Saturday, April 27, 2024

විජේදාසගේ පැමිනිල්ල සහ සාක්ෂිය මත ‘පිස්සු පූසා’ කොමිසම රනිල්, පොන්සේකා, අනුර සම්පන්දන් ආදීන්ට විරුද්ධව දුන් තීන්දුව කුණු කූඩයට!

සුනන්ද දේශප්‍රිය.

ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන  ලද දේශපාලන පළිගැනීම් කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් 2015-2019 යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන්  දෙන ලද තීන්දුව මෙන්ම එය විසින් කරන ලද සොයාගැනීම් සහ නිර්දේශ නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය සර්ටියෝරාරි ආඥාවක් මාර්තු 25වන දා නිකුත් කරන ලදී.

එම තීන්දුව දී තිබුණේ යහපාලන ආණ්ඩුවේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ, ඇමතිවරුන් වූ ජෙනරල් සරත් පොන්සේකා, ආචාර්ය, ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්න, වෛද්‍ය රාජිත සේනාරත්න, මංගල සමරවීර, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ප්‍රමුඛ මානව හිමිකම් නීතිවේදියකු වූ ජනාධිපති නීතිඥ ජේ.සී. වැළිඅමුණ, සෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, දෙමළ ජාතික සන්ධානයේ පා.ම. ජනාධිපති නීතිඥ එම්. සුමන්තිරින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු පිරිසකට එරෙහිවය.

උපාලි අබේරත්න කොමිසම ලෙස පොදුවේ හැඳින්වෙන සහ අවඥා සහගතව පිස්සු පූසා කොමිසම යැයි නම් පටබැඳ ඇති මෙම කොමිසම මගින් දෙන ලද තීන්දු ගණනාවක්ම දැන් අධිකරණය විසින් කුණූ කුඩයට දමා තිබේ.

මෙම අනීතික ක්‍රියාවලිය සඳහා උපාලි අබේරත්නට මහජන මුදලින් රාජපක්ෂවරු  රුපියල් 2,181,572.23 ගෙවුහ.

එම අනීතික තීන්දු ලියූ විනිසුරු උපාලි අබේරත්න රනිල් රාජපක්ෂ යටතේත් තොරතුරු කොමිසමේ සභාපති ලෙස මහජන මුදලින් වැජඹේ. කොමිසමේ තවත් සාමාජිකයකු වූ රාජපක්ෂ ගැති හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු ගෝඨාභයගේ පොලිස් කොමිසමේ සභාපති විය.

රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසට විරුද්ධ පැමිනිල්ල ඉදිරිපත් කරන ලද්දේ අද රනිල් රාජපක්ෂ ආණ්ඩුව යටතේ නොනවත්වාම මර්දන නීති ගෙන එමින් සිටින වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසිනි.

මෙම සියලු දෙනාටම විරුද්ධව මෙම අනීතික තීන්දු ගැනීම පිනිස සාක්ෂි දුන්නේ ද විජේදාස රාජපක්ෂය.

විජේදාසගේ සාක්ෂිය උඩ මෙ සියලු දෙනාම වැරදිකරුවන් ලෙස ගෝටාගේ පළිගැනීම් කොමිසම තිරණය කළේය.

විජේදාසගේ එම සාක්ෂිය මත කොමිෂම එළඹි තීරණය‍ කොමිෂමේ විෂය පථයට අදාළ නැති බව අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, එම්.ටී.එම්.ලාෆර් සහ ඩී.එම්. සමරකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ සහ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කර තිබුණේ දේශපාලන වින්දිතයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිස‍ෙ විසින් ලබාදුන් නිර්දේශ සහ තීරණ අභියෝගයට ලක්කරමිනි.

2022 මහජන අරගලය විසින් ගෝටා පළවා නොහැරියේ නම් හෝ ගෝටාට අවශ්‍ය වූ පරිදි ලේ සාගරයක ලංකාව ගිල්වා අරගලය කුඩුපට්ටම් කර දිගටම බලයේ සිටියේ නම් අද, රනිල් රාජපක්ෂ, සරත් පොන්සේකා, අනුර කුමාර දිසානායක යනාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වී තිබෙන්නට ඉඩ තිබුණි.

ඒ උපාලි අබේරත්න කොමිසමේ මෙම තීන්දුව ගැන ගත යුතු පියවර එනම් දිය යුතු දඬුවම් යනාදිය ගැන ගැන වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් ජනාධිපති කොමිසමක් පත් කළ නිසාය. එම කොමිසම පත් කරන ලද්දේ 2021 ජනවාරි 30වනදා ගැසට් පත්‍රයක් මගිනි.

එකී විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිහිටුවීම මගින් අදහස් කරන ලද්දේ සැකකාර පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලියක්  දියත් කිරීමට හැකියාව ඇති කොමිසමක් පිහිටුවිමයි.. එම ගැසට් පත්‍රයේ 9 වැනි වගන්තිය ටමසේ විය:

“එවැනි පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ  යුතුද යන්න කොමිෂන් සභාව නිර්දේශ කළ යුතු අතර, එවැනි සොයා ගැනීමක් හැකි ඉක්මනින් ජනාිදපතිවරයා ලවා  ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට සලස්වා එම වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙස නියෝග කළ යුතුය.”

උපාලි අබේරත්න කොමිසම ද නිර්දේශ කර තිබුණේ එම සියලු දෙනාගේම ප්‍රජා අයිතිය අහෝසි කිරීමටය. ගෝටා සිය පොතේ නොලියූ මර්දන දේශපාලනයේ තුච්චම අවස්ථාවක් මෙය විය. ඊට සියලු රාජපක්ෂවරු සහාය දුන්හ.

එම ජනාධිපති කොමිසමේ වාර්තාව මාස තුනක් ඇතුළත දිය යුතු වුවත් ඊට සිදු වූ දෙයක් දැන ගන්නට නැත.

වර්තමානයෙහි රනිල් රාජපක්ෂගේ සුචච කීකරු ගැත්තන් බවට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයේ සිටි සියලු දෙනාම එම තීරණයේ වක්‍ර සහායකයෝ බවට පත්ව තිබුණි.

එදා ගෝටාට ස්ත්‍රෝත ගයමින් මර්දන පාලියේ ප්‍රම්‍රඛයකු වූ විජේදාස රාජපක්ෂ දැන් රනිල් රාජපක්ෂගේ මර්දන පාලියේ ඉදිරියෙන්ම ගමන් කරයි.

රනිල් රාජපක්ෂ තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට අත් එසවීමට බලා සිටි ගෝටාගේ ගෝල බාලයන් පිරිවරා ගෙන මර්දන පාලියේ ඉදිරියෙන්ම ගමන් කරයි.

ලැජ්ජා නැතිකම් මහ මුදලිකමටත් වඩා ලොකුය කියන්නේ නිකමට නොවේ.

 තව පෝය හතරකි.

Archive

Latest news

Related news