ආනුභාවනන්ද විසිනි.
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.14) පාඨලී චම්පික රණවක යනු ඔහු නියෝජනය කරන දේශපාලන පරම්පරාවේ විශිෂ්ටයාය. ඔහු බුද්ධිමතෙකි. දක්ෂ කථිකයෙකි. සමාජ, ආර්ථික සහ දේශපාලන පිළිබඳ තියුණු විශ්ලේෂකයෙකි. ජාත්‍යන්තර භූ දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තෙකි. ඔහුට ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් දින වකවානු සහිතව අපූරුවට පැහැදිලි කළ හැකිය. ඔහු විද්‍යාර්ථයෙකි. වෘත්තීයෙන් ඉංජිනේරුවෙකි. ඔහු කැබිනට් ඇමතිධූර දරන සමයේ එම ධූර බැබළ වූ බවට වාදයක් නැත. සරළ භාෂාවෙන් පැවසුවහොත් “අංක එකේ වැඩ්ඩෙකි”.
ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා සහ භූ දේශපාලන බලපෑම්
අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත්ව ඇති මෙවැනි මොහොතක අවම මට්ටමින් ඔහු සිටිය යුත්තේ ප්‍රබල කැබිනට් ඇමතිධූරයක් දරමිනි. එහෙත් රටේ මෙන්ම ඔහුගේ අවාසනාවකට එය එසේ සිදුවී නැත. ඒ වෙනුවට ඔහුට බල දේශපාලනය වෙනුවෙන් නව පක්ෂ මෙන්ම නව දේශපාලන පෙරමුණු බිහි කිරීම වෙනුවෙන් තම වටිනා කාලය විනාශ කිරීමට සිදුව තිබේ. එයට අමතරව ඔහු පසුගිය කාලයේ යූ ටියුබ් නාලිකාවක් සමඟ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා සහ භූ දේශපාලන බලපෑම් පිළිබඳ වැඩ සටහන් මාලාවකට ද සම්බන්ධව සිටියි.
චම්පික රණවක යනු පොත් “කාවෙකි”
අපේ අවධානයට ලක් වන්නේ මේ යූ ටියුබ් වැඩසටහන් මාලාව වෙතටය. චම්පික රණවක සම්බන්ධ වන මේ වැඩසටහන ඉතා වැදගත් වන්නේ ඒ හරහා ජාත්‍යන්තර දේශපාලන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සයිබර් අවකාශයේ සැරිසරන පොදු ජනතාවට හැකිවීමයි. චම්පික රණවක යනු පොත් “කාවෙකි”. කුඩා කාලයේ සිට අද දක්වාම ඔහු කියවීමේ පිපාසයෙන් පෙළෙයි. එසේ ඒකරාශී කරගත් තොරතුරු සම්භාරය ඔහු මේ යූ ටියුබ් වැඩසටහන් මාලාව හරහා දැනුම් පිපාසයෙන් සිටින ජනතාවට බෙදා දෙයි. ඔහුට ද මේ හරහා යම් දේශපාලන වාසියක් ඇත. භූ දේශපාලන බලපෑම් පිළිබඳ මනා අවබෝධයක් සහිත බුද්ධිමත් දේශපාලඥයකු ලෙස ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට එමගින් ඔහුට හැකි වනු ඇත.
චම්පිකට මෙන්ම රසික ජයකොඩිට ද ජාතික ජන බලවේගය ඇලජික්වීම
මේ වැඩසටහන මෙහෙයවන්නේ රසික ජයකොඩි ය. රසික එජාප ආධාරකරුවෙකු වශයෙන් ප්‍රකටය. පසුව ඔහු සජිත්ගේ සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කළේ ය. පසුගිය අරගලය සමයේ බිහිවූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරු බවට පත්වූ ඔහු වර්තමානයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරුය. චම්පිකට මෙන්ම රසිකට ද ජාතික ජන බලවේගය (NPP) සහ ජනතා විමුක්ති පෙරමුණ “ඇලජික්”ය. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා පිළිබඳ කරන සාකච්ඡා අතර දෙදෙනාම NPPට ඔලොක්කුවට සිනහා වෙනු දැකිය හැකිය. ඔවුන් සිනහා වන්නේ NPP ප්‍රතිපත්ති ඉලක්ක කරගෙනය. සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති, කම්කරු පංති ආඥාදායකත්වය, ඉදිරි NPP ආණ්ඩුවක් යටතේ සිදු වන විරුද්ධවාදීන් මර්දනය , රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිවීම වැනි ඉදිරි තත්ත්වයන් පිළිබඳව ඔවුහු නිතර ඉඟි කරති. ජනතාවට අනතුරු හඟවති.ඒ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි. ඒ පිළිබඳ අපට කිසිදු ගැටළුක් නැත.
“මෙම ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා වැඩ සටහන් මගින් උත්කර්ෂවයට නංවනු ලැබූවේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ පුටීන්, තුර්කියේ එර්දෝගන්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, චීනයේ ෂි ජින්පින්, හංගේරියාවේ වික්ටර් ඕබාන්, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මන්, ඉරාන අයතුල්ලා ඇතුළු වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් ඒකාධිපති නායකයන්ය.”
වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් ඒකාධිපති නායකයන්ට හුරේ දැමීම
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඇති විය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පාලනයක් පිළිබඳ අනතුරු හඟවන පාඨලී චම්පික රණවක සහ රසික ජයකොඩි ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් විය යුතුය. අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් පසුගිය කාලය පුරාම ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා වැඩ සටහන් මගින් උත්කර්ෂවයට නංවනු ලැබූවේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ පුටීන්, තුර්කියේ එර්දෝගන්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, චීනයේ ෂි ජින්පින්, හංගේරියාවේ වික්ටර් ඕබාන්, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මන්, ඉරාන අයතුල්ලා ඇතුළු වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් ඒකාධිපති නායකයන්ය.
චම්පිකගේ “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා”
මේ නායකයන්ට පාඨලී චම්පික රණවක කොතරම් ආශක්තවී ඇත්තේ දැයි ප්‍රදර්ශනය වන්නේ ඇතැම් අවස්ථාවන්හිදී ඔහු “අපේ ඩොනල්ඩ් ට්‍රම්ප්”, “අපේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා” යැයි හඳුන්වන විට දීය! “කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ” යැයි පවසන්නේ මෙවැනි අවස්ථාවන්ටය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු රාජපක්ෂ බයියෝ පෙනී සිටින්නේ ද ඉහත නායකයන්ගේ වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් වැඩපිළිවෙළ වෙනුවෙනි. ඔවුන්ගේ බයි ලෝකයේ වීරයන් වන්නේ රාජපක්ෂ පවුල ඇතුළු මේ ෆැසිස්ට් නායකයෝ ය.
ගෝඨාභයගේ සිංහල බෞද්ධ වර්ගවාදයට මුට්ටිය දාන “පොත”
රාජපක්ෂ දේශපාලනයේ පදනම වන්නේ සිංහල බෞද්ධ වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදයයි. මේ සඳහා ඉදිරිපත් කළ හැකි නවතම නිදසුන වන්නේ “ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ යනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “රචනා” කරන ලදැයි කියන පඩංගුවයි. එය යළිත් වරක් සිංහල බෞද්ධ වර්ගවාදයට මුවාවී යළිත් වතාවක් රාජපක්ෂ පවුලට බලය ලබා ගැනීමට මුට්ටිය දැමීමකි.
“සිංහලයන් සහ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් දැන් යළිත් දෙවැනි පෙළට වැටී ඇත. බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය සහ සම්ප්‍රදායන් යළිත් උපහාසයට හා අපහාසයට ලක් වෙමින් පවතී…ඇතැම් භික්ෂුන් වහන්සේලා තනි තනිව අවමානයට ලක් වෙමින් සිටින අතර, පොදුවේ මහා සංඝරත්නයට ද අපහාස විඳීමට සිදු වී තිබේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන විවිධ පාර්ශ්ව විසින් ඉලක්ක කර ගනිමින් තිබේ. පන්සල්වල අලි ඇතුන් ප්‍රශ්නය පවා නැවත වරක් කරළියට පැමිණ තිබේ….දේශපාලනඥයෝ සිංහලයාගේ සහ සිංහල බෞද්ධයාගේ අයිතීන් තහවුරු කරනවාට වඩා මැතිවරණවල දී ඡන්ද ලබා ගැනීම සඳහා සුළු ජාතීන් ගැන වැඩියෙන් සොයා බැලීමට උනන්දු වෙති.” ගොනා හැරෙන්නේ පොල් පැලය කෑමට බව ඉතා පැහැදිලිය.
ඩොනලඩ් ට්‍රම්ප්ගේ මඩ වගුරට වැටුණු ගෝඨා
“එක වර්ගයේ කුරුල්ලන් එකට වහනවා” යන අදහස යළිත් වරක් තහවුරු කරමින් ගෝඨාභය රාජපක්ෂ සිය පඩංගුව පුරාවට ඇමරිකාවේ ඩොනලඩ් ට්‍රම්ප්ව උත්කර්ෂවයට නංවයි. “2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම එයට හොඳ උදාහරණයකි. ඒ ලෝක ව්‍යාප්ත ප්‍රවණතාවයේ මම ද කොටස්කරුවකු වූයෙමි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ විට ඔහුගේ ආකර්ෂනීය සටන් පාඨයක් වූයේ ඔහු ‘මඩ වගුර ගොඩ කිරීමට’ යන බවයි. මම ද මඩ වගුර ගොඩ කිරීමට උත්සාහ දැරුවෙමි”. මේ දෙදෙනා ම වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට්වාදී දේශපාලන නරුමයන්ය.
රාජපක්ෂ බයියන්ගේ “බටහිර කුමන්ත්‍රණ”
රාජපක්ෂ බයියෝ මානව හිමිකම්, මාධ්‍ය නිදහස, කාන්තා නිදහස ඇතුළු සියළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් “බටහිර කුමන්ත්‍රණ” ලෙස දකිති. රාජපක්ෂ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවාද, කථිකා, විවාද නැත. ඇත්තේ ෆැසිස්ට් ප්‍රහාර පමණි. රාජපක්ෂලා බයියෝ ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටීන්, එර්දෝගන්, නරේන්ද්‍ර මෝඩි, ෂි ජින්පින්, ඉරාන අයතුල්ලාට විසිල් ගැසීම පුදුමයක් නොවෙයි. රාජපක්ෂ බයියන්ගේ “තම්බින්නට කෙළවීමේ” අවශ්‍යතාව සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝඩි අපූරු වීරයන්ය. ප්‍රජාතන්ත්‍රවාදය විනාශකර ෆැසිස්ට් පාලනයක් ගෙනයෑම සඳහා පුටීන් සහ ඉරාන අයතුල්ලාලා කදිම ආදර්ශන්ය. බටහිර විරෝධී ක්‍රමන්ත්‍රණ සඳහා පුටීන්, එර්දෝගන් සහ ෂි ජින්පින්ලා බයි වීරයෝ වෙති.
බයි හමුදාව ෆැසිස්ට්වාදීන්ට විසිල් ගැසීම
රාජපක්ෂ රෙජීමය පවත්වාගෙන ගියේ පුටීන්, එර්දෝගන්, මොහොමඩ් බින් සල්මන්, ඉරාන අයතුල්ලාගේ ෆැසිස්ට් ක්‍රමයටය. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගත්තේ ය. ඔවුන්ට බොරු චෝදනා ඉදිරිපත් කර සිරගත කළේ ය. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කළේ ය. තමන්ට අවශ්‍ය අධිකරණ තීන්දු ලබා ගැනීමට අගවිනිසුරුන් පවා ඉවත් කළේ ය. මාධ්‍ය මර්දනය කළේ ය. “ලංකා ඊ නිවුස්”, “සියත”, “සිරස” ඇතුළු උතුරේ සහ දකුණෙහි මාධ්‍ය ආයතන ගණනාවක් ගිනි තබා විනාශ කළේ ය. රෙජීමය විවේචනය කළ, දූෂණ හෙළි කළ මාධ්‍යවේදීන් ඝාතනය කළේ ය. මේ ලැයිස්තු දිගුය. එබැවින් රාජපක්ෂලාට වන්දනාමාන කරන බයි හමුදාව ෆැසිස්ට්වාදීන්ට විසිල් ගැසීම පුදුමයකට හේතුවක් නොවෙයි.
දේශපාලන අවස්ථාවදය ද?
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් වශයෙන් පෙනී සිටින පාඨලී චම්පික රණවකලා මේ වර්ගවාදී, ජාතිවාදී, ෆැසිස්ට් නායකයන්ට විසිල් ගසන්නේ ඇයි? රාජපක්ෂ බයියන් සමඟ එකට සිට ගන්නේ මන්ද? මෙය හුදු දේශපාලන අවස්ථාවාදය ද? මේ දෙපාර්ශවය අතර වෙනසක් නොමැති ද? යන ප්‍රශ්න මතුවෙයි. චම්පිකට මෙන් අපට තොරතුරු ගලා එන්නේ එකම මහජන අවකාශයකින්ය. එබැවින් අපට නොලැබෙන තොරතුරු ඔහුට ගලා ආ නොහැක.
නරේන්ද්‍ර මෝඩි “අපේ අගමැතිවීමේ” කරුමය
එහෙත් එම තොරතුරු ඔහු තමා බැතියෙන් සළකන ඒකාධිපති නායකයන් උත්කර්ෂයට නැංවීම සඳහා අවභාවිතා කරනු දැකිය හැක. ඒ සඳහා නිදසුන් දුසිම් කිහිපයක් ගෙන හැර දැක්විය හැක. එහෙත් අප මෙහිදී අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් නිදසුන් දෙකක් ඉදිරිපත් කරමු. අගමැති නරේන්ද්‍ර මෝඩි යනු RSS ෆැසිස්ට් සංවිධානය හරහා ඉන්දියාව හින්දු මූලධර්මවාදී රටක් බවට පරිවර්තන කරමින් සිටින අන්ත ජාතිවාදී ඒකාධිපති නායකයෙකි. ඔහු පසුගිය කාලය පුරාම ඉන්දියාවේ ව්‍යවස්ථාපිත ලෞකික රාජ්‍යය (Secular state) හින්දු රාජ්‍යයක් බවට පරිවර්තනය කරමින් සිටියි. ඔහු මාධ්‍ය, විපක්ෂය, නිදහස් බුද්ධිමතුන්, මුස්ලිම් ඇතුළු සුළු ජාතීන් දැඩිව මර්දනය කරමින් සිටියි.
