Friday, June 21, 2024

කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතුයි – ආචාර්ය හරිනි අමරසූරිය

කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ, පසුගිය 21 වනදා රාජගිරියේදි පැවති, සැබෑ නිදහස සඳහා වූ ශ්‍රී ලාංකික සාමූහිකයේ ‘මව්බිම නැවත ගොඩනැගීම කළ හැක්කේ කෙසේද?’ සාකච්ඡාව අමතමිනි.

“විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, අත්දැකීම් බහුල පිරිසක් වූ ඔබ සමග, රටේ පවතින අර්බුදය දකින විදිහත් ඒ අර්බුදයට විසඳුම හැටියට අපේ යෝජනා මොනවාද යන්න පිළිබඳවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ රට මුහුණ දෙන අර්බුදයේ දිග පළල හරියට තේරුම් ගන්න ඕනෑ. මේක ආර්ථික අර්බුදයක්, ආර්ථික අර්බුදය විසඳීමෙන් අපේ සියලු ප්‍රශ්න විසඳෙයි කියලා හිතනවා නම් එය වැරදියි. ආර්ථික ගැටලුව විසඳීමට වුවත් දේශපාලනික මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. එය පුළුල් ලෙස බැලුවොත්, අපි මුහුණ දෙන අර්බුදය ආර්ථිකය කඩා වැටීම පමණක් නොවෙයි. ජනතාවගේ යහපැවැත්මට, දියුණුවට අවශ්‍ය සියලුම ක්ෂේත්‍ර පද්ධතීන් වැටී තිබෙනවා.

මේ රටේ පුරවැසියෙකුට ජීවත්වීමට අවශ්‍ය පසුබිම හා ඒ ව්‍යුහයන්ට අවශ්‍ය කිසියම් හෝ කොන්දේසි තිබෙනවා නම්, කිසියම් ආයතන තිබෙනවා නම් ඒ සියල්ලම කඩා වැටී තිබෙනවා. එය විවිධ ආකාරයට අපිට බලපානවා. අපි රැකියාවක් කරන්න යෑමේදී, සෞඛ්‍ය අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමේදී, අධ්‍යාපන අවශ්‍යතාවයකදී, අපේ ආරක්ෂාවේදී, සමාජ ආරක්ෂණයේදී අදාළ වන සියල්ලම කඩා වැටී තිබෙන මොහොතකට තමයි අපි මුහුණ දී තිබෙන්නේ. අපේ නිවස තුළටත් එදිනෙදා ජීවිතයටත් අර්බුදය කඩාවැදී තිබෙනවා. මූලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට කරන ආර්ථිකය අරගලයක් ලෙස එය දැනුණාට අපේ සමාජය දෙස බලනවිට මේ කඩා වැටීම අපේ ජීවිතයට කොයිතරම් බලපා තිබෙනවාද කියන එක තේරුම් ගන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකම එන්නේ භෞතික දේවල්වලින් විතරක් නොවෙයි. ආධ්‍යාත්මික දේවල් වගේම සංස්කෘතිය වැදගත්. බැඳීම් අපට වැදගත්.

නමුත් දැන් අපි ජීවිතය දෙස බලනවිට සියල්ලම පීඩාකාරී දේවල් ලෙස දැනෙන්නේ. අපේ පවුල ගත්තත් අඹු සැමියන් අතර, දරුවන් සහ දෙමාපියන් අතර, යහළුවන් අතර, නෑදෑයන් අතර, වැඩකරන තැන මේ සියල්ලම පීඩාකාරීත්වය ගෙනදෙන සම්බන්ධතා බවට පත්වෙලා. සතුට සැනසුම ජීවිතවලින් ඈත්වෙලා. සංස්කෘතික ජීවිතයක් අපට නැති තරම්. නාට්‍යයක් බැලීම, පොතක් කියවීම, ඒ පිළිබඳ සාකච්ඡාවක් කිරීම මේ අවශ්‍යතා සියල්ලම අපි අතහැර යමින් ජීවත් වෙන්නේ. එක පැත්තක් හෝ එක ප්‍රශ්නයක් දෙස බලා විසඳිය හැකි කාරණයක් නොවෙයි.

මේ මොහොතේ අපි මුහුණ දෙන අර්බුදයේ දිග පළල සහ ස්වභාවය මුලින්ම අපි හඳුනාගත යුතුයි. මෙය ආණ්ඩුව මාරුකිරීමෙන් හෝ පාර්ලිමේන්තුව තුළ සංයුතිය වෙනස් කිරීමෙන් පමණක් හෝ ලෝකයේ තිබෙන හොඳම ආර්ථික ප්‍රතිපත්තිය හෝ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවෙයි. මේ සියලුම බරපතළ ප්‍රශ්න තිබෙන අතරම, අපට අවස්ථාවක් උදාවී තිබෙනවා.

ඒ තමයි අපි ගැනත් අපේ සමාජය ගැනත් අපේ රට ගැනත් අලුත් විදිහට හිතන්න අවස්ථාවක් උදා වී තිබීම. අලුත් සිහිනයක් දිකින්න, අලුත් විෂන් එකක් නිර්මාණය කරන්න අවස්ථාවක් හැදිලා තිබෙනවා. කඩා වැටී තිබෙන සමාජයක්, රටක් නම් ඒක නිවැරදි කරන එක තුළ අපට පුළුවන් අලුත්ම විදිහට හිතන්න. අලුත්ම විදිහට නැවත අපේ රට ‘රීසෙට්’ කරන්න අපට අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන් හැටියට මේ රීසෙට් කරන අවස්ථාව ගැන හිතන්න ඕනෑ. තවත් එක් මැතිවරණයක් හෝ තවත් එක් ආණ්ඩු මාරුවක් හැටියට විතරක් නොවෙයි සිතන්න ඕනෑ.

මේක රට ගැන අලුත් විදිහට හිතන්න උදාවුණු පළවෙනි අවස්ථාවම නොවෙයි. එකක් 1948 නිදහස ලැබුණ මොහොත. 1956 සමාජ අවදිවීමක් හරහා තවත් අවස්ථාවක් උදාවුණා. මෑත ඉතිහාසයේ 1994දී ඒ වගේ අවස්ථාවක් උදාවුණා. නැවතත් 2015දී හා 2019දී එවැනි අවස්ථා උදාවුණා. ඒ හැම අවස්ථාවකම සිදුවුණු සුවිශේෂි දේ තමයි ඒවා දේශපාලන පක්ෂයක දර්ශනයක් තුළින්ම උදාවූ අවස්ථා නොවීම. ඊට වඩා පුළුල් සමාජ සහභාගිත්වයක් හා සමාජ අවදිවීමක් එක්ක දේශපාලන පක්ෂයක හෝ නායකයෙකුගේ මැදිහත්වීමට එහා ගිය සමාජ වුවමනාවක් සහ සමාජ මැදිහත්වීමක් ඒ සෑම අවස්ථාවකම දකින්නට තිබුණා. ඒ හැම අවස්ථාවකම පත්වුණු කණ්ඩායම් ඒක බල ව්‍යාපෘතියක් ලෙස පාවිච්චි කළා මිසක් බලයට එන්න ඇති වුණු සාධක හරහා ඒ නැගිටීමට කිසිම සාධාරණත්වයක් ඉෂ්ට කළේ නැහැ.

මේ අවස්ථාවේ අපට තිබෙන ලොකුම වගකීම එසේ නොවෙන ආකාරයෙන් වැඩකරන එක. මේ ඇතිවී තිබෙන පිබිදීමත් අපට ලැබී තිබෙන අවස්ථාව තුළින් ආණ්ඩුවක් පත්කර ගන්නා එක වගේම ඒ සඳහා එකතු වී ඉන්න මේ ජනතාව නැවත වතාවක් කලකිරීමට පත් නොවෙන විදිහට කටයුතු කළ යුතුයි. ඒක සිද්ධ වෙන්න නම්, ඇත්තටම පුළුල් ජනතා සහභාගිත්වය තිබෙන ව්‍යාපාරයක් බවටත් ආණ්ඩුවක් පත්විය යුතුයි. පුරවැසියන් කතිරෙ ගහලා බලය ආණ්ඩුවකට, නායකයෙකුට පවරන ව්‍යාපාරයක් වෙනුවට මේ කාර්යයට සහභාගි වෙලා මේකේ කොටස්කරුවන් බවට පත්විය යුතුයි. ජාතික ජන බලවේගය අපි මේ වෙලාවේ සංවිධානය වෙන්නෙත්, ජනතාව එක්ක ගනුදෙනු කරන්නෙත් ජනතාව මේකෙ කොටස්කරුවන් බවට පත්කර ගැනීමේත් ක්‍රියාවලියක නිරතවෙමින්.

“ගැහැනු අපි එක මිටට” ලෙස අපි මැදිහත් වුණා. ඉතිහාසය තුළ හැම ආණ්ඩුවක්ම බලයට පත්වී තිබෙන්නේ ගැහැනුන්ගේ ඡන්දවලින් කිවුවොත් මම නිවැරදියි. බහුතර ඡන්ද ප්‍රමාණය තිබෙන්නේ ගැහැනු අපිට. ඒ එක ආණ්ඩුවක්වත් බලයට පත්වෙන්නේ නැහැ අපේ ඡන්ද නැතිව. ආණ්ඩුවලට බලයට එන්න අපේ ඡන්ද පාවිච්චි වුණා. බලයට පත්වුණු ආණ්ඩු ඊට පස්සේ අපි දිහා බැලුවේ නැහැ. අපේ ප්‍රශ්න ගැන සංවේදී වුණෙත් නැහැ. අපේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළෙත් නැහැ. ජාතික ජන බලවේගය හැටියට අපට අවශ්‍ය වුණේ තවදුරටත් ගැහැනුන් ඡන්ද දායකයින් හැටියට පාවිච්චි වෙන එක වළක්වලා මේ රටේ පුරවැසියන් හැටියට දේශපාලන භූමිකාව තුළත් දේශපාලන අවකාශය තුළත් සහභාගී කරගන්න වැඩපිළිවෙළක් සංවිධානය කරන්න හා ඉදිරිපත් කරන්න.

ඒක මේ මොහොතේ ඉතාමත් සාර්ථක විදිහට සිදුවෙනවා. ඒ අවස්ථාව ලැබුණු ගමන්ම මේ රටේ ගැහැනු ඉතාම කැමැත්තෙන් ආශාවෙන් එයට සහභාගි වුණා. ඔවුන්ට තීන්දු තීරණ ගන්න පුළුවන් ඔවුන්ට ගෞරවය දෙන ඔවුන්ට ඇහුම්කන් දෙන සහ ඔවුන්ට නායකත්වය දෙන දේශපාලන වේදිකාවක් තුළ ඔවුන් ඒක බාර අරගෙන කරගෙන යනවා. අපි පහසුකම් සපයන කටයුත්තක් නිසා අපේ අතින් එළියට ගිය විශාල ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. ඒක තමයි සිදුවිය යුත්තේ. සමස්තයක් හැටියට රටටම සිදුවිය යුත්තේත්, තවදුරටත් අපි ඡන්ද දායකයන් පමණක් වෙනවාද? මැතිවරණයක් වෙලාවේ ඡන්දය පාවිච්චි කරලා ඒකෙන් ඉවත් වෙන සමාජයක් වෙනුවට අපි දකින්නේ මේ පරිවර්තනයේ සැබෑ අයිතිකරුවන් සහ කොටස්කරුවන් බවට පත්වෙන ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කර ගන්න මොහොතක්. මේ වෙලාවේ අපි වැඩකරන්නේ ඒ අරමුණෙන්.

අපිට ප්‍රතිපත්ති හදන්න පුළුවන්. බොහෝ අය ප්‍රතිපත්තිවලට අදහස් දී තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න අපිත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් රටකට ප්‍රතිපත්තියකට කලින් අවශ්‍ය වෙනවා යම්කිසි විදිහකට රටේ අනන්‍යතාවය පිළිබඳ පැහැදිලි අදහසක්. අපි කවුද? අපි හදන්නේ මොන වගේ සමාජයක්ද? අපි අවුරුදු පහකින් කොතනද ඉන්න ඕනෑ. අවුරුදු 10කින් කොතනද ඉන්න ඕනෑ. ඒක දේශපාලනඥයින් හෝ නායකයන් විසින් තීන්දු කරන දෙයක් නොවෙයි. ඒක පුරවැසියන් හැටියට පොදු අදහසක් තිබෙනවාද? අපේ ඉතිහාසය ගැන කියවීමක් තිබෙනවාද? අපේ සමාජය තුළ ජීවත් වෙන විවිධ ජන කොටස්වලට මේ රටේ ඔවුන්ට ලැබෙන ආරක්ෂාව, ගරුත්වය ගැන විශ්වාසයක් තිබෙනවාද? අපේ ජීවිත ගෙනයාමට අවශ්‍ය සමාජ, දේශපාලන, ආර්ථික ආයතන ගැන විශ්වාසයක් තිබෙනවාද? අපි දරුවෙක් පාසලට බාර දුන්නම මේ රටේ පුරවැසියෙක් හැටියට විශ්වාසයක් ඇතිවෙනවාද? ඒ දරුවා පාසල් ජීවිතය ඉවරවෙන කොට එළියට එන්නේ අපි බලාපොරොත්තු වෙන කුසලතා, වටිනාකම්, සමාජ වගකීම් ඒ සියල්ල දැනෙන පුරවැසියෙක් වේවි කියා අපට විශ්වාස කළ හැකිද? අපි රෝහලකට ගියාම මේ අපට ලැබෙන්නේ හොඳම සේවාව කියා විශ්වාසයක් තිබෙනවාද? බෙහෙත් ඇත්ත බෙහෙත් කියා විශ්වාසයක් තිබෙනවාද? පුරවැසියටන් හැටියට අපට අදාළ සියල්ලම බිඳ වැටී තිබෙනවා.

ඒ විශ්වාසය ගොඩනඟන එකත් අතිශයින්ම වැදගත්. අපේ සමාජය, සමාජ ආයතන, දේශපාලනය ගැනත් නායකයන් ගැනත් අපට විශ්වාසයක් අවශ්‍යයි. විශ්වාසයක් නැතිව රටකට ඉදිරියට යන්න බැහැ. අද බහුතරයක් ජනතාව දේශපාලනය ලෙස දකින්නේ ජරාම ජරා, දූෂිත අයට අයිති දෙයක් හැටියටයි. හොඳ පුරවැසියන් ඒ අවකාශය තුළ නැහැ. දේශපාලනය කියා ඔවුන් දකින්නෙත් පටු විදිහට පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවෙන දේවල් විතරයි.

දේශපාලනය කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්. අපි අපේ පාලනයට සහභාගී වීමත් අපේ ජීවිතවලට අදාළ තීරණ ගන්න ක්‍රමයටත්, බලය මේ සමාජය තුළ පාවිච්චි වෙන විදිහටත් මැදිහත් වීමේ අයිතිය හා යුතුකම අපි සියලු දෙනාටම තිබෙනවා. අපි සේවය කරන ආයතනය තුළ, අපේ නිවස තුළ, අපේ ගමේ ඒ සියලු ස්ථානවල සැකැස්ම රඳා පවතින්නේ දේශපාලනය මතයි. ඒ දේශපාලනයෙන් අපි අයින් වුණොත් අපිට සිදුවෙන දේ අපි හොඳින්ම අත්විඳිනවා. මේ මොහොත හරිහැටි තේරුම් ගතහොත් පුරවැසියන් හැටියට අපි දායක වෙන විදිහත් මැදිහත් විය යුතු විදිහත් ගැනත් අපි නැවත සිතමු.

මේක අපිට ඈතින් ඉන්න ආණ්ඩුවකට, පක්ෂයකට බලය දෙන මොහොතක් නොවෙයි. මේ තත්වය තුළ අනෙක් පක්ෂවලට සාපේක්ෂව ටිකක් හෝ හොඳ “එන්.පී.පී. එක තමයි. ඒ නිසා මේකටත් දීල බලමු.” එහෙමනෙ ඔබ සමහරු සිතන්නේ. එහෙම හිතන්න එපා. ඔබට දුරස්වූ, පිටස්තර දෙයක් හැටියට හිතන්න එපා. මේක ඔබේ එකක් බවට පත්කර ගන්න.

මේ රට පරිවර්තනය කරන මේ ව්‍යාපාරය, මේ මෙහෙයුම, මේ ක්‍රියාවලිය ඔබේම එකක්, අපේම එකක් බවට පත්කරගෙන මෙහි කොටස්කරුවන් වෙමු. ඔබ සියලු දෙනාටම කරන්න කුමක් හෝ කොටසක්, කාර්යභාරයක් ඇති. ඒක හඳුනාගනිමු. අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට රීසෙට් කරන එකේ කොටස්කරුවන් වෙමු. ඒ නිසා තමයි ඔබ සමග මෙවැනි සාකච්ඡා අතිශයින්ම වැදගත් වෙන්නේ. මේ රට යන්න ඕනෙ කොතනටද කියන එක සම්බන්ධව එකඟතාවයක් තිබෙන්න ඕනෑ.

රටක් හරිහැටි පාලනය වෙන්න නම්, රටක් දියුණු වෙන්න නම්, පුරවැසියන් හා පාලකයන් අතර යම්කිසි එකඟතාවයක්, සම්මුතියක් අවශ්‍යයි. අපේ තිබුණු සම්මුති, පාලකයන් විසින් උල්ලංඝනය කර තිබෙනවා. ඒ නිසා අලුත් සම්මුතියක්, එකඟතාවයක් අවශ්‍යයි. අපේ රට යන ට්‍රැක් එක මෙයයි. ඒකෙ අපි සියල දෙනාටම විවිධ කාර්යභාරයන්, වගකීම් තිබෙන්න පුළුවන්. ඒ වගකීම් අපි බාරගනිමු. ඒවා හඳුනාගෙන ඉෂ්ට කරමු. ඒ අරමුණ වෙනුවෙන් අපි සියලු දෙනාටම එකතුවෙලා යන්න පුළුවන් නම්, මේ රට රීසෙට් කරන්න පුළුවන් කියන විශ්වාසය අපි තුළ ඇතිවෙනවා. ඒ විශ්වාසය නිසා තමයි ඔබ මෙතනට පැමිණ සිටින්නේ. පැරණි මොඩ්ල් එකෙන් එහා ගිය අලුත්ම විදිහට හිතලා සියලු දෙනා එකතු වෙලා සාමූහික ක්‍රියාවලියක් තුළ පොදු වගකීමක් දරමින් මේ ගමන යමු.”

ලංකා ට්රුත් ලිපියකින් සකස් කෙරිණ.

Archive

Latest news

Related news