Monday, July 15, 2024

වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු –  විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙලේ. මේ දුකින් පෙළෙන්නන් අතරට අමුතු ගැටලුවක් නිසා එකතුවී ඇති පිරිස මාතර දිස්ත්‍රික්කයේ ගොවියන්ය. මෙය සිදුව ඇත්තේ ලංකාවේ මෙතෙක් නොඇසූ අලුත්ම හේතුවක් නිසාය. මේ ගැටලුවට මුල මාතර දිස්ත්‍රික්කය හරහා ගලන නිල්වලා ගඟ හරහා මෑතදී බඳින ලද බැම්මකි.

“මෙයින් දුක් විඳින ගොවි පවුල් ගණන විසිපන් දහසකට අධිකය. කොරටු ගොවින්ට , කිරි ගොවින්ට තම ජීවිකාව අහිමිවී තිබේ. බොහෝ දිනවල මහා මාර්ග අතුරුදන්ව ගොස්, ඒවා ඇළමාර්ග බවට පත්විය. සමහරුන් වාහන විකුණා ගමනාගමනයට ඔරු, පාරු, බෝට්ටු මිලදී ගනිමින් සිටි.”

දුරදිග නොබලා  වර්ෂ 2019 දී ඉදිකිරිම ආරම්භවූ මේ බැම්ම නිසා දුක් විඳින්නේ ගොවියන් පමණක් නොවේ. මේ නිසා ගොවියන් නොවන වැසියන්ට තම ගෙවල් දොරවල් වසරකට කිහිපවරක් ගංවතුරට යටවනු හිසෙහි අතගසා බලා සිටීමට සිදුවී තිබේ. පසුගිය වසරේ පාසල් දරුවන් මඩෙහි එරෙමින්, වතුරෙහි  තෙමෙමින් පාසල් ගිය දින ගණන අපමණය. සාමාන්‍යයෙන් ඉහල ජිවන මට්ටමකින් ජිවත්වු මාතර දිස්ත්‍රික්කයේ ගොවින්ගෙන් බොහෝ දෙනෙකුට මේ වනවිට වී කන්න දහයකට ආසන්න ප්‍රමාණයක් පාලුවී තිබේ. මෙයින් දුක් විඳින ගොවි පවුල් ගණන විසිපන් දහසකට අධිකය. කොරටු ගොවින්ට , කිරි ගොවින්ට තම ජීවිකාව අහිමිවී තිබේ. බොහෝ දිනවල මහා මාර්ග අතුරුදන්ව ගොස්, ඒවා ඇළමාර්ග බවට පත්විය. සමහරුන් වාහන විකුණා ගමනාගමනයට ඔරු, පාරු, බෝට්ටු මිලදී ගනිමින් සිටි. කුඩා වැස්සකට පවා උතුරන නිවෙස්වල වැසිකිලි නිසා රෝග පැතිරෙමින් පවතී. පිරිසිඳු පානීය ජලය ලබාදීමට ඉදිකරන ලද මේ මෝඩ බැම්ම නිසා මාතර ජනතාව නොදනුත්වම රසායන ද්‍රව්‍ය මිශ්‍ර අපවිත්‍ර ජලය පානය කරමින් සිටි.

ගැටලුවේ නියමුවන්

මේ ගැටලුවේ නියමුවන් සැමදා හොරුන්, තක්කඩියන් යැයි දොස් අසන දේශපාලඥයන් නොවේ. මෙය උගතුන් හා වියතුන් මුල්වී ඇති කළ පටලැවිල්ලකි. මේ අවුල සංඛ්‍යා ලේඛන, දේශගුණ විග්‍රහ, ඉංජිනේරුමය පැහැදිලි කිරීම්, භූ විෂමතා ප්‍රශ්න වැනි සාමාන්‍ය ජනතාවට නොතේරන අප්‍රබංශ වල පටලවා ජනතාවගේ ඇස් වැසීමට කටයුතු කරන්නේද මේ අවුල ඇතිකළ උගතුන් හා වියතුන්ය. කරුණු වටහා ගැනීමේ හැකියාව අඩු දේශපාලඥයන්ද නොමඟ යවන්නේද මේ පඬිවරුන්ය. මෙහිදී ජනතාවට පහරදීමට, ඔවුන්ගේ හඬ යටපත් කිරීමට මේ ඊනියා උගතුන් භාවිතා කරන ආයුධය සම්ප්‍රදායික එකක් නොවේ. ඒ අලුත් ආයුධය ලැප්ටොප් පරිගණකයයි. මේ ආයුධය දිගහැර ඇස් ගිනිකන වටවන දත්ත ප්‍රදර්ශනය කරමින් සියල්ලන් නොමඟ යවන මොවුන් මේ දක්වා තම සටන සාර්ථකව සිදුකර තිබේ.

අතීසාරයට අමුඩය ගැසීම

සැබෑ විසඳුම ඉදිරිපත් කළහොත් තමන් කල වරද හසුවෙන බව දන්නා බුද්ධියෙන් ඉහළ මොවුන්, අතීසාරයට අමුඩය ගැසීම වැනි විසඳුම් ඉදිරිපත් කරමින් සිටි. ඒ අතීසාරය ඇති කළේ තමන් බව ඔවුන් දන්නා නිසාය. අතීසාරය ඇතිකර මුදලක් සොයාගත් මොවුන් දැන් අතීසාරය සුවකරද මුදලක් සොයාගැනීමටද කැස කවමින් සිටී. මෝඩ බැම්මක් ඉදිකර මහජන රුපියල් බිලියන තුනක් නිල්වලා වතුරේ දියකර හැරීමට වගකිවයුත්තෙක් නැත. උපතට වගකිවයුත්තෙක් නැති නිසා මෙය අවජාතක බැම්මක්ව පවතී. මේ බැම්මේ අනියම් පියවරුන්ගේ සිත්සතන් නැති ක්‍රියාවන් නිසා ඊළඟ මෝසම් වැස්සේදී තම නිවෙස්, ගම්බිම්, කුඹුරු , හරකාබාන යටවන බව නියත යැයි දන්නා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන තුනක ජනතාව සමාන කල හැක්කේ පෝරකයට නියමවී කල්ගතකරන මිනිසෙකුට පමණි.මේ මහා ගැටලුව ඇතිකලවුන් තවමත් නිදැල්ලේය.

ගැටලුවේ සුලමුල

මේ ගැටලුවේ සුලමුල සොයන්නෙකුට මෙයට වගකිවයුතු උගතුන් හා ඔවුන්ගේ සහචරයන් විස්තරය පටන් ගන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ නිල්වලා ගඟ තැනුණු අයුරු තැන සිටය. එතැනින් පටන්ගෙන සංඛ්‍යා ලේඛන, දේශගුණ විග්‍රහ, ඉංජිනේරුමය පැහැදිලි කිරීම්, භූ විෂමතා ප්‍රශ්න හරහා වත්මන් අර්බුදය දක්වා විස්තරය ඇති තැනට පැමිණෙන විට අසන්නාට මේ දේශනය එපාවෙයි. එනිසා මේ සැබෑ ප්‍රශ්නය යටපත් වෙයි.

නිල්වලා ගඟ සැමදා මාතර දිස්ත්‍රික්කයේ කඳුකර උස් බිම් වලින් ඇරඹි මාතර තොටමුනින් මුහුදට එක්වුනි. මේ ගඟ කිලෝමීටර් 33 ක දුරක් ගලන්නේ අතිශයෙන්ම පැතලි බිමකය. එනිසා වැසි වැටී ගඟෙහි වතුර වැඩිවෙන විට මාතර පහත් බිම් ගංවතුරින් යටවුණි. මේ ගංවතුර සමඟ හා රොන්මඩ ගොවිබිම් සරු කළේය. මේ ගංවතුර පාලනයට විවිධ අවස්ථාවල විවිධ යෝජනා, විසඳුම් හා ව්‍යාපෘති සිදුකෙරිණි. වැසි වතුර බැස යාමට ඇළමාර්ග ඉදිකිරීම්, ගඟ දෙපස බැමි  ඉදිකිරීම්, යටවූ බිම් වලින් ගංවතුර ඉවත්කිරීමට පොම්පාගාර ඉදිකිරීම් මේ අතර වේ. මේ සියල්ල නිසා මේ මෝඩ බැම්ම තනන තුරු ගංවතුර උවදුර අතීතයට වඩා යම් ප්‍රමාණයකට පාලනයවී තිබුණි. කලාතුරකින් ගංවතුර ගැලුවත් එය වහා බැස ගියේය.

මෙයට අමතරව තවත් ගැටලුවක් තිබුණි. ඒ, පැතලි බිමක ගලන නිල්වලා ගඟින් මාතර ජනතාවට පානිය ජලය ලබාදීමයි. ගඟ පැතලි නිසා වියලි කල මුහුදින් කරදිය ගඟ ඉහලට ගොස් පානීය ජලය ලබාගන්නා තැන්වලින් කරදිය මිශ්‍ර ජලය ලැබිණි. වසරකට මාස කිහිපයක් පමණක් සිදුවන මේ කාලවල මාතර ජනතාවට ලැබෙන්නේ පානය කල නොහැකි තරම් ලවණ අධික ජලයකි. මේ ප්‍රශ්නයට විවිධ විසඳුම් ඉදිරිපත් වුවත් මෙයට කිසිදු ස්ථිර විසඳුමක් නොලැබී තිබුණි. නිල්වලා ගඟ හරහා බැම්මක් ඉදිකොට ගඟෙහි වතුර අඩු කාලයට ගේට්ටු වසා කරදිය උඩට යාම වලක්වා පානීය ජලය ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත්වන්නේ මේ පසුබිම යටතේය.

“මෝඩ බැම්මේ” සැඟවුණු පියවරු

 ළවණ බාධක ලෙස හඳුන්වන මෙවන් බැමි ලොවේ පිළිගත් ඉංජිනේරුමය ක්‍රියාවකි. ගැටලුව ඇත්තේ මේ සංකල්පයේ නොව එය සිදුකල අයුරේය. පානිය ජලය ලබාදීම ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක් නිසා එම ආයතනය මේ ක්‍රියාවට අතගැසුවේ ඔවුන්ය. ඔවුන් මේ බැම්ම සැලසුම් කිරීම ලංකා හයිඩ්‍රෝලික්ස් නම් මොරටුව ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික ආයතනයකට බාරදුනි. මෙයට ගෙවූ මුදල අවිනිශ්චිතය. මේ ආයතනය නිල්වලා ගඟේ පටුම තැනින් සැලසුම් කල බැම්ම ගඟේ පටුම තැනද දෙපසින් තවත් අහුරා, ගඟ පතුලේ සිට සැලකිය යුතු ඉහලට කොන්ක්‍රීට් බැම්මක් බැඳ තැනෙන සේ යෝජනා කර තිබුණි. කරදිය එනවිට වහන හා ගඟෙහි වතුර වැඩිවන විට අරින ගේට්ටු පහ තිබුනේ මේ කොන්ක්‍රීට් බැම්ම මතය.

රුපියල් බිලියන තුනක වෙනුවෙන් කොමිස් කාටද?

ලංකා හයිඩ්‍රෝලික්ස් ආයතනය විසින් සැලසුම් කරන ලද මේ බැම්ම පිළිබඳව ජලසම්පාදන මණ්ඩලය, ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් (CECB) පුර්ව විමසීමක් කළේය. CECB  ආයතනය මේ සැලසුම ගැන අධ්‍යයනය කොට 2016 ජනවාරි 14 වෙනි දිනැති ලිපියෙන් ජලසම්පාදන මණ්ඩලය වෙත දන්වා සිටියේ මේ ළවණ බාධකය යෝජිත අයුරින් ඉදිකළහොත් ගංවතුර ගැලීම ස්ථිර බවයි. මේ අනතුරු හැඟවීම නොතකා 2017 මාර්තු මස ජලසම්පාදන මණ්ඩලය හා අප රටේ ගංගා ඇලවේලි භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ ළවණ බාධකය තැනීමට එකඟතා ගිවිසුමක් අත්සන් කළේය. ලංකා හයිඩ්‍රෝලික්ස් ලබාදුන් සැලසුම් අනුව මේ ළවණ බාධකය තැනීම ‘කෝලෝන් සැම්සුන්” නම් කොරියානු සමාගමට බාරදුනි. එහි ඉංජිනේරුමය සැලසුම කලේ “සී වෝටර්’ නම් රත්මලානේ පිහිටා ඇති ආයතනයකිනි. වර්ෂ 2017 අගෝස්තු මස 6 වෙනි දින උත්සවාකාරයෙන් මුල්ගල් තබා තැනීම් ඇරඹුණු මේ ළවණ බාධකයට ජලසම්පාදන මණ්ඩලය වැයකල මුදල රුපියල් බිලියන තුනකි . මේ සා විශාල මුදලක් වැයකර මේ ලංකාවේ සිදුකරන ගොඩනැගීමක මුදල් අතින් ඇත හුවමාරු නොවුවේ යැයි සිතිය නොහැකිය. එසේ නැතහොත් ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් (CECB) දුන් උපදේශය කිසිසේත් නොතකා මෙවන් ඉදිකිරීමක් සිදුකිරීම වටහා ගත නොහැක.

“එනිසා වැසි වසින කලට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 7 ක එනම් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, මාතර, තිහගොඩ, මාලිම්බඩ, වැලිපිටිය හි විශාල භුමි ප්‍රමාණයක් ගංවතුරට හසුවිය. යටවුණු ග්‍රාමසේවක වසම් ගණන 61 කි. මේ ප්‍රශ්නය නිසා අක්කර විසිදහසක් හා ගොවි පවුල් තිස් දහසක් පීඩාවට පත්වී තිබේ.”

දුක ඇරඹීම

මේ ළවණ බාධකය තැනෙමින් පවතින විට ප්‍රදේශයේ ගොවි නායකයන් මේ තැනීමෙන් ඇති විය හැකි විපත ගැන තම ප්‍රායෝගික දැනුමෙන් අවබෝධ කර ගත්තේය. ඔවුන් දේශපාලඥයන්ටද , ජලාප්‍රවාහන මණ්ඩලයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උගතුන්ටද , ප්‍රාදේශීය පරිපාලකයන්ටද කරුණු පැහැදිලිකර  දුන්නත් ඒවා කිසිවෙකු නොතකා හැරීය. පැමිණිලිකල ඇතැම් අවස්ථාවලදී ඉදිකිරීම් වඩාත් වේගයෙන් සිදුවිණි.

අවසානයේදී  2023 වසරදී ළවණ බාධකය තනා නිමැවිණි. මෙය ඉදිකිරිම ආරම්භවූ දින සිට පාසා වැඩිවෙමින් පවතින ගංවතුර උවදුර නිසා ඇතිවී ඇති ජනදුක අපමණය. ස්වභාවික ගං පතුලට වඩා විශාල උසකින් තැනුණු ලවණ බාධකය නිසා එයට ඉහලින් ගඟෙහි වතුර රැඳීම ඇරඹුණු අතර ගං පතුලේ රොන්මඩ එකතුවී සෑහෙන දුරක් ගං පතුල ඉහලට එසවුනි. එනිසා වැසි වසින කලට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 7 ක එනම් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, මාතර, තිහගොඩ, මාලිම්බඩ, වැලිපිටිය හි විශාල භුමි ප්‍රමාණයක් ගංවතුරට හසුවිය. යටවුණු ග්‍රාමසේවක වසම් ගණන 61 කි. මේ ප්‍රශ්නය නිසා අක්කර විසිදහසක් හා ගොවි පවුල් තිස් දහසක් පීඩාවට පත්වී තිබේ. පසුගිය වසරේ මාස තුනකට අධික කාලයක් ඇතැම් ගම්බිම් හතලිස් වරක් පමණ ජලයෙන් යටවිය. පෙර ඉතාම සශ්‍රික ප්‍රදේශවූ මේ ප්‍රදේශ වල කොරටු වගාව, කිරි ගොවියන්, කුරුඳු , කොස්, දෙල්, තේ ගස් විනාශ වී ඇත. එසේම වෙනදා ගංවතුර ඇතිවුවත් වැස්ස තුරල්වූ පසු බැසයන වතුර දැන් මාස ගණන් ගොවිබිම්වල රැඳී පවතියි. ප්‍රදේශයේ ඇතැම් තැන් මාස තුනකට අධික කලක් ජලයෙන් යටවී තිබිණි. මේ ව්‍යසනයට හේතුව නිල්වලා ගඟ හරහා බඳින ලද “මෝඩ බැම්ම” නිසා වැසි කාලයේදී ගඟෙහි ජල මට්ටම එසවී වතුර නොබැසී ගම්බිම්වල  රැඳී පැවතීමයි.

ඉඳුරුවේ ආචාරින්

එසේම රසායනික පොහොර හා කෘමිනාශක යොදන ලද ගොවිබිම් මාස ගණන යටකොට නැවත ගඟට ගලන වතුර පානය කරන මාතර නගර වැසියන් තමන් නොදැනුවත්වම “වස විස” බොමින් සිටි. කුමන පිරිපහදුවකින් හෝ රසායන ද්‍රව්‍ය සියල්ල ඉවත්කළ නොහැකි නිසා, මාතර දිස්ත්‍රික් වැසියන් වකුගඩු රෝගීන් වීමේ කාලය වැඩි ඈතක නොවේ. මෙහිදී ජල සම්පාදන මණ්ඩලයේ විද්වතුන් සමාන කල හැක්කේ මුටිටියේ ඇති එක සිදුරක් වැසීමට ගොස් සිදුරු දෙකක් ඇතිකර ගත් ඉඳුරුවේ ආචාරියාටය. ඒ මෝඩ ආචාරියා ගැන ගැමියන් කියූ ජන කවිය මෙසේය.

“එකක් කඩතොළු වසා ගන්නට ගොසින් සිදුවුණු කාරියා. දෙකක් කඩතොළු හදා ගත්තනේ අනේ ඉඳුරුවෙ ආචාරියා”

හොරාගෙන්ම අසන විසඳුම

“මෝඩ බැම්මේ” සැඟවුණු පියවරු ගම්බිම් යටවීමට හේතුව ලෙස දක්වන්නේ ඔවුන් ඉදිකළ බැම්ම නොව, වර්ෂාපතනයයි. ඔවුන්ගේ තර්ක අනුව පසුගිය වසර කිහිපය තුල පැවති අන්දමේ වර්ෂාවක් ඉතිහාසයේ කිසිකලක පවතී නැත. මෙය අමුලික අසත්‍යයකි. එසේම තම ගම්බිම් යටවීම නිසා ඇතිවුණු ගොවි උද්ඝෝෂණ හමුවේ ජල සම්පාදන මණ්ඩලය අපූරු ක්‍රියාවක් සිදුකොට ඇත. එනම් මේ බැම්මේ නිර්මාතෘ ලංකා හයිඩ්‍රෝලික්ස් ආයතනයටම මෙයට විසඳුමක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමයි. ඒ උපදෙස්ද ඔවුන් දෙන්නේ මුදලකට මිසක් නොමිලේ නොවේ. මේ ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් ගලප්පත්ති මහතා මේ වසරේ ජනවාරි මස ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් ලියමින් පවසා සිටියේ මේ ළවණ බාධකයේ කිසිදු දොසක් නැති බවය. මෙවන් පිරිසකගෙන් ඔවුන් ඇතිකළ ප්‍රශ්නයට විසඳුම් ඇසීම හොරාගේ මෑණියන්ගෙන් නොව හොරාගෙන්ම අසන පේනයකි.

මේ ප්‍රශ්නයට මොවුන් මුට්ටියේ ඔලුව හිරකර ගත් එළුවාගෙන් මුට්ටිය ගලවා ගන්නට මහදැනමුත්තා කල අයුරේ විසඳුමක් ඉදිරිපත් කළහොත් පුදුමයට කරුණක් නොවේ. මහදැනමුත්තා මුලින්ම කලේ එළුවාගේ බෙල්ල කැපීමයි. එළුවාගේ බෙල්ල කැපූ පසුවත් මුට්ටිය නොගැලවුනු විට මහදැනමුත්තා කලේ මුට්ටිය බිඳීමයි. දැන් එළුවාත්, මුට්ටියත් දෙකම නැත . සුළු ගැටලුවක් විසඳා ගැනීමට බැරි, දැනුම පමණක් ඇති මෝඩයන්ට අපේ පැරණි ගැමියන් සිනාසුනේ මෙවැනි ජනකතා තුලිනි.

කලයුත්තේ කුමක්ද?

මේ ප්‍රශ්නයට ගොවි නායකයන් ඉදිරිපත් කරන්නේ ප්‍රයෝගික විසඳුම් කිහිපයකි. ඔවුන් ඒදණ්ඩේ යා නොහැකි ඉංජිනේරු පඬිවරුන් නොවේ. ඔවුන් “මෝඩ බැම්ම” විනාශ කිරීමට ඉල්ලන්නේ නැත. ඒ, එහි කොපමණ ගැටළු තිබුණත් එය යම් පමණකට මාතර ජනතාව පානය කරන ජලයට ලුණු මුසුවීම වලකන නිසාත්, බැම්ම කැඩීමට තවත් විශාල මුදලක් වැයවන නිසාත්ය. ඔවුන් යෝජනා ක‍රන්නේ මැයි මස ඇදහැලෙන මෝසම් වැස්සට පෙර මේ ළවණ බාධකයට පසෙකින් ජලය බැස යාමට අතුරු ජල මාර්ගයක් (by-pass) තනා එය තාවකාලිකව වැලි කොට්ට වලින් වසා තැබීමයි. එවිට ගඟෙහි ජල මට්ට්ටම වැඩිවන විට මේ වැලිකොට්ට ඉවත්කොට ගංවතුර බැසයාමට සැලසිය හැක. මේ අතුරු මාර්ගය දැනට තනා නොමැති නමුත් මේ ජායාරුපයේ දැක්වෙන පරිදි මෙහි නොනිමවූ කොටසක් ඇත. ඉඩම් පවරා ගැනීමක් නොකොට මෙය මීටර් 90 ක් පළලට විශාල කල හැකි අතර මෙය මේ වසරේ අප්‍රේල් මසට අවසන් වීමට පෙර සිදුකල යුතුය. එසේ නොකළහොත් මහදැනමුත්තන්ගේ තර්ක බිඳදමමින් නිල්වලා ගඟ මෝසම් වැස්සේදී දෙගොඩ තලා යනු ඇත. මේ මුලික පළල් කිරීම සිදුකල පසු ඉඩම් පවරා ගෙන අවම වසයෙන් මේ අතුරු මාර්ගය මීටර් 120 ක් පළල්ව තැනිය යුතුය. මේ හැරුණු කල වෙනත් හදිසි විසඳුමක් ඉංජිනේරු මහදැනමුත්තන්ට ඇතියැයි සිතිය නොහැක. මෙය නොකළහොත් ඊළඟ මෝසම් සමයේදී පෙරටත් වඩා ගම්බිම් රැසක් ජලයෙන් යටවෙනු ඇත.

ඒ හැරුණු කොට මේ “මෝඩ බැම්ම” නිසා මේ වනවිට කන්න දහයක පමණ වගා හානිවී තිබෙන ගොවියන්ට මෝඩ බැම්මේ අයිතිකරුවන් වන ජල සම්පාදන මණ්ඩලය විසින් අලාභ ගෙවිය යුතුය. මේ වගකීම ඔවුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ඇතිකරගත් ගිවිසුමෙන් පවරාගෙන ඇති නිසා මේ කටයුත්තෙන් මඟ හැරීම ඔවුන්ට කල නොහැක.

මේ හදිසි ක්‍රියා දෙක සිදුකල පසු මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ගැටලුවට හා පානීය ජලය ගැටලුවට දිගුකාලීන විසඳුම් සෙවීම සිදුකල හැක. ඒ සඳහා සාකච්ඡා සම්මන්ත්‍රණ සංවිධානය කිරීමේ විශේෂ හැකියාවක් නම්, අපේ ඉඳුරුවේ ආචාරීන්ට ඇත.

(මෙම ලිපිය ලිවීමට තොරතුරු ලබාදුන් මාතර ගොවි නායකයන් වන බන්දුල කෝමංගොඩඑරන්ද මැද්දෙවත්තපුන්‍යතිලක හා විශ්‍රාමලත් විදුහල්පති ජයතිස්ස කුලතුංග මහත්වරුන්ටදඑක්සත් ජනරජ පෙරමුණේ  සුමේධ රත්නායක හා චන්ද්‍රසිරි තල්පේ ලියනගේ වරලත් ඉංජිනේරු මහත්වරුන්ටද ස්තුතිය පිරිනමමි)

Archive

Latest news

Related news