි විය.

ගෝලීය සහයෝගීතාවය සඳහා ජවිපෙ දැක්වූ කැපවීම

පලස්තීන විමුක්ති සංවිධානය වෙනුවෙන් සහ ඉරාකයේ බාත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් දූත මණ්ඩල දෙකක් ඊට සහභාගි වූහ. සිය ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරමින් සිටි ව්‍යාපාර කිහිපයක් සහෝදරාත්මක සුබපැතුම් ද එවා තිබිණි. ඒවා අතර නැමීබියාව ත් දකුණු අප්‍රිකාව ත් වූහ. වියට්නාමය, කම්පුචියාව සහ ලාඕසයේ සමාජවාදී ව්‍යාපාර වෙත සහ ANC, PLO, ඇන්ගෝලාවේ FNLA, මොසැම්බික් හි FRELIMO, සිම්බාබ්වේ හි ZANU, Fretilin, Polisario, ඉතියෝපියාවේ EPLF, නිකරගුවා හි FSLN, එල් සැල්වදෝරයේ FMLN සහ චිලියේ MIR වැනි බොහෝ ජාතික විමුක්ති ව්‍යාපාර වෙත අපේ ජාත්‍යන්තර සහයෝගීතාවයේ දෑත් දිගු කොට තිබිණි. ජාත්‍යන්තර නියෝජිතයින්ට සත්කාරය දැක්වීමෙන් අවධාරනය කෙරුනේ ගෝලීය සහයෝගීතාවය සඳහා ජවිපෙ දැක්වූ කැපවීම යි.

විජේවීර ජාතිකවාදී දෘෂ්ඨිය කරා

කණගාටුදායක අන්දමට, රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂයේ ඉහළ පිරිස් පසුකාලීනව අවස්ථාවාදී ස්ථාවරයකට පිවිස, පක්ෂයේ ජාත්‍යන්තරවාදී ස්ථාවරය අතරමඟ සමාදානයට ලක් කරන ලද සුවිශේෂී ජාතිකවාදයක් වෙත නැඹුරු වූහ. නව යටත්විජිතවාදයට එරෙහිව කරන ලෝක ව්‍යාප්ත අරගලයේදී ජාත්‍යන්තරවාදයේ පවතින වැදගත්කම පිළිබඳ අවබෝධය මඳකම හේතුවෙන් උපතිස්ස ගමනායක සහෝදරයා ඔහුව අනුගමනය කළේය. ජවිපෙ පසුව ස්වෝත්තමවාදය කඩඉම් කර ගත් අන්දමේ ජාතිකවාදයක දැඩි ලෙස නියැලී ගියේය. “නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද අවස්ථාවාදය ද?” යන ප්‍රකාශණය ලියූ රෝහණ සහෝදරයා ඔහුගේ පසුකාලීන ලියවිලි තුලින් ජාතිකවාදී දෘෂ්ඨිය නියෝජනය කරන නායකයෙකු බවට පත් විය. 1984 පටන් ලොව පුරා පැවතුනු ජාතික විමුක්ති ව්‍යාපාර වෙත සහයෝගීතාවය පළ කිරීමේ සමස්ත ඌනතාවයක් දක්නට ලැබුනේ එහෙයිනි.

“1984 ට පෙර පැවති ජවිපෙට වඩා වත්මන් ජවිපෙ සහ ජාතික ජන බලවේගය යන දෙකම, විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදන ව්‍යුහය තුළ, කාන්තා සහභාගිත්වය අතින් ගත් විට වඩා හොඳින් කටයුතු කරති. එහෙත් තවත් බොහෝ දුරක් යන්නට තිබේ.”

සමකාලීන ප්‍රගතිය සහ අනවරත පරතර

වත්මන් ජවිපෙ සහ ජාතික ජන බලවේගය (NPP) ලිංගිකත්ව අන්තර්ග්‍රාහිත්වය (gender inclusivity) අතින් වෙනස් මට්ටම් විදහා දක්වයි. ජවිපෙ සතුව තමන්ගේම වන වෙනම දේශපාලන සංවිධානයක් තිබේ. ජාතික ජන බලවේගය රටේ ප්‍රගතිශීලී සංවිධාන කිහිපයක් ද ඇතුළුව විවිධ කණ්ඩායම් 21කින් සමන්විත පුළුල් පෙරමුණක් නියෝජනය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ව්‍යුහය සම්මත ලෙනින්වාදී ආකෘතිය අනුගමනය කරන බව පෙනෙන්නට තිබුණ ද, පිටස්තරයෙකු වශයෙන් මට එහි අභ්‍යන්තර ආයතනික සැකැස්ම සහ යොදාගනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව අදහස් දැක්විය නොහැකි ය. සභිකයන් 28 දෙනෙකුගෙන් යුත් මධ්‍යම කාරක සභාවක් ජනතා විමුක්ති පෙරමුණ සතු වන අතර, ඉන් හය දෙනෙකු දේශපාලන මණ්ඩලයේ සිටිති. මධ්‍යම කාරක සභිකයින්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් වන අතර, දේශපාලන මණ්ඩලයේ කාන්තා සාමාජිකයින් නැත. 1984 ට පෙර පැවති ජවිපෙ හා සැසඳූ විට ලිංගිකත්ව අන්තර්ග්‍රාහිත්වය අතින් සුළු ප්‍රගතියක් දැකිය හැකිය.

ජාජබ  විධායක කමිටුවේ 68න් ස්ත්‍රින් හතයි!

ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් වඩා හොඳින් කටයුතු කරන බව පෙනේ. ජාතික ජන බලවේගයේ සංවිධාන ව්‍යුහය දිස්ත්‍රික් විධායක සභාවල පදනම මත පිහිටුවා ඇති ජාතික විධායක කමිටුවකින් සමන්විත වේ. සාමාජිකයින් 68 දෙනෙකුගෙන් සමන්විත විධායකයේ හත් දෙනෙකු, එනම් සියයට දහයක පමණ ප්‍රතිශතයක් කාන්තාවන් වෙති.

අසමානතාවයන් තවදුරටත් නොනැසී පැවතුනද, සංසන්දනාත්මක අර්ථයකින් ගත් විට ඉහත කරුණු නිසැකයෙන්ම පැහැදිලිව පෙනෙන වර්ධනයන් වේ. 1984 ට පෙර පැවති ජවිපෙට වඩා වත්මන් ජවිපෙ සහ ජාතික ජන බලවේගය යන දෙකම, විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදන ව්‍යුහය තුළ, කාන්තා සහභාගිත්වය අතින් ගත් විට වඩා හොඳින් කටයුතු කරති. එහෙත් තවත් බොහෝ දුරක් යන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන්ගෙන් සමන්විත වුවද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5.3ක් පමණක් වේ. මෙම අගය කිසිදු අයුරකින් ජනගහනයේ විවිධත්වය පිළිබිඹු නොකරයි. අර්ථවත් වෙනසක් ඇති කිරීමට නම් දේශපාලන පක්ෂ කාන්තා නායකත්වය පිළිබඳ ප්‍රශ්නයට ප්‍රමුඛත්වය දිය යුතුව තිබේ.

ස්ත්‍රී නියෝජනය සහ දේශපාලන ප්‍රවේශය

ලිංගිකත්වය නියෝජනය කරන සංඛ්‍යාත්මක බලය එතරම් අදාළ විය නොහැකි යැයි කෙනෙකුට විවාද කළ හැකි ය. එසේ වුවද, ගුණාත්මක පරිනාමනයක් අතින් ගත් විට, ජනගහනයෙන් සියයට 52 ක් ප්‍රමාණවත් අන්දමට නායකත්ව මට්ටමින් නියෝජනය නොකෙරෙන්නේය යන කරුණ සැළකිල්ලට නොගැනීම, සංවිධානය දේශපාලන වැඩකටයුතු කෙරෙහි ප්‍රවේශ වන අන්දමේ පැහැදිලි අඩුපාඩුවක් විදහා දක්වයි. යලිත් වරක්, සංසන්දනාත්මකව ගත් විට, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකත්වයන්, ලිංගිකත්ව නියෝජනය කිරීම අතින් වඩා හොඳින් කටයුතු කරන්නේ යයි කිව නොහැකිය. නිසි කාන්තා නියෝජනයක් පිළිබිඹු කිරීමට නම් ජවිපෙ සහ ජාතික ජන බලවේගය යන දෙපාර්ශවයටම සෑහෙන දුරක් යා යුතුව තිබේ. කෙසේ වෙතත්, යහපත් සමාජයක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව යහපත් රටක් බවට හැරවීම සඳහා කාන්තා නායකත්වය ගුණාත්මක ව දක්වන කැපවීම සහ දායකත්වය මෙයට හිලව්වක් වනු ඇත.

සවි බලගැන්වීමේ මාවත්: මුල් පිරීම් සහ අභියෝග

දේශපාලනිකව කාන්තාවන් සවිබල ගැන්වීම සපුරා ගැනීම, ආවේණික අගතීන් ඉක්මවා යන ක්‍රම වෙනසක් ඉල්ලා සිටී. කාන්තාවන් සාර්ථක ලෙස දේශපාලනිකව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්, තම ආත්ම-වටිනාකම පිළිබඳ හැඟීමක් ඔවුන් සතු වීම, තෝරා ගැනීම් නිශ්චය කරන්නට හා තමන් සතු කර ගන්නට තිබෙන අයිතිය, අවස්ථා හා සම්පත් පරිශීලනය කරන්නට තිබෙන අයිතිය, තම ජීවිත පාලනය කර ගැනීමේ බලය සහ වඩා යහපත් හා සාධාරණ සමාජ හා ආර්ථික සැලැස්මක් බිහි කිරීම සඳහා කරන සමාජ වෙනසේ දිශානතිය වෙත බලපෑම් කරන්නට තිබෙන හැකියාව සමඟ සම්බන්ධ වෙයි. මෙම ඉලක්කය සහමුලින් සාක්ෂාත් කර ගැනීම සඳහා ජයගත යුතු ව තිබෙන කාන්තාවන්ගේ භූමිකාව පිළිබඳව ව්‍යුහාත්මක හා මුල් බැස ගත් අගතිගාමිත්වයන් ගණනාවක් පවතී.

ලිංගික අනුමැතිය ගැන කටයුතු කරන්නට යෝජනා කර තිබෙන සංශෝධන වැනි මෑත කාලීන ව්‍යවස්ථාදායක විවාද, මුල් බැස තිබෙන අගතීන්ට එරෙහිව නොනැවතී පවත්නා විරෝධය ඉස්මතු කරයි. ලිංගික හිරිහැර කිරීම් ශ්‍රී ලාංකික සමාජ හා දේශපාලන සංස්කෘතියේ කොටසක්ව පවතී. මේ මෑතක දී, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 363 සහ 364 වැනි වගන්ති සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගැසට් කර ඇත.

වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයෙක් සිය කැමැත්තෙන්ම ලිංගික සම්බන්ධකම් පැවැත්වුවත්, දැනට පවතින නීතිය අනුව එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ. නව සංශෝධනවලට අනුව, වයස අවුරුදු 14 ත් 16 ත් අතර වන ගැහැණු ළමයෙකු වයස අවුරුදු 22 ට අඩු පුද්ගලයෙක් සමඟ ඇගේ අනුමැතිය සහිතව ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඔහුට එරෙහිව නීතිමය දඬුවමක් පැනවෙන්නේ නැත. මෙම සංශෝධනය යෝජනා කර ඇත්තේ අධිකරණ කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමතිගේ විෂය පථය යටතේ යි. ශ්‍රී ලංකා කාන්තා මන්ත්‍රී සංසදය මෙම සංශෝධනයට විරුද්ධත්වය පළ කොට ඇත. ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද යෝජිත සංශෝධනයට ඔවුන් එකඟ නොවන බව ආණ්ඩුවට දන්වා ඇත. ආණ්ඩුවේ තීරණය සමාලෝචනය කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා තිබේ. මෙම කරුණු ගැන ඇමතිවරයා ප්‍රතිචාර දක්වා තිබේදැයි මෙතෙක් දැන ගන්නට නැත.

උගත් පාඩම් සහ අනාගත දිශානති

කාන්තාවන්ගේ මෙහෙවර පිළිබඳ අභ්‍යන්තර ආරවුල් වැනි අතීත සිදුවීම් විමර්ශනය කර අවංකව සාකච්ඡා කිරීම, නිර්ව්‍යාජ ලෙස කාන්තාවන් සවිබල ගැන්වීම වෙත කරන ගමන ආලෝකමත් කරයි. ජාතිකවාදයේ උගුල්වලට මුහුණ දී ජාත්‍යන්තර සහයෝගීතාවය පෝෂණය කිරීම සමාජයීය අගතිගාමිත්වයන් මැඩ පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය වේ. එසේ වන්නේ විවිධ අදහස් දැක්වීම් සහ පරිනාමන කටයුතු වැලඳ ගැනීම මඟින් වඩා සාධාරණ සහ අන්තර්ග්‍රාහී දේශපාලන භූමිකාවකට මං පාදන හෙයිනි. උපදේශනය, දැනුවත් කිරීම සහ පංගු ක්‍රම විසින් පවතින ආර්ථික හා සංස්කෘතික බාධක ජය ගන්නට උපකාරී විය හැකි මාවත් ඉදිරිපත් කරනු ලැබේ.

ලිංගිකත්වය අනුව වෙනස්කම් කිරීම සහ අසමානතාවය තහවුරු කොට ස්ථිර කරන පාලන හා නිලධාරී ව්‍යුහයන් සහ ආයතන වෙනස් කිරීම සඳහා කරන කටයුතු, කාන්තාවන්ගේ අයිතීන් ඉල්ලා සිටීම සඳහා ඔවුන් සවි බල ගන්වා ලන වැදගත් මෙවලම් වේ”

ලිංගිකත්වය අනුව වෙනස්කම් කිරීමට සහ කාන්තාවන් පහත් කොට සලකන වෙනත් ක්‍රියාමාර්ගවලට එරෙහිව, කාන්තාවන්ට සහ ඔවුන්ගේ සගයන්ට රජය සහ නිලධරය වෙත බලපෑම් කළ හැකිය. මෙය සිදු වන්නට නම් රටේ දේශපාලන සංස්කෘතිය ප්‍රමාණාත්මක ලෙසත්, ගුණාත්මක ලෙසත් වෙනස් විය යුතුය. මෙසේ සිදු වීම සඳහා දේශපාලන‍‍‍ වශයෙන් සවිඥාණක කාන්තාවන් දේශපාලනයට ගෙන එන පංගු ක්‍රමයක් අපමණ ලෙස උපකාරී වනු ඇත. එසේම කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න පිළිබඳව සමාජය වඩා හොඳින් දැනුවත් විය යුතු වේ. සියළු දෙනා වෙත වඩා යහපත් සමාජ-ආර්ථික හා සංස්කෘතික ජයග්‍රහණ අත් කර ගැනීම සඳහා ද කාන්තාවන් සවිබල ගැන්වීම දායක වනවා ඇත.

නිගමනය

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම, ලිංගික සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමේ දී, විශේෂයෙන් ජවිපෙ වැනි දේශපාලන ව්‍යාපාර තුළ අත් කර ගන්නා ලද ප්‍රගතියත් නොනැවතී පවතින අභියෝගත් යන දෙකම විදහා දැක්වීය. ජවිපෙ අතීත ප්‍රයත්නයන් ආවර්ජනය කිරීමෙන් ඓතිහාසික සන්දර්භය සහ සමකාලීන ගතිකත්වයන් වෙත පිවිස කරුණු සොයා බලන්නට ඉඩ සැලසේ. ඒ අන්දමට, කල් පවතින විෂමතාවයන් ආමන්ත්‍රනය කරන්නට උත්සාහ දරන අතර, ජයග්‍රහණයන් ද අගය කල හැකි වනු ඇත. මෙම සන්දර්භය තුළ, දැනුවත්බව ඇති කිරීම, ආත්ම විශ්වාසය ගොඩනැගීම සහ ලැබිය හැකි තෝරා ගැනීම් පුළුල් කිරීම, අධ්‍යාපනය, පුහුණුව හා සංවර්ධන අවස්ථාවන්ට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීම සහ ඔවුන්ට අවශ්‍ය කරන සම්පත් පාලනය කිරීම සඳහා වඩා හොඳ අවස්ථාවන් ලබා දීම අතිශයින් වැදගත් වනු ඇත.

ලිංගිකත්වය අනුව වෙනස්කම් කිරීම සහ අසමානතාවය තහවුරු කොට ස්ථිර කරන පාලන හා නිලධාරී ව්‍යුහයන් සහ ආයතන වෙනස් කිරීම සඳහා කරන කටයුතු, කාන්තාවන්ගේ අයිතීන් ඉල්ලා සිටීම සඳහා ඔවුන් සවි බල ගන්වා ලන වැදගත් මෙවලම් වේ. මෙය අරමුණු කොට ගෙන කරන මැදිහත්වීම්, කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අවදානමට ලක්විය හැකි ජන ප්‍රජාවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ප්‍රායෝගික මාවත් සපයනවා ඇත. කාන්තාවන්ගේ ඵලදායිතාව සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමෙන්, සහ එසේ ආර්ථිකය ප්‍රතිසාධනය කරන්නට දායක වීමෙන් මෙය ඔවුන්ගේ ධාරිතාව ඉහළ නංවා ලනවා ඇත.

කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම යන්න, ඉලක්කම් සම්බන්ධ ව්‍යායාමයක් පමණක් නොවේ. එය අන්තර්ග්‍රාහිත්වය, ගෞරවය සහ සමානාත්මතාවය සහිත සංස්කෘතියක් පෝෂණය කිරීම සමඟ ද සම්බන්ධ වෙයි. අගතීන්ට අභියෝග කිරීම, කාන්තාවන් නඟන හඬ විස්තාරණය කිරීම සහ ක්‍රම වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම මඟින් සියළු දෙනා වෙනුවෙන් වඩා දීප්තිමත්, වඩා සාධාරණ සහ සමානාත්මවාදී අනාගතයක් ගොඩනගා ගත හැකිය.

සමාප්තයි.

2024 මාර්තු 28 වන දා

Archive

Latest news

Related news